තවමත් රිදුම් දෙන යුද්ධයේ තුවාල

 
"ඉස්සෙල්ලාම මුණුපුරාගේ බඩ තුවාල වෙලා බඩවැල් ඔක්කොම එලියට ඇවිත්. මම ඒක තද කරලා වෙලුවා. පුතාටත් තුවාලයි. සිහි කල්පනාව නැහැ. ඒ දෙන්නම බිම දිගