රැකව වෙල්යාය බලහත්කාරයෙන් කකුළු ව්‍යාපෘතියකට පැවරීමෙන් ජීවිත අනතුරේ

රැකව වෙල්යාය කකුළු ව්‍යාපෘතියකට පවරාගෙන


හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ තංගල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රැකව වෙල්යාය මේ වන විට බලහත්කාරයෙන් කකුළු ව්‍යාපෘතියක් සදහා පවරාගෙන ඇත. මෙසේ පවරාගෙන ඇති වෙල්යාය රැකව කලපුවට ඉතාමත් ආසන්න වෙල් යායක් වන අතර රැකව මහ වැව යටතේ වගා කරමින් සිටි මෙම වෙල්යාය ගොවි ජනතාවටත් නොදන්නා කකුළු ව්‍යාපෘතියක් සදහා පවරාගෙන තිබේ. ගොඩ සහ මඩ අක්කර හැත්තැපහක් පමණ වගා කරන මෙම වෙල් යාය  මාළුවටවන ලැබීම වෙල් යාය ලෙස පුරාණ කාලයේ සිට හදුන්වනු ලබයි.


ක‍්‍රැබ් සිටි දෙවන පියවර ලෙස හදුන්වා ඇති කකුළුවන් ඇති කිරීමේ ව්‍යාපාතිය රැකව වෙල්යායෙන් අක්කර හතලිස් පහක භූමි භාගයක් අත්තනෝමතික ලෙස ව්‍යාජ ඔප්පු හා ලියකියවිලි සාදාගනිමින්  පවරාගෙන ඇති අතර මෙහි සත්‍ය හිමි කරුවන් වන ගොවි ජනතාවට කකුළු ව්‍යාපෘතිය නිසා තමන් පාරම්පරිකව වගා කල භූමිය අහිමි වී ඇත.


 

පාරිසරික පිරික්සුම් වාර්තාවෙන් ඉඩම් මංකොල්ලය සාධාරණීකරණය කරලා


මෙම ව්‍යාපාතිය සදහා මූලික පාරිසරික පිරික්සුම් වාර්ථාවක සකස් කොට ඇති අතර එම වාර්ථාව මගින් රැකව වෙල්යායේ සිදුවන බලහත්කාර ඉඩම් මංකොල්ලය සාධාරණීකරණය කිරිමට උත්සහ දරා ඇත. එම වාර්ථාවට අනුව රැකව වෙල්යාය කිසිදු භාවිතයකයට නොගන්නා මුඩු භූමියක් නිසා  කකුළු ව්‍යාපෘතිය සදහා ලබාදිම සුදුසු යැයි යොජනා කර ඇත.


ව්‍යාපෘති වැඩ බිම සදහා ඉඩම් ලබාදීමට ගොවියන් කිහිප දෙනෙක් කැමති වුවද සිය පාරම්පරික ගොවි ඉඩම් කකුළු ව්‍යාපෘතියකයට පැවරීමට බොහෝ ගොවියන් අකමැති වුවද ක‍්‍රැබ් සිටි දෙවන පියවර සිදු කරන ව්‍යාපාරික හිමිකරුවන් වංචා සහගත ලෙස හා ගොවි ජනතාවට පහර දීම, මරණ තර්ජන එල්ල කිරීම වැනි බියකිරීම වලින් මෙම ඉඩම් ලබාගෙන ඇතත් මේ සඳහා කිසිදු නීත්‍යනුකූල ක‍්‍රමවේදයක් භාවිතා කර නොමැත.


 

[caption id="attachment_22132" align="alignleft" width="204"] පාරිසරික පිරික්සුම් වාර්තාව [/caption]

නීත්‍යනුකූල අවසර නැති බව තොරතුරු පනතින් සහතික කරයි


සිය ඉඩම් අහිමි වීම නිසා ප‍්‍රදේශයේ ජනතාව විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සම්බන්ධව තංගල්ල ප‍්‍රාදේශීය සභාවෙන් ඉඩම් නිදහස් කර ගැනීමට නිත්‍යානුකූල අවසරයක් ලබාදී ඇත්දැයි විමසු විට TPS/ECF/DO/03/01/33 අංකය යටතේ 2018.05.02 නැමති ලිපියේ සදහන් වන අකාරයට මෙම ව්‍යාපෘතිය සඳහා ප‍්‍රාදේශීය සභාව මගින් පරිසර නිර්දේශයක් හෝ පරිසර බලපත‍්‍රයක් හෝ ඉඩම් සැළසුම් අනුමැතියක් හෝ ගොඩනැගිලි සැළසුම් අනුමැතියක් ඇතුළු කිසිදු අනුමැතියක් ලබාදී නොමැති බව සහතික කර ඇත.


නමුත්, පරිසර අධිකාරිය මගින් 1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ ප‍්‍රකාශිත අංක 772:22 දරණ 1993.06.24 දිනැති අතිවිශේෂ පත‍්‍රයට අනුව  ජාතික ජලජීවි සංවර්ධන අධිකාරිය මගින් මුලික පාරිසරික පරික්ෂණ වාර්ථාවක් කැදවා ඇති අතර මෙලෙස කැදවන ලද වාර්ථාව ඉඩම් සම්බන්ධව හා එහි පාරිසරික වටිනාකම් සමිබන්ධව සැබෑ තොරතුරු අඩංගු කර නොමැති ව්‍යාජ වාර්තාවකි. ඉඩම් හිමියන්ගෙන් බලහත්කාරයෙන් ලබාගන්නා ලද ඉඩම් සඳහා පාරිසරික අනුමැතියක් 2017.11.29 දින 08/EIA/AQUA/ 03/ 2017 යටතේ  පරිසර අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය සදහා අවසර ලබාදීමෙන්  1980 අංක 47 දරණ ජාතික පාරිසරික පනතේ විධිවාධාන අමු අමුවේ උල්ලංඝනය කර ඇත.


ඩෝසර් කිරීම දැනටමත් අරඹලා


තත්වය මෙලෙස තිබියදී නිතී විරෝධි ලෙස රැකව වෙල්යාය ගස් කපා ඉවත් කරමින් ඩෝසර් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර වෙල් යායේ කකුළු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මත්තෙන් පස් කපා විකිණීම ආරම්භ කර ඇත. මේ හේතුවෙන් ප‍්‍රදේශයේ ගොවි ජනතාවට සිය ඉඩම් අහිමි වනවා පමණක් නොව ප‍්‍රදේශයේ පරිසර පද්ධතියද විනාශ වීමට පටන්ගෙන ඇත.


රැකව ප‍්‍රදේශය සුවිශේෂී පරිසර පද්ධතියකට හිමිකම් කියන ප‍්‍රදේශයකි, වැව්, කලපුව සහ මුහුදු පරිසර පද්ධතිය නිසා ප‍්‍රදේශයේ විදේශීය සංචාරකයින්ගේ වැඩි අවධානයක් මෙම ප‍්‍රදේශයට වසර 15 ක සිට පමණ  යොමු වී ඇත. එම නිසා රැකව ප්‍රාදේශීය දේශීය හා විදේශීය සංචාරකයින්ගේ තෝතැන්නක් වන අතර සුවිශේෂී වූ සත්ව හා ශාක විශේෂ ගණනාවකින්ද මෙම ප‍්‍රදේශය පෙහොසත්ය.


 

[caption id="attachment_22133" align="alignright" width="219"] තොරතුරු පනතේ ප්‍රතිචාරය[/caption]

කඩොලාන හා කැස්බෑවන් අනතුරේ


 රැකව මුහුදු තීරය ලොව කැස්බා සංරක්ෂණයට සුවිශේෂි මුහුදු තීරයක් වන අතර ඔලූගෙඩි කැස්බෑවා (Caretta caretta), දාර කැස්බෑවා (Dermochelys coriacea), කොළ කැස්බෑවා, බටු කැස්බෑවා (Lepidochelya olivaecea), පොතු කැස්බෑවා ව(Eretmochelys imbricata) යන කැස්බෑ විශේෂ පහ දැක ගත හැකි අතර  ඔහුන්ගේ සංරක්ෂණ කටයුතු ප‍්‍රජා මුලික කටයුත්තක ලෙස මෙම ප‍්‍රදේශයේ සිදුවේ.


මෙරට හමුවන කඩොලාන විශේෂ අතරින් රැකව කලපුව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කඩොලාන හා ආශ‍්‍රිත ශා 27 ක් පමණ හමුවන අතර (Thespesia populnea) , (Avicennia marina), (Burguiera sexungula),(Cerbera manghas) ඇතුළු සුවිශේෂී කඩොල් ශාක ගණනාවක් කලපුව අලංකාර කර ඇති අතර කලපුව ආරක්ෂා කිරීමට මෙන්ම කලපුවේ මත්ස්‍ය ගහණය වැඩි කිරීමටද මෙය හේතුවක් වී ඇත. එම නිසාම ප‍්‍රදේශයේ ජනතාව බොහොමයක් ගොවිතැන් කටයුතු කරමින් සිටියද කලපුවේ ධීවර රැකියාවේද නිරත වේ.


ක‍්‍රැබ්  සිටි ව්‍යාපෘතිය සඳහා මේ වනවිට බලහත්කාරයෙන් විනාශ කරන වෙල් යාය අවට ප‍්‍රදේශයේ සුවිශේෂී වන ග‍්‍රහණයක් තිබෙන අතර නුග (Ficus benghalensis), මලිත්තන් (Salvadora presica), පලූ (Manikara hexandra), කුඹුක් (Terminalia arjuna), ඉඹුල් ((Bombax malabaricum) ඇතුළු විශාල ශාක විවිධත්වයක් දැකගැනීමට හැකිවේ.


