‘‘වැඩකරන ජනතාව සමගි සම්පන්න නොවී අන්තවාදය පරදන්න බැහැ‘‘ - අනුර


අදට (1) යෙදී තිබෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරුම අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියේ වැඩ කරන ජනතාවගේ එක්කාසුවකින් තොරව අන්තවාදය පරාජය කළ නොහැකි බවත් සෑම පැත්තකින්ම අසාර්ථක වූ පාලක පන්තියක් මෙරට බලය හොබවමින් සිටින බවත්ය. 

මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, 


අසාර්ථක පාලක පන්තියක් 

''සෑම පැත්තකින්ම අසාර්ථකත්වයට පත්වුණු පාලක පන්තියක් අපේ රටේ බලය හොබවමින් සිටිනවා. එදිනෙදා සිදුවෙන සෑම සිදුවීමකදීම, එදිනෙදා පෙන්නුම්කරමින් සිටින සෑම කරුණකදීම පැහැදිලි වන්නේ අන් කවරක්වත් නොවෙයි මේ පාලක පන්තියේ අසමත් භාවයයි. ඒ නිසා අන්කවරදාටත් වඩා ශක්තියකින් අන්කවරදාකටත් වඩා වේගයකින් අපි හැමදෙනාගේම මැදිහත්වීම, කාර්යභාරය පැවරී තිබෙන්නේ මේ පාලක පන්තිය වෙනුවට නව පාලනයක් ගොඩනඟන්නයි.

අපේ රටේ තීව්‍රරතම දේශපාලනය බවට පත්වී තිබෙන්නේ ජාතිවාදය සහ ආගම්වාදය. දෙමළ ජනතාව තුළ ජනප්‍රියතම දේශපාලනය දෙමළ ජාතිවාදයයි. මුස්ලිම් ජනතාව තුළත් ජනප්‍රියතම දේශපාලනය මුස්ලිම් ජාතිවාදය සහ අන්තවාදයයි. සිංහල ජනතාව තුළ ජනප්‍රියතම දේශපාලනය සිංහල ජාතිවාදයයි. මේ තත්වය යටතේ අප සිටගත යුත්තේ කොතනද? කුමන අසීරුතා තිබුණත්, කුමන අවලාද මඩ ගැසීම්, ප්‍රහාරයන් මධ්‍යයේ වුවත් අපි නිවැරදිව සිටිය යුතු වන්නේ සියලුම ජාතිවාදයන්ට හා සියලුම ආගමික අන්තවාදයන්ට එරෙහිවයි. ඒක මේ මොහොතේදී ටිකක් අසීරු කරුණක් වෙන්න පුළුවන්. ලෝකය පුරාමත්, අපේ රටේත් අත්විඳිමින් සිටින්නේ ධනපති පන්තියේ අසාර්ථක භාවයයි. එය සැඟව සිටින්නේ ආගමික අන්තවාදයේ සහ ජාතිවාදයේ. තක්කඩියාගේ අවසාන නවාතැන් පොළ ජාතිවාදයත්, ආගමික අන්තවාදයත් වෙනවා.

ආර්ථික සංවර්ධනයේ නව ගමන් මාර්ගය ගැන ජනතාවට පැහැදිලි කරන්න බැහැ

ජනතාවගේ මූලික අවම වුවමනාවන් සපුරාලන්න අසමත්වීම තුළ තමයි අසාර්ථකත්වය නිර්මාණයවී තිබෙන්නේ. ඔවුන්ට දේශපාලන පිටියේ සියලු සටන් පාඨ අහිමිවී තිබෙනවා. මේ පාලක පන්තියට ජනතාවගේ ආර්ථික සමෘද්ධිය, ආර්ථික සංවර්ධනය කියන සටන් පාඨ ගොඩනඟන්න බැහැ. 1978දී සංවර්ධනය ගැන මහා සටන් පාඨ දිගහැරි බව අපි දන්නවා. ඒ අනුව මේ දක්වා පාලනය හෙබවූ මේ දෙපිරිසටම ජනතාව ඉදිරියට ඇවිල්ලා ආර්ථික සංවර්ධනයේ නව ගමන් මාර්ගය ගැන ජනතාවට පැහැදිලි කරන්න බැහැ. ජනතාවගේ මූලික පහසුකම් සපයන්න බැරි තරමට ආර්ථිකය විශාල බිඳවැටීමකට ලක්කරලා. අධ්‍යාපනය තිබෙන්නේ පාසලේ නොවෙයි, පාසලෙන් එළියේ. සෞඛ්‍ය තියෙන්නේ රෝහලේ නොවෙයි, රෝහලෙන් එළියේ. ප්‍රවාහනය තියෙන්නේ පොදු ප්‍රවාහනයේ නොවෙයි, තමන් සපයා ගන්නා බයිසිකලයක හරි වෙනත් වාහනයක.

මේ කණ්ඩායම් දෙකටම යහපත් ආණ්ඩුකරණයක් පිළිබඳ සටන් පාඨ ජනතාව අතරට ගෙනියන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටන් පාඨ ගෙනියන්නත් බැහැ. ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු වගකීමක් නැතිව හැසිරුණු රනිල් වික්‍රමසිංහලා අද කටයුතු කරමින් ඉන්නේ අවස්ථාව උපයෝගී කරගෙන ජනතාව මර්දනය කිරීමේ නීති සම්මත කරගන්නයි. දැනටමත් ඔවුන් කියන්නේ ප්‍රතිත්‍රස්ත පනත සම්මත කරගෙන තිබුණා නම්, මේ තත්වය ඇති නොවන බවක්. රනිල් වික්‍රමසිංහලාට දඩයම් කරන්න ඕන වුණාම නීති පොත හොයන්නේ නැහැ. කෙනෙක් ආරක්ෂා කරන්න ඕන වුනාම නීති පොත්වල වගන්ති හොයනවා.

ජනතාවට වගකියන දේශපාලන ශිෂ්ටත්වයක් අවශ්‍යයි

මේ කණ්ඩායම් දෙකම දේශපාලනය අශිෂ්ටත්වයට පත්කර තිබෙනවා. ඒ නිසා ජනතාවට වගකියන දේශපාලන ශිෂ්ටත්වය පිළිබඳ නව සටන් පාඨයක් ප්‍රකාශයට පත්කළ යුතු වෙනවා. වෙන කවරදාටත් වඩා වැඩියෙන් ජාතිවාදයත්, ආගමික අන්තවාදයත්, මතුකරමින් සැබෑ සටන් පාඨ යටයවා තිබෙනවා. ඒ සැබෑ සටන් පාඨ සමාජයේ ඉදිරියට ගෙන ඒම අපේ වගකීමක්. මේ සටන් පාඨ ඉදිරියට ගෙන ඒම වැඩකරන පන්තියේ වෘත්තීය සමිති, ධීවර, වතු ක්ෂේත්‍රයේ ආදි සියලුම ක්ෂේත්‍රවල සහෝදර සහෝදරියන්ට පැවරී තිබෙනවා. අප හමුවේ තිබෙන අභියෝගය කුමක්ද? අතිශය දුෂ්කර, අතිශය අමාරුම තත්වයන් යටතේ හෝ කිසිදු ජාතිවාදයකට, කිසිදු ආගමික අන්තවාදයකට පංතිය යටත් කිරීමට ඉඩ නොදිය යුතුයි. ඊළඟ බල හුවමාරුව දක්වා මේ ත්‍රස්තවාදී ප්‍රහාරයේ කම්පනය ගෙනයාමට ඔවුන් උත්සාහ කරන බව පැහැදිළියි.

පසුගිය අප්‍රේල් 21වෙනිදා ප්‍රහාරයට අපේ ප්‍රවේශය කිසිසේත්ම එය දේශපාලන බල න්‍යාය පත්‍රයේ කොටසක් බවට පත්කර නොගැනීමයි. අපේ දේශපාලන බල න්‍යාය පත්‍රය වෙනුවෙන් ඕනෑවටත් වඩා සටන් පාඨ එළියේ නිර්මාණය කර තිබෙනවා. ආර්ථිකය පිළිබඳ, සමාජ පරිහානිය පිළිබඳව, සමාජයේ බිඳවැටීම පිළිබඳව, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපත් ආණ්ඩුකරණය පිළිබඳ සටන් පාඨ ඕනෑවටත් වඩා වැඩියෙන් අපට තිබෙනවා. ඒ නිසා ජාතිවාදය හෝ ආගම්වාදය අපේ දේශපාලනයේ අංශු මාත්‍රයකින් හෝ සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාවයක් නැති බව ජනතාවට සහතික කරනවා. හැබැයි ධනපති පන්තියට ඉතිරිවී තිබෙන එකම සටන් පාඨය ජාතිවාදය සහ ආගම්වාදය පමණයි. එයට විශාල සංවිධාන ජාලයක් තිබෙනවා. එයට මහා මාධ්‍ය ජාලයක් තියෙනවා. එයට මහා කටකතා ජාලයක් තිබෙනවා. මේ සියල්ල හමුවේ අපි අපේ ස්ථාවරයන් ආරක්ෂා කර ගැනීම අප හමුවේ අත්හල නොහැකි වගකීම වන්නේ.

