''දූෂණ හා අක්‍රමිකතා වලින් වැඩිම බලපෑම කාන්තාවටයි'' – ට්‍රාන්ස්පේරන්සි කියයි



මාර්තු 8 වෙනිදාට යෙදෙන අන්තර්ජාතික කාන්තා දිනය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කර සිටින්නේ, පුළුල්ව පැතිර පවතින දූෂණ සහ අක්‍රමිකතා දිගින් දිගටම ශ්‍රී ලාංකීය කාන්තාව කෙරෙහි දැඩි සේ අයුක්තිසහගත බලපෑම් ඇති කරන බවයි. දේශපාලන ක්ෂේත්‍රය තුල සීමිත කාන්තා නියෝජනයක් පැවතීමේ සිට කාන්තාවන් වෙතින් ලිංගික අල්ලස් ලබාගැනීමේ සිද්ධීන්ට අදාළව නීතිය බලාත්මක නොවීම දක්වා පවත්නා තත්ත්වය මත තවදුරටත් එය උත්සන්න වන බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි.

රාජ්‍ය සේවාවන් ලබාගැනීමේදී කාන්තාවනට මුහුණ පෑමට සිදුවන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධ අත්දැකීම් පිළිබඳ, 2014 වසරේ දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයන ප්‍රථිපල තහවුරු කර සිටින ආකාරයට, පුරුෂ ගෘහ මුලිකයන්ට සාපේක්ෂව ස්ත්‍රීන් විසින් ගෘහ මුලිකත්වය දරණ අවස්ථාවන්හිදී, එම ස්ත්‍රීන් වැඩි වශයෙන් දූෂණ සහ අක්‍රමිකතාවන්ට ගොදුරු වීමේ අවදානමක් පවත්නා බවයි. මේ පිළිබඳව ඉන් පසු සිදු කරනු ලැබූ අධ්‍යයනයන වලින්ද තහවුරු වුයේ ඉහත ප්‍රවණතාවයේ වෙනසක් සිදු වී නොමැති බවයි.

මේ පිළිබඳ අදහස් දක්වමින්, පළාත් පාලන ආයතනයන්හි කාන්තා නියෝජනය පිළිබඳ කෝටාවක් හඳුන්වාදීම, විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය වැඩ පිළිවෙලෙහි දෙවැනි ජාතික ක්‍රියාකාරී සැළැස්ම යටතේ කාන්තාවන් සඳහා ප්‍රගතිශීලි පියවරයන් ගෙන තිබීම ආදී වශයෙන්, ස්ත්‍රීන් සහ පුරුෂයන් අතර පවත්නා වෙනස් කොට සැළකීම තුරන් කිරීම උදෙසා දැවැන්ත පියවර රාශියක් ගෙන තිබෙන නමුත්, ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අපහසුතා පැවතීම මුලික ගැටළුව බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර පැවසීය.

අසෝක ඔබේසේකර

කාන්තා සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ අරමුදල, 2010 වසරේ අවධාරණය කර සිටි ආකාරයට, පුරවැසි කාන්තාවන් වෙත වගවීමට කිසියම් රජයක් විසින් අපොහොසත්වීම,කාන්තාවන් සම්පත් සහ රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේදී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන දූෂණ සහ අක්‍රමිකතා ඉහළ යාමට හේතු වේ. මෙකී තත්ත්වය, කන්න්තාවන් විවිධ අපරාධයන්ට සහ ලිංගික අල්ලස් ලබා ගැනීම් වලට ගොදුරු වීමේ අවදානම ඉහළ නංවයි.

තවදුරටත් සිය අදහස් දක්වමින්, ඔබේසේකර මහතා පැවසුවේ, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය අත් කර ගත හැක්කේ සමාන කාන්තා සහභාගිත්වය සහ නියෝජනය හරහා බවයි. එබැවින් දූෂණය පිටු දැකීමට මුල් තැන ලබාදී, සාධාරණ සහ විවෘත දේශයක් ගොඩනැගීමට දායක වන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ජනතාව සහ රජය යන දෙපාර්ශවයෙන්ම අයාචනා කර සිටින බවයි.