මෙයට අමතරව  කුරුළු විශේෂ ද සිටියි. ශ‍්‍රී ලංකාවට ආවේණික වළිකුකුලා (Gallus lafayetii) ඇතුළු පක්ෂි විශේෂ 40 ක්  පමණ මෙම ප‍්‍රදේශයෙන් වාර්තා වන අතර වියළි කලාපයේ හමුවන සර්ප විශේෂ ගණනාවක් මෙහි වාර්තා වේ. ක්ෂීරපායි සත්ව විශේෂ අතර හික් මීයන්, වවුලන් හා බළල් පවුලේ සමාජිකයන් වන හඳුන් දිවියා (Prionailurus viverrinus), වල් බළලා (Felis chaus) ඇතුළු ක්ෂීරපායි සත්ව විශේෂ ගණනාවක් මෙම ප‍්‍රදේශයෙන් වාර්තා වේ.


මේ සා විශාල හා පොහොසත් ජෛව විවිධත්වයක් ඇති ප‍්‍රදේශයක් කකුළු ව්‍යාපෘතියකට හා හෝටල් ඉදිකිරීම වෙනුවෙන් විනාශ කිරීම ජෛව විවිධත්වයට මෙන්ම ප‍්‍රදේශයේ ගොවි, ධිවර ප‍්‍රජාවට මෙන්ම සංචාරක කර්මාන්තයෙන් ජිවත්වන ජනතාවටත් රටටත් අතුල් පහරකි.


විෂ රසායන ජලය මුහුදට මුදාහැරීමේ අවදානමක්



පරිසරය හා ජන ජීවිතය නසමින් බලහත්කාරයෙන් ඉදිකරමින් තිබෙන ක‍්‍රැබ්සිටි ව්‍යාපෘතිය දියත්කරන අතරතුර කකුළු අස්වැන්නේ අනතුරුව විෂ රසායන සහිත ජලය මුදාහැරීමේ අවදානමක් මෙම ව්‍යාපෘතියෙන් ඇත. කකුළු ව්‍යාපෘතිය හා රැකව කලපුව අතර සෘජු දුර මීටර් තුන්සියයක් පමණ වන අතර විෂ රසායන සහිත අපද්‍රව්‍ය කලපුවට මුදා හැරියහොත් ඉහත පෙන්වා දුන් සත්ව විශේෂ හා ශාක විශේෂ  බරපතල අනතුරකට පත්වනු ඇත.


රැකව මහවැවෙන් හා අවට ඇති තවත් වැව් තුනක  පිටාර ජලය   ගලායන්නේ මෙම විනාශකාරී ලෙස පස් කපමින් කකුළු ව්‍යාපෘතියක් නිරීමාණය කිරීමට යන මෙම පහත් භූමිය හරහාය. වැසි කාලයේදී මෙම ප‍්‍රදේශය ඇතැම් විට ජලයෙන් යටවන අතර කකුළු ව්‍යාපෘතියෙන් අනතුරුව වැඩ බිම හරහා කලපුවට ගලන විෂ සහිත ජලය විසින් කලපුවේ මත්ස්‍ය සම්පතට විශාල හානියක් සිදුකිරීමේ අවධානමක් ඇත.


මේවන විට හලාවත  කලපුව අවට සිදුකරමින් පවතින ඉස්සන් ඇති කිරීමේ ව්‍යාපෘති නිසා හලාවත කලපුවට හා එහි ජෛව විවිධත්වයට විශාල හානියක් සිදු වී ඇති අතර එය ධීවර ජනතාවට මෙන්ම ප‍්‍රදේශයේ ජනතාවගේ සෞඛයටද බරපතල ලෙස හානි පමුණුවා ඇත.


මෙලෙස ඉස්සන් හා කකුළු ව්‍යාපෘති නිසා ලංකාවේ බොහෝ ප‍්‍රදේශ වල පරිසර පද්ධති ගණනාවක් විනාශ වී ඇති අතර එම ප‍්‍රදේශවල සත්ව විශේෂ බොහොමයක් අනතුරට පත්ව ඇතො. රැකව කලපුව ආශ‍්‍රීතව සිදුකිරීමට යන මෙම ව්‍යාපෘතියද, රැකව ප‍්‍රදේශය හා එහි ජෛව විවිධත්වයට ද ජන ජීවිතයට ද ප‍්‍රදේශයේ ආර්ථිකයට ද විශාල ලෙස හානි සිදුකරනු නොඅනුමානය.


 

 

රවීන්ද්‍ර කාරියවසම්