චන්ද්‍රිකාගේ මොහොත උදා වී ඇත

| නිලන්ත ඉලංගමුව

මොහොත උදා වී ඇත. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට දිරාගිය රටක ඉරණම තීන්දු කිරීමෙහිලා තම දායකත්වය ලබා දීම සම්බන්ධයෙනි. තම ජීවිතයේ ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැකිය. දැනට ජීවතුන් අතර සිටින 78 ව්‍යවස්ථාවෙන් දායාද කරදුන් විධායක ජනාධිපතිධූරය හෙබවූ/ හොබවන දෙදෙනා අතුරින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අමතරව එහි ඇති නියම ස්වභාවයට හිමි අත්දැකීම්වලට හිමිකම් කියනු ලබන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගය. වාසනාවට හෝ අවාසනාවට ඇය තවමත් ජීවතුන් අතරය. ඉදිරි මාස කිහිපය තුළදී අතිශය තීරණාත්මක දේශපාලනික වැඩපිළිවෙලක් සඳහා ඇයගේ ඍජු මැදිහත් වීම අත්‍යවශ්‍ය වන අතර එය ඉතාම පරෙස්සමින්  සහ සිහිබුද්ධියෙන් සිදු කළ යුතු වැඩපිළිවෙලක් වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්ද්‍රයේ ඔහු කාන්තාවක් අතින් පරාජය වන්නේ යැයි සටහන් කොට ඇත්තේ දැයි නොදනිමි. නමුත් පසුගිය කාලය පුරාම ඔහු බොහෝ සිදුවීම් සමඟ ගනුදෙනු කිරීමේදී විශේෂයෙන් කාන්තාවක් අදාළ සිදුවීමේ වස්තු බීජය වන විට මහත් අප්‍රසන්න සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණේය. එසේම ඔහුගේ අතවැසියන්ට, පාක්ෂිකයින්ට සහ අනෙකුත් විවිධාකාරයේ තමන් වෙනුවෙන් පෙනී සිටින අයවලුන්ට ඍජුව අණ කරමින් එම කැරලිකාරිණියන් මට්ටු කිරීම සඳහා හැකි උපරිමයෙන් තම පෞද්ගලික බූදලය සේ රාජ්‍ය දේපොළ අයුතු ලෙස භාවිතයට ගත්තේය.

විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන බංකොලොත් වනතෙක් තම දේශපාලන රූකඩයින් ලවා කුණුහරපවලින් ඒවායේ විකාශන කාලය පුරවනු ලැබුවේය. එය අගවිනිසුරුවරිය තම ධූරයෙන් පලවා හරින අවස්ථාවේදී මෙන්ම සරත් ෆොන්සේකා සිරගත කිරීමෙන් අනතුරුව ඔහුගේ දේශපාලනය කරට ගෙට මහපාර දිගේ හඬා වැළපී තම ස්වාමියාගේ නිදහස වෙනුවෙන් පෙනී සිටි අනෝමා ෆොන්සේකාට එරෙහිවද මහත් පිළිකුල් සහගත ලෙස භාවිතා කරනු ලැබුවේය. යුද්ධයෙන් පසු කාලය ගත වූයේ එලෙසය.

සැබැවින්ම චන්ද්‍රිකා යළි දේශපාලනයට පැමිණියහොත් මුහුණ දීමට සිදුවන පළමු අභියෝගය වන්නේද ඇයට එරෙහිව ආරම්භ විය හැකි අතිශය අප්‍රසන්න ප්‍රචාරණ ව්‍යාපෘතියයි. ඒ සඳහා ආණ්ඩුවට සහය දක්වන විශේෂයෙන්ම ජනාධිපති රාජපක්ෂට හිතවත් පිරිස මේ වන විටත් සැලසුම් කොට තිබේනම් ඒ ගැන පුදුම විය යුතු නැත.

ඉන් පසු ඇයට මුහුණ දීමට සිදුවන බරපතළම අභියෝගය අන්තර්ජාල පහසුකම් නැති ප්‍රදේශවල ජනයාට තම මතය ඉදිරිපත් කිරීම සම්බන්ධයෙනි. මේ වන විටත් මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇති පරිදි මීළඟ මැතිවරණයන් සඳහා ආණ්ඩුව වියදම් කිරීමට අපේක්‍ෂා කරණ අතිවිශාල ධනස්කන්දය උපයා ගැනීම සම්බන්ධයෙන් වූ වැඩපිළිවෙලකට ආණ්ඩුවේ අයවලුන් අවතීරණ වී සිටිති. නමුත් විපක්ෂය පැත්තෙන් එය අතිශය සීමා සහිත වී ඇති අතර, රටේ ඡන්ද බලය තීරණාත්මක ලෙස තීන්දු කරන ප්‍රදේශවල සන්නිවේදන ජාලයන් සියල්ලම පාහේ ඍජුව හෝ වක්‍රව ආණ්ඩුව යටතේ තිබේ. අඩු තරමින් විපක්ෂයට කැලෑපත්‍රයක් ගැසීමට, කවිකොළ මුද්‍රණයකොට ඒවා නගරයක් පාසා ගායනා කිරීමට තරම්වත් හැකි පිරිස් බලයක් තිබේදැයි සිතීම උගහටය. එසේම හුදූ දේශපාලන විවේචනයෙන් ඔබ්බට ගොස් සාමාන්‍ය ජනතාවගේ මනස වෙනස් කිරීම සඳහා ක්‍රමෝපායික වැඩපිළිවෙලක් තිබෙන බව මෙවන තෙක් විපක්ෂයේ කිසිඳු පක්ෂයක් පේනවා නැත.

විපක්ෂය මුලික වශයෙන් පාරජය කළයුතු ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන මූලික තර්ක දෙකක් තිබේ. පළමුවැන්න නම් යුද්ධය ජයග්‍රහණය කිරීම නමැති ප්‍රෝඩාව රාජපක්ෂ ජනාධිපතිවරයා රටේ අස්සක් මුල්ලක් නෑර තම අවභාවිතය සාදාරනීකරණය කිරීමට මෙවලමක් කරගත් ආකාරයය. දෙවැන්න චීන ණය යටතේ ඉදිකරන මංමාවත් සහ තෙත් බිම් නමැති ව්‍යාපෘතීන් අභ්‍යන්තරයෙන් දිවෙන් නමුත් සෑම විටම සඟවා ඇති නීරස යථාර්ථයය. මෙම කාරණා දෙක සරල මට්ටමෙන් තර්කකොට බිඳ හෙළීම නොව, අදාළ කාරණා මෙවලමක් ලෙස යොදාගනිමින් අතිශය සූක්ෂමව රටකට සිදුකළ ඛේදවාචකය සාමාන්‍ය ජනතාවට තේරුම් කරදීම සඳහා ක්‍රමෝපායන් අවශ්‍ය වේ.

මේ සියල්ලම කළ හැකි වන්නේ කෙතරම් දුරට අනෙකා කෙරෙහි තමන්ට විස්වාශය ඇතිකළ හැක්කේද යන කාරණය මතය. එසේම මෙය තනිව කළ හැකි කටයුත්තක් නොවන අතර චන්ද්‍රිකාට 90 දශකයේ මුල්භාගයට ගොස් තම මතකයන් අවුස්සා තම වත්මන් ජීවිතයට පණදීම අත්‍යවශ්‍ය වේ. එසේම එකළ තත්වය මෙකළ වෙනස් වී ඇති වටපිටාවන් වලට උචිත ලෙස භාවිතා කළ හැකි  සහ යුතු ආකාරය ගැන ඉතා ගැඹුරින් සිතා කටයුතු කළ යුතුව ඇත.

ඇයට ඇසක් අහිමි කළ කොටි සංවිධානය හෝ ඊට අයත් මරාගෙන මැරෙන බලකාය නැති බව සැබෑය. නමුත් ජුලම්පිටියේ අමරේ සහ තම ස්වාමිපුරුෂයා වූ විජය කුමාරතුංග මරාදැමු පසු, එය ඇයගේ කුමන්ත්‍රණයක් බවට කියූ “බුද්ධිමතුන්” තවමත් සිටින බව අමතක නොකළ යුතුව ඇත.

එබැවින් මෙම තීරණාත්මක මොහොත තුළ චන්ද්‍රිකා තම වගකීම ඉටු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් එය මෙම සන්දර්භයට ගැලපෙන අයුරින් සහ විචක්ෂණයකින් යුතුව චිත්‍රණය කළයුතුව ඇත. පැවැත්වීමට යන්නේ ජනමතවිචාරණයක්ද, ජනාධිපතිවරණයක්ද යන්නට වඩා කුමන අවස්ථාවක් යටතේ වුවද එම අභියෝගය ජයගැනීමට කටයුතු කිරීම සහ යළිත් බොරුකාරයෙකු නොවීම මියෙන්නට පෙර කළ යුතුව ඇති මිල කළ නොහැකි යුතුකමකි. එවිට ඇතැමෙකුට චෞර රැජිණක් වූ චන්ද්‍රිකා ඔවුන්ටම යකඩ ගැහැණියක් වනු ඇත.