ජගත් කාන්තා දිනය සැමරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරම අයිතියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා සංවිධානය මගින් පවත්වනු ලබන ජගත් කාන්තා දින සැමරුම් උළෙලට මාගේ සුබ පැතුම් පිරිනමන්නේ හදපිරි සතුටිනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අප මාතෘ භූමියේ පමණක් නොව සමස්ත ලෝකයේ  ම මව්වරුන් සහ දියණියන් උදෙසා ඉටු කර ඇති කර්තව්‍යයන් සිහිපත් වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය ලෙසත්, පක්ෂයේ හිටපු සභාපතිනිය ලෙසත් සිතට දැනෙන්නේ මහත් අභිමානයකි.



            දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1946 වසරේ දී පිහිටුවන ලද "එක්සත් ජාතීන්ගේ කොමිසම"මගින් පළමු වරට කාන්තා අයිතිවාසිකම් සහ ඒ වෙනුවෙන්  සිදු කෙරෙන අරගල ජගත් පිළිගැනීමට ලක් විය. අනතුරුව 1953 දී ඔවුන් විසින් යෝජනා කළ " කාන්තාවන්ට දේශපාලන අයිතිය ලබා දීම පිළිබඳ ජගත් සම්මුතිය" කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකය තැබූ තවත් වැදගත් පියවරක් විය. එමෙන් ම 1967 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලබූ " කාන්තාවන්ට වෙනස් ආකාරයට සැලකීම නැතිකර දැමීමේ ප්‍රකාශය" මෙහි තවත් සාර්ථක දිගුවක් විය.

            ජගත් සංවිධානය ප්‍රමුඛ ජාත්‍යන්තරය කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ හැකියාවන් පිළිබඳ මෙලෙස සාකච්ඡා, සම්මුති ක්‍රියාත්මක කරද්දී අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1960 ජූලි මස 21 වන දින ලෝකයේ ප්‍රථම අගමැතිවරිය අප මාතෘ භූමියට දායාද කරමින් ලෝක ඉතිහාසය රනින් බැබලවීය. වර්තමානයේ අප අත් දකින්නාක් මෙන් ම එදා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිනියට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග ඉතා බරපතල විය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අග්‍රාමාත්‍ය පදවියේ දිව්රුම් දීමෙන් පසු ඒ පිළිබඳ විශේෂයෙන් සඳහන් කරමින් ලෝකයේ බොහෝ රටවල පුවත්පත් කතුවැකි ලියා තිබුණි. ඒ අතුරින් එවකට ඉන්දියාවේ ජනප්‍රියම පුවත්පතක් වූ "මැඩ්ඩ්‍රාස් මේල්" පුවත්ප‍තේ ලියූ කතුවැකියෙහි තිබූ සටහනක් වැදගත් වෙතැයි සිතමි.

"ප්‍රතිවාදීන් විසින් ජාතිවාදී හා ආගම්වාදී හැඟීම් ඇවිස්සීමට එරෙහිව ලාංකික ඡන්ද දායකයන් විසින් තීරණාත්මක ලෙස එම ක්‍රියාවන් පරාජය කිරීම ගැනත් ඉන්දියාව පමණක් නොව සමස්ත ලෝකයේ ම විශ්වාසය දිනා ගත හැකි අවංක, එඩිතර, මානවවාදී නායකත්වයක් පත්කර ගැනීම පිළිබඳ වත් ඉන්දියාව සමස්ත ලාංකික ජනතාවට ස්තුති කළ යුතු ය" යනුවෙනි. එපමණක් නොව එංගලන්තයේ "ලන්ඩන් ස්ටාර්" පුවත්පත් කතුවරයා සිය කතුවැකියෙහි මාතෘකාව ලෙස යොදා ගෙන තිබුණේ "ලොව පුරා කාන්තාවනි නැගිටිව්, ලංකාවේ බණ්ඩාරනායක මහත්මිය තනි කරන්නට ඉඩ නොදෙව්" යනුවෙනි.                       

මෙලෙස ලෝකයේ ප්‍රථම අගමැතිවරිය බිහිකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1976 දී ලෝකයේ රටවල් 84ක සහභාගීත්වයෙන් කොළඹ දී පැවැත් වූ නොබඳි ජාතීන්ගේ පස්වන මහ සමුළුවේ දී එහි ප්‍රථම සභාපතිනිය බිහි කිරීමේ ගෞරවය ද දිනා ගනු ලැබීය. ඉනුත් නොනැවතී දශකයකට වැඩි කලක් රට තුළ දරුණු වාර්ගික යුද්ධයක් පවතිද්දී වුව ද 1994 වසරේ දී දිවයිනේ සමස්ත මැතිවරණ කොට්ඨාශ අතුරින් එකක් හැර අන් සියල්ල ජයග්‍රහණය කරමින් ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද ලක්ෂ විස්සක් ලබා දෙමින් ලෝකයේ ප්‍රථම විධායක ජනාධිපතිවරිය පත්කිරීමේ ගෞරවය ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිමිකරගත්තේ ය.

මේ අනුව ගත් කළ අන් කිසිදු දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට වඩා ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමේ අයිතියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ජයග්‍රහණවලට ශක්තියක් වෙමින් සාර්ථක ඉදිරි ගමනක්  වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයට ඉත සිතින් සුබ පතමි.
මෙයට,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවන විධායක ජනාධිපති සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුශාසක