අගමැති - එස්.එෆ් ගෙන් ආරක්ෂක උපදෙස් විමසන්න පමා කරලා


බෝම්බ පිපිරීමෙන් පසු අගමැති රනිල් වික්‍රමසිංහ හමුවීමට තමන්ට අවස්ථාවක් හිමිවූවේ පැය හයකට පසුව බව අද (24) පාර්ලිමේන්තුව අමතමින් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අවධාරණය කර සිටියේය. 

ආරක්ෂාව මෙන්ම ත්‍රස්ත ප්‍රහාර ගැන ද මනා දැනුමක් හා අත්දැකීම් ඇති තමන් වැන්නෙකුගෙන් ප්‍රයෝජන ගැනීමට නිසි බලධාරීන් ක්‍රියා නොකරන්නේදැයි මෙහිදී ඔහු විමසා සිටියේය. 


‘‘මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්. මේ සිද්ධිය වෙලා පැය හයකට පස්සෙයි අගමැතිතුමාව මුණගැහෙන්න මට අවස්ථාව ලැබුණේ‘‘ යනුවෙන් චෝදනා නැගූ ෆීල්ඩ් මාර්ෂල්වරයා වැඩිදුරටත් පැවසුවේ, ජනපති තමන්ට නීතිය හා සාමය අමාත්‍ය ධූරය නොදී සිටින්නේ ඩී.අයි.ජී නිළධාරීන්ගේ උපදෙස් ලබාගෙන බවයි. 


‘‘ජනපතිතුමා මට නීතිය හා සාමය නොදී ඉන්න හේතු වුණු කරුණු විදියට කියා තිබුණේ ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක්, රාජ්‍ය නිළධාරීන් හා ඩී.අයි.ජී කීපදෙනෙකු කිව්වලු මට මේ පත්වීම දෙන්න එපා කියලා..‘‘ යනුවෙන් ඒ ගැන කරුණු පැහැදිලි කරමින් පැවසුවේ.


මෙහිදී ඔහු දැක්වූ අදහස් කෙටියෙන්,

 ‘‘යුද්ධයෙන්  පසු ජනතාව කානිවල් ජීවිතයක් ගත කළා. එය ගැටලුවක් නොවේ. නමුත් දේශපාලනඥයන් සහ ආරක්ෂක අංශත් එවැනි සැහැල්ලුවෙන් ක්‍රියා කිරීම ගැටලුවක් වුණා. ත්‍රස්තවාදය එකවරම ඇතිවන දෙයක් නෙවේ.

ජාතික බුද්ධි ප්‍රධානියා පොලිස්පති යටතේ සිටින්නෙකු නොවේ. ඔහු යටත් වන්නේ ජනාධිපති සහ ආරක්ෂක ලේකම්ටයි. ජනාධිපති ඒ ගැන දැනුවත් නෑ කියන එක පිළිගන්න බෑ. එසේ නොවුණේ නම් එය ගැටලුවක්. පොලිස්පතිට චෝදනා කිරීම පදනම් විරහිතයි.

මට අවශ්‍ය ආරක්ෂාව වත් නෑ. මට තාම තියෙන්නෙ ඔබතුමා (මහින්ද රාජපක්ෂ මහතා පෙන්වමින්) දුන්න 17 දෙනාගෙ ආරක්ෂාවයි අර කැඩි කැඩි යන ජීප් එකයි විතරයි.

නිදහසට කාරණා අවශ්‍ය නෑ. වෙන රටක නම් අදාල අය ඉල්ලා අස්වෙනව. අර නාමල් කුමාර කියන නරුමයගෙ ඔත්තුවට දුන්න තරම්වත් උනන්දුවක් මේකට දුන්නෙ නෑ. ආරක්ෂාව විහිළුවක් වෙලා තිබ්බෙ.

ආරක්ෂක කවුන්සලේ කවුද ඉන්නෙ? අගමැතිවත් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවත් රැස්වීම්වලට ගෙන්නුවෙ නැහැලු. මට ආරංචි උනා ඔබතුමාලගෙ පැත්තෙ (විපක්ෂය) සමහරුයි මේකෙ වාඩිවෙලා හිටියෙ කියල. මොන රටේද විරුද්ධ පක්ෂෙ මිනිස්සු ආරක්ෂක කවුන්සලේ වාඩිවෙන්නෙ? ආරක්ෂක කවුන්සලේ කතාකලේ රේස් ඔට්ටු දාන එක ගැනද? මේව ලෝක විහිළු.

අගමැති තුමාට මම ගරු කරනව. නමුත් ඔබතුමාට මාස හයක් රැස්වීම්වලට එන්න නොකීව නම් ඇයි ඔබතුමා බලන් හිටියෙ. ඔබතුමාට ඒකට යන්න තිබ්බ. ක්‍රියාත්මක වෙන්න තිබ්බ. පාර්ලිමේන්තුවෙ කියන්න තිබ්බ. අපි කවුරුත් ඒ ගැන දැනගෙන හිටියෙ නෑ. නැත්තම් අගමැති හැටියට කොහොමද ඔබතුමා වගකීම ඉෂ්ට කරන්නෙ? ඒක කාටවත් නිදහසට කාරණයක් නෙවේ.

නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට ආරක්ෂක කවුන්සලේට එන්න දෙන්නෙ නැත්තම් එතුම නිදහස් වෙලා මොකටද? එහෙනම් එතුමා අස්වෙන්න ඕනි. ආරක්ෂක කවුන්සලේට යන්න බැරි නියෝජ්‍ය ඇමතිකමෙන් වැඩක් තියෙනවද?

මේ තනතුරු වලට ගැලපෙන මිනිස්සු අපි දාල හිටියද? ඒ ප්‍රශ්නෙ මගෙ හිතේ තියෙනව. සමහර නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරු වැදගත් සුන්දර මිනිස්සු. නමුත් අවශ්‍ය දැනුම තියෙන්න ඕනි. ඒ නීතිය හා සාමය ඇමතිවරුන්ට ඒ පිළිබඳ පසුබිමක් තිබුණෙ නැහැ. නීතිය පිළිබඳ දැනුමක් නැහැ. මේ කාරණාවලට මෝරපු මිනිස්සු ඕනි. තරුණ මන්ත්‍රීවරු දාල මේව කරන්න බෑ. කොහොමද අවුරුදු 55ක් 60ක් වෙච්ච පොලිස්පති කෙනෙකුට හමුදාපති කෙනෙකුට අවුරුදු 40ක් වෙච්චි මන්ත්‍රී කෙනෙක් උපදෙස් දෙන්නෙ? අපිත් ඒ තනතුරු වල හිටිය. අපේ කාලෙත් එහෙම හිටිය නම් ඒක අපහසුතාවට පත්වන තත්ත්වයක්. ආණ්ඩුවෙ තව තැන් තියෙනව සුදුස්සො ඒ තැන්වල නැති.

අපි කිව්ව පරිපාලන නිලධාරියෙක් ආරක්ෂක ලේකම් වෙන්න ඕනි කියල. එක්කෙනෙක් දෙන්නෙක් එහෙම හිටිය ඊටපස්සෙ ඒ සෙල්ලම එපා වුණා. ඊටපස්සෙ දුන්නෙ තමුන්ගෙ හිතවතුන්ට. ඒ ඔක්කොමල අසාර්ථකයි. ඉන්දියාවෙ ඉන්නව පරිපාලන නිලධාරින් ආරක්ෂක ලේකම් විදිහට නමුත් ඒ අය ආරක්ෂක විද්‍යාලයට ගිහින් ඒ ගැන අවබෝධයක් ලබාගත් අය. උපාධියක් තිබ්බ පලියට ආරක්ෂාව ගැන තේරෙන්නෑ. ප්ලැටූන් එකක 25ක් ඉන්නව කියල දන්නෙ නෑ සමහර ආරක්ෂක ලේකම්වරු.

මේ සිද්ධිය වෙලා පැය 48ක් යනකම් මට අගමැතිවරයා හම්බවෙන්න වෙලාවක් දුන්නෙ නෑ. මම ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්. මම ෆීල්ඩ් මාර්ෂල් උනේ ගෝල්ෆේස් එකේ කඩල විකුණල නෙවෙයි. මට මේවට ආරාධනාවක් ලැබෙන්න තිබුණ. මේ ආණ්ඩුවෙ ඉන්නවද මට වඩා කවුරුත් ආරක්ෂාව ගැන දන්න අය? අපෙන් ප්‍රයෝජන ගන්න. අපි වැඩ කරන්න ලෑස්තියි.‘‘