මේ අන්තවාදය පරදන්න අපිට වගකීමක් තියෙනවා 

සන්නද්ධමය ස්වභාවය දක්වා ආගමික අන්තවාදය වර්ධනයවී තිබෙනවා. ආගමික උමතු අන්තවාදයත්, ඒ වෙනුවෙන් සියදිවි හානිකර ගන්නා මානසිකත්වයත් ගොඩනගා තිබෙනවා. මේ අන්තවාදය පරාජයට පත්කිරීම සඳහා වගකීමක් අපට තිබෙනවා. ආගමික අන්තවාදයට එරෙහිව මතයක් අද ගොඩනැගී තිබෙනවා. ඒ අන්තවාදය විශේෂයෙන්ම මුස්ලිම් සමාජය ඇතුළේ ගොඩනැගී තිබෙනවා. ඒ අන්තවාදය වර්ධනය වී තිබෙන්නේ මුස්ලිම් සමාජය නමැති ගර්භාෂයේ. මේ කළලය වර්ධනය වෙන්න දෙනවාද ගබ්සාකර දමනවාද කියා මුස්ලිම් සමාජය තීරණයක් ගත යුතුයි. අද වැඩියෙන්ම බියට සහ තැතිගැනීමට ලක්වී සිටින්නේ මුස්ලිම් සමාජයයි. මේ අන්තවාදීන් කිසිදු සමාජ කොටසක ආරක්ෂාව තහවුරු කර නැහැ. කිසිදු සමාජ කොටසක පැවැත්ම තහවුරු කර නැහැ. ඒ නිසා අපි මුස්ලිම් සමාජයට ආරාධනා කරන්නේ ඔබේ සමාජ ගර්භාෂය තුළ වර්ධනය වෙමින් තිබෙන මේ කළලය විනාශයට පත්කරන්න කියලයි. මේ බිහිසුණු අනතුර මුළු සමාජයම ඩෝසර් කරගෙන ඉදිරියට යෑම වැළැක්වීමයි සියලුදෙනාගේම වගකීම වෙලා තිබෙන්නේ.


යළි කිසිදු වර්ගයේ ආගමික අන්තවාදයක් හෝ ජාතිවාදයක් වර්ධනය වීමට ඉඩ නොදී ජාතික සමගියත්, ආගමික සහජීවනයත්, ඇති කිරීමට පොදු ජනතාවට විශාල වගකීමක් තියෙනවා. එක ජාතිවාදයක් තවත් ජාතිවාදයක් පෝෂණය කරනවා. එක ආගමික අන්තවාදයක් විසින් තවත් ආගමික අන්තවාදයක් පෝෂණය කරනවා. එක් ආගමික අන්තවාදයකට විරුද්ධව කළ යුතුව තිබෙන්නේ තවත් ආගමික අන්තවාදයක් වර්ධනය කිරීම නොවෙයි. එක් ජාතිවාදයකට විරුද්ධව තවත් ජාතිවාදයක් වර්ධනය කිරීම නොවෙයි. ආගමික අන්තවාදයත්, ජාතිවාදයත් එකිනෙකාට සේවය කරමින් වර්ධනය වෙනවා. ඒ නිසා ජාතිවාදයෙන් ජාතිවාදය පරාජයට පත්කරන්න බැහැ. ආගමික අන්තවාදයත්, ආගමික අන්තවාදයකින් පරාජයට පත්කරන්න බැහැ. හැබැයි පොදු සමාජයට යම් සාකච්ඡාවක් ගොඩනඟමින් මෙයට එරෙහිව මතයක් ගොඩනැගීම කළ යුතුයි.

යහපත් ආණ්ඩුකරණය හා දේශපාලන ශිෂ්ටත්වය වෙනුවෙන් ජවිපෙ

ආගමික අන්තවාදයක් තවත් ආගමික අන්තවාදයකින් පරාජය කළ නොහැකි බවත්, එය පරාජයට පත්කිරීමට ධනපති රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීමෙන් කළ නොහැකි බවත්, අපි සියලු දෙනා තේරුම් ගත යුතුයි. මේ මොහොත ධනපති පන්තිය සෑම ක්ෂේත්‍රයකම අසාර්ථකත්වයට පත්වී ඇති මොහොතක්. එම නිසා නව දේශපාලන ගමනක් පිළිබඳව ජනතාව තුළ විශාල සංවාදයක් ගොඩනැගෙමින් තිබුණා. ජනතාවට වෙනසක් ඕනෑ වෙලා තිබුණා. වෙනස මේ දෙගොල්ලම නොවෙයි කියලා මුළු සමාජයම කතා වෙමින් තිබුණා. 

ඒනිසා ජාතික සමගිය රටේ ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාව ප්‍රමුඛ ලෙස සලකන ගමන් අපේ ආර්ථිකය ප්‍රජානතන්ත්‍රවාදය යහපත් දේශපාලනය වගේම යහපත් ආණ්ඩුකරණය සහ දේශපාලන ශිෂ්ඨත්වය පිළිබඳ පොර පිටියක් අපේ රටේ ඇති කළ යුතු වෙනවා. අසීරුතම මොහොතක වුණත් ඒ තත්වය නිර්මාණය කිරීම සඳහා අදිටනින් යුතුව කටයුතු කළ යුතු වෙනවා.

වැඩකරන ජනතාවගේ සමගි සම්පන්න බවින් තොරව අන්තවාදය පැරදවිය නොහැකියි

ජනතාව යම් අසරණ භාවයකට, අනාරක්ෂිත භාවයකට, තැතිගැන්මකට ලක්වී තිබෙන මොහොතක ඉතාමත් වැරදි අගතිගාමී දේශපාලන මතයක් පැළ කරන්න පුළුවන් වටපිටාවක් සමාජයේ නිර්මාණය වී තිබෙනවා. අගතිගාමී මතයන් පෝෂණය කරන්න බොහෝ අය කටයුතු කරන බව පේනවා. හැබැයි එයට වර්ධනය වීමට හෝ ඉදිරියට යාමට ඉඩ නොදිය යුතුයි. මේ අගතිගාමී, අන්තවාදී මතවාදයන් පරාජයට පත් කළ හැක්කේ වැඩකරන ජනතාවටයි. කවර හෝ ආගමික ප්‍රවණතාවයන්ට, කවර හෝ ජාතිවාදී ප්‍රවණතාවයන්ට ඔබ රැකියාව කරන තැන යටත් වීමට ඉඩ නොදිය යුතුයි. ආගමික අන්තවාදයට ජාතිවාදයට විරුද්ධව ප්‍රබලතම සටන් පාඨය ගොඩනැගිය හැක්කේ වැඩකරන ජනතාවගේ සමගියෙන් පමණයි. 

වැඩකරන ජනතාව සමගි සම්පන්න වීමකින් තොරව උතුරේද, දකුණේද, නැගෙනහිරද, බස්නාහිරද වතුකරයේද කවර තැනකදී වුවද අන්තවාදය පරාජය කළ නොහැකියි. අද මෙතනට එක්රැස්වී සිටින්නේ වැඩකරන ජනතාවට නායකත්වය දෙන පිරිසක්. එළඹෙමින් තිබෙන එම අනතුරු පරාජයට පත්කරන්න වැඩකරන ජනතාව සමඟ ජවිපෙ වෘත්තීය සමිති ව්‍යාපාරය නායකත්වය ලබාදෙනවා. මේ අසාර්ථකත්වයේ කෙළ පැමිණි පාලක පන්තිය වෙනුවට නව ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගිය යුතුයි. ඒ වෙනුවෙන් ස්ථිර අදිටනින් යුතුව මෙම මැයි දින සැමරුම යොදාගත යුතුයි.‘‘ යන්නයි.