‘‘ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටින්න‘‘ - ආචාර්ය ඉන්දි අකුරුගොඩ

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව නිවේදනයක් නිකුත් කරන රුහුණු විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ආචාර්ය ඉන්දි අකුරුගොඩ පවසන්නේ, මෙවැනි ඒකාධිපති වියරුවක් 2015 ජනවාරි 8 වැනිදා ජයග්‍රහණයට ඡන්දය දුන් කිසිවෙකු බලාපොරොත්තු නොවූ බවත්, මේ වනවිට පාර්ලිමේන්තුව වසාගෙන උත්තරීතර ජනමතය මුදලට විකිණෙන බවත්ය.


 

මෙම තීරණාත්මක මොහොතේදී මෙරට වගකිවයුතු පුරවැසියන් සහ ශාස්ත්‍රඥයන් ලෙස අප සියලුදෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව හැකි සෑම ආකාරයකින් ම සටන් වැදී ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතු බව ඇය වැඩිදුරටත් අවධාරණය කරයි.


අදාළ නිවේදනය පහතින්,

 

‘‘මේ ඔබ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටිය යුතුම මොහොතයි. .


ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති වී තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී අස්ථාවර සහ බිහිසුණු වාතාවරණය පිළිබඳව ප්‍රථමයෙන් ලාංකීය පුරවැසියෙකු ලෙසත් දෙවනුව විශ්වවිද්‍යාල ශාස්ත්‍රඥයෙකු ලෙසත් මට ඇත්තේ අතිශය දරුණු කලකිරීමකි. යහපාලන ආණ්ඩුව පත් කිරීම සඳහා ජීවිත පරදුවට තබා පෙරට ආ අප අද පත්ව සිටින්නේ අපගේ ම ජනමතය අපයෝජනය කරමින් එදා අප ප්‍රතික්ෂේප කළ සියල්ල නැවතත් අගය කරමින් සිටින පිළිකුල් සහගත ජනාධිපතිවරයෙකු විසින් දැඩි ලෙස කෝප ගන්වන ලද වාතාවරණයක් තුළය.


 

මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයෙකු ද අත්තනෝමතික ලෙස ජනමතයට පටහැනිව පත් කළ තවත් අගමැති යැයි කියා ගන්නා අයෙකු ද යන දෙදෙනෙක් සිටිති. එක් අගමැතිවරයකු බලයේ සිටියදී තවත් අගමැතිවරයෙකු පත් කිරීම උපමා කළ හැක්කේ නීත්‍යානුකූල විවාහයක් තුළ සිටිමින් එම විවාහයෙන් දික්කසාද නොවී තවත් විවාහයක් කර ගැනීමටයි. එසේ කළ විට දෙවනුව කරගන්නා විවාහය නීත්‍යානුකූල නොවන්නා සේම මෙම දෙවැනි අගමැතිවරයාද නීත්‍යානුකූල නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයට අනුව අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස් වුවහොත් හෝ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවකින් පරාජය වුවහොත් මිස ධුරයෙන් ඉවත් කළ නොහැකිය. එසේ තිබියදීත් විවිධ අභව්‍ය නීති තර්ක ගෙන එමින් ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාව සාධාරණීකරණය කරන විශාල පිරිසක් මෙම ශ්‍රී ලංකා භූමියේම සිටීම ඛේදවාචකයකි.


 

අප අද සිටින්නේ මහත් බියකරු අරාජිකවාදයක අභිමුව යි. රටේ නීත්‍යානුකූල අගමැතිවරයාගේ ආරක්ෂාව අවම කරමින් අග්‍රාමාත්‍ය නිල නිවසේ සහ කාර්යාලයේ අත්‍යවශ්‍ය සේවා අත්හිටුවා ඇත. ශිෂ්ටසම්පන්න රාජ්‍යයක සිදුනොවිය යුතු මෙවන් තත්වයන් අභිමුව ජනතාව හැසිරෙන්නේ කෙසේද ?. බොහෝ මාධ්‍ය ආයතන ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යාජයන් පතුරුවමින් විධායක ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදයට ඉඩ විවර කරදී ඇත. එක් රැයකින් මෙරට සියලු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩ ප්‍රස්ථා වසා දමා තිබේ. මහජන මතය මර්දනය කරනු පිණිස පාර්ලිමේන්තුව වාරාවසාන කර තිබෙන්නේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලය පාවිච්චි කරමිනි. මෙවැනි ඒකාධිපති වියරුවක් 2015 ජනවාරි 8 වැනිදා මෙම ජනාධිපතිවරයා බලයට ගෙන ආ කිසිවෙකු ඔහුගෙන් අපේක්ෂා කළේ නැත. නිර්ලජ්ජී ලෙස දැන් ඔහු කරන්නේ පාර්ලිමේන්තුව වසාගෙන ජනමතයට මිල නියම කිරීමයි. අද “උත්තරීතර” ජනමතය මුදලට විකිණේ.


 

මෙම තීරණාත්මක මොහොතේ ශ්‍රී ලංකාවේ වගකිවයුතු පුරවැසියන් සහ ශාස්ත්‍රඥයන් ලෙස අප කළ යුත්තේ සිදුවෙමින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව හැකි සෑම ආකාරයකින් ම සටන් වැදීමයි. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා හැකි සෑම අයුරින්ම දායක වීමයි.‘‘