වඳ කතාවේ අවසානය (1)


පියුමී ෆොන්සේකා 


කාන්තාවන් රාශියක් වඳ භාවයට පත්කිරීම පිළිබඳ චෝදනා ලැබ සිටි දොස්තර ෂාෆි රුපියල් 250,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2.5 ක ශරීර ඇප දෙකක් මත ඊයේ නිදහස් කෙරුණි. මේ වෛද්‍යවරයා විසින් කරන ලද සිසේරියන් සැත්කම්වලින් පසු තමන් වඳ භාවයට පත්වී යැයි කියන අම්මලා 147 දෙනෙකුගේ කතාවක් ඔප්පු කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වී තිබුණි. මේ සිද්ධිය පිළිබඳව මුලින් ඇති කරන ලද මාධ්‍ය උද්වේගයක් සහ උද්ඝෝෂණයක් උඩ මේ චෝදනාව නැගීමට ඉදිරිපත් වූ කාන්තාවන් 615 ක් අතරින් අවසානයේදී පොලිස් පරීක්ෂක කණ්ඩායම සිය වැඩිදුර පරීක්ෂණ සඳහා තෝරාගෙන තිබුනේ එම පිරිසයි. සිංහල පුවත්පතක් මගින් මේ ආන්දෝලනාත්මක වාර්තාව පළ කිරීමෙන් පසු රට පුරා ඇති කෙරුණු ඇවිස්සීම තුළ, අතුරලියේ රතන හිමියන්ගේ මෙහයවීමෙන් විවිධ කණ්ඩායම් කුරුණෑගල නගරයේ විරෝධතා පවත්වමින්, දොස්තර ෂාෆිට මොනම බුරුලක්වත් නොදිය යුතු බව කියා සිටියහ. 

නගන ලද චෝදනා තුළ පැවති අඩමානයත්, දොස්තර ෂාෆිට විරුද්ධ කිසි සාක්ෂියක් නොතිබීමත් නිසා, මොහුව රඳවා තබා ගැනීමේ නියෝගය ඉවත් කරන්නැයි අවසානයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ පසුගිය ජුලි 11 වැනිදා ය. එහෙත් මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ වන තෙක් (25) ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙළේය. පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුනි 27 වැනි දා පිටු 210 ක වාර්තාවක් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි. ඉන් පසු නැවතත් පිටු 24 ක වාර්තාවක් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. ඒ වාර්තා දෙක හරහා, ඒ වන තෙක් මේ සිද්ධියට අදාළව දැන නොසිටි බොහෝ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා සිටින ලදි. ඒ අනුව, ඒ දක්වා රටට කියා තිබුණාට වඩා වෙනස් මුහුණුවරක් මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ හෙළිදරව් විය. 

චෝදනා සහ රඳවා තබා ගැනීම

දොස්තර ෂාෆි අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කුරුණෑගල පොලීසිය චෝදනා ගණනාවක් ඉදිරිපත් කෙළේය. ත‍්‍රස්තවාදී සංවිධානයක් සමග සැක කටයුතු සම්බන්ධතා පැවැත්වීම, කෙටි කාලයක් තුළ විශාල ධනයක් රැස්කරගෙන තිබීම සහ ඇප මත ඔහු මුදාහැරියොත් ඇති විය හැකි මහජන නොසන්සුන්තාව සහ ඔහුගේම ජීවිතයට පවා එයින් සිදුවිය හැකි අනතුර ආදිය, ඔහුව දිගටම රඳවා තබා ගැනීම සඳහා පොලීසිය ඉදිරිපත් කළ කාරණා වශයෙන් පැවතුණි. ඔහුව රඳවා තබා ගැනුණේ ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ ය. එහෙත් ජුලි 11 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි පරිදි, කිසි ත‍්‍රස්තවාදී කටයුත්තකට සම්බන්ධ සාක්ෂියක් ඔහු සම්බන්ධයෙන් සොයාගත නොහැකි නිසා ඔහුව නිදහස් කළ හැකි බවට නිර්දේශ කෙරුණි.

එපමණක් නොව, ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේද කිසි සාක්ෂියකින් තොරව බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත‍්‍රාත්වරයාට දන්වා සිටියේය. ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් පිළිබඳ සොයා ගැනීමට කිසි සාක්ෂික් නැති නිසා ඔහු රඳවා තබා ගැනීම සාධාරණ නොවන බව අධිකරණයට පෙන්වා දුන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාව හරහා ජුනි 27 වැනි දා අධිකරණයට මෙසේ කියා සිටියේය. ‘‘දොස්තර ෂාෆි රඳවා තබාගෙන සිටින්නේ 1979 ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ’ 9 (1* වගන්තිය යටතේ ය. ඉහත සඳහන් කොට ඇති කරුණු අනුසාරයෙන් අපට පැමිණිය හැකි නිගමනය වන්නේ, කිසි සාක්ෂියක් නැතිව ඔහුව රඳවාගෙන සිටීම සාධාරණ නොවන බවයි. එබැවින් මේ සිද්ධිය සම්බන්ධයෙන් වන අදාළ කරුණු, ඉදිරි පියවර ගැනීම සඳහා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබේ.’’ 

අනතුරුව, ජුලි 11 වැනි දා කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ මේ නඩුව කැඳවූ අවස්ථාවේ, දොස්තර ෂාෆි රඳවා තබා ගැනීමේ නියෝගය, ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඉවත් කොට තිබෙන බව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. ‘‘දැනට අත්අඩංගුවේ තබාගෙන සිටින දොස්තර ෂාෆිට විරුද්ධ අපරාධ චෝදනාවක්, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ ඔප්පු වී නැති නිසා, ඔහුව නිදහස් කරන ලෙස ජුලි 5 වැනි දා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා තිබේ. කරන ලද ඉල්ලීමක් ප‍්‍රකාරව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් දොස්තර ෂාෆිව රඳවා තබා ගැනීමේ නියෝගය අවලංගු කොට තිබේ. එබැවින් දොස්තර ෂාෆි සියලූ චෝදනාවලින් නිදහස් කෙරෙන්නේය.’’ යනුවෙන් සිය වාර්තාව හරහා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා අධිකරණයට දන්වා සිටියේය. 

අධිකරණ සේවා කොමිසම වෙත කරන ලද පැමිණිලි   

දොස්තර ෂාෆිගේ නඩුව විභාග කළ කුරුණෑගල මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම්ගේ පක්ෂපාතීත්වය සහ විෂමාචාරය පිළිබඳව දොස්තර ෂාෆිගෙ බිරිඳ, ‘තරුණ මාධ්‍යවේදීන්ගේ සංවිධානය’ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණ සේවා කොමිසම වෙත මේ වන විට වෙන වෙනම පැමිණිලි ඉදිරිපත් කොට ඇත. රඳවා තබා ගැනීමේ නියෝගය ඉවත් කරගන්නා බව අධිකරණයට දැනුම් දී තිබියදීත් මහේස්ත‍්‍රාත්වරයා තවදුරටත් දොස්තර ෂාෆිව රක්ෂිත බන්ධනාගාරගත කිරීම ඔවුන්ගේ පැමිණිල්ලේ අඩංගු එක් කාරණයකි. තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ‘බී’ වාර්තාව මගින් මහේස්ත‍්‍රාත්වරයාගේ බැඳියාවන් අතර ගැටුමක්ද ඔවුන් විසින් පෙන්වා දී තිබේ. මහේස්ත‍්‍රාත්වරයාගේ බිරිඳ සේවය කරන්නේ මේ සිද්ධියට අදාළ කුරුණෑගල රෝහලේ ය. එසේම, ඈ සේවය කරන්නේ, මේ නඩුවට සම්බන්ධ වී සිටින තවත් ප‍්‍රධාන පුද්ගලයෙකු වන, කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වන එස්. වීරබණ්ඩාර යටතේ ය. තවද, දොස්තර ෂාෆි වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තුන්වැනි වගඋත්තරකරු වන කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳත් මේ කියන රෝහලේ ඉහත කී අධ්‍යක්ෂවරයා යටතේ සේවය කරන්නියකි. ඒ අනුව, සාධාරණ නඩු විභාගයක් පවත්වාගෙන යාම සඳහා මහේස්ත‍්‍රාත්වරයාව මේ නඩුවෙන් ඉවත් කරන්නැයි දොස්තර ෂාෆිගේ බිරිඳ ‘අධිකරණ සේවා කොමිසමෙන්’ ඉල්ලා තිබේ. 

මේ අතර, පාස්කු ප‍්‍රහාර ගැන විමර්ශනය කිරීමට පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ පසුගිය බදාදා පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ෂානී අබේසේකර, දොස්තර ෂාෆිට විරුද්ධ චෝදනා තහවුරු කෙරෙන කිසි සාක්ෂියක් තමන් වෙත ඉදිරිපත් වී නැති බවත්, එබැවින් කාන්තාවන් වඳ භාවයට පත්කිරීම හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට සම්බන්ධ බවට ඔහුට එරෙහිව චෝදනා ගොනුකළ නොහැකි බවත් දන්වා සිටියේය. 

වෛද්‍ය පරීක්ෂණ

දොස්තර ෂාෆිට එරෙහිව ඇති චෝදනා අතර කාන්තාවන් වඳ භාවයට පත්කිරීම පිළිබඳ සිද්ධියක් ඇති නිසා ඒ සම්බන්ධයෙන් කළ යුතුව ඇත්තේ නිසි වෛද්‍ය පරීක්ෂණයක් පැවැත්වීම යැයි පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, දොස්තර ෂාෆිගේ නීතිඥවරුත් අධිකරණයට දන්වා සිටියහ. එය, පැලෝපීය නාලය සහ ගර්භාෂය සම්බන්ධයෙන් එක්ස්-රේ මාර්ගයෙන් කෙරෙන පරීක්ෂණයකි. ඒ මගින්, මේ කියන සිද්ධිය සැබෑවක්දැයි නිසැකව දැනගත හැකිය. අවසාන දරු ප‍්‍රසූතියේදී කරන ලද සිසේරියන් සැත්කම හේතුකොටගෙන ඉන් පසුව තමන්ට පිළිසිඳ ගැනීමක් සිදුව නැති බවට පැමිණිලි කළ කාන්තාවන් 147 ක් මේ පරීක්ෂණය (එච්.එස්.ජී* සඳහා වන වැඩ මුළුවකට සහභාගී කර ගැනීමට නියමිත විය.  

මේ කියන එච්.එස්.ජී. පරීක්ෂණය, ජාත්‍යන්තර පරීක්ෂණ සහ සමීක්ෂණ වාර්තාවලට අනුව, ඉතා ආරක්ෂාකාරී එකකි. එසේ වෙතත්, අදාළ මව්වරුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරු එම පරීක්ෂණය කිරීමට විරුද්ධ වූහ. ඔවුන්ගේ තර්කය වුණේ, මේ පරීක්ෂණයට සහභාගී වීමෙන් ඒ කාන්තාවන්ට සෞඛ්‍ය අවදානමක් දැරීමට සිදුවිය හැකි බවත්, පිළිකා වැනි රෝග වැළඳීමට ඉඩ ඇති බවත් ය. ඒ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට සුදුසුම පුද්ගලයා කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ වීරබණ්ඩාර බව එම නීතිඥයෝ උසාවියට කියා සිටියහ. ඒ අනුව, වෘත්තියෙන් දත් දොස්තර කෙනෙකු වන වීරබණ්ඩාරට, කාන්තා පැලෝපීය නාල පරීක්ෂාව පිළිබඳව අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට මහේස්ත‍්‍රාත්වරයා ඉඩ හැරියේය. අධිකරණය ඉදිරියේ ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් කළ මේ දත් දොස්තර, මෙකී පරීක්ෂණයට භාජනය කිරීමෙන් කාන්තාවන්ට විය හැකි අවදානම අවධාරණය කොට සිටියේය. 

ඒ මගින් කාන්තාවන් පිළිකා රෝගයට ගොදුරු විය හැකි බව ඔහු කීවේය. මරණයට පත්විය හැකි බව කීවේය. වෙනත් අතුරු ආබාද ඇති විය හැකි බව කීවේය. ඔහුගේ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත‍්‍රාත්වරයා අර කී වෛද්‍ය පරීක්ෂණය (එච්.එස්.ජී.) අත්හිටුවීය. ඊළඟට, වින්දිතයන් වී ඇති කාන්තාවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරුන්ගේ ඉල්ලීම පරිදි, දොස්තර ෂාෆි පිළිබඳ පරීක්ෂණ පවත්වන විශේෂඥ වෛද්‍ය කමිටුවකටත් මේ දත් දොස්තරව ඇතුළත් කරගන්නා ලෙස අධිකරණය නියෝග කෙළේය. එහෙත්, මේ විෂය පිළිබඳ විශේෂඥ දැනුම ඇති නාරිවෛද්‍ය විශේෂඥයන්ට සහ ප‍්‍රසව වෛද්‍ය විශේෂඥයන්ට පමණක් එම විශේෂ කමිටුවේ සාමාජිකයන් විය හැකි බව, පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී බී. ඇස්. තිසේරා අධිකරණයට දන්වා සිටින ලදි. 

පසුව, දන්ත වෛද්‍ය වීරබණ්ඩාර අධිකරණයට ඉදිරිපත් කළ ප‍්‍රකාශයන් පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාව සොයා බැලීමට පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව රජයේ රෝහල් සහ පෞද්ගලික රෝහල් කිහිපයකින් අදහස් විමසා සිටියේය. ඒ අනුව, පසුගිය වසර පහක කාලය තුළ (2014-2019) සිදු කරන ලද මෙකී එච්.එස්.ජී. පරීක්ෂණවල ප‍්‍රතිවිපාක වශයෙන් අතුරු ආබාධ කිසිවක් පිළිබඳ වාර්තා ඇත්දැයි එම රෝහල්වලින් විමසා සිටින ලදි. රජයේ ශික්ෂණ රෝහල් 12 ක් සහ පෞද්ගලික රෝහල් 4 ක අදහස් ඒ අනුව ලබා ගැනුණි. මේ කාලය තුළ එකී රෝහල්වල කරන ලද 10,000 ක පරීක්ෂණ අතරින් කිසි කාන්තාවක් මරණයට පත්වී නැත. කාන්තාවන් 4 දෙනෙකු පමණක්, ‘හුස්ම ගැනීමේ සුළු අපහසුතාවක්’ පිළිබඳ පැමිණිලි කොට තිබුණි.




(2019 ජුලි 26 වැනිදා Daily Mirror පුවත්පතේ පළවූ Mass Sterilization Narrative Taking Ironic Turns (1)"නමැති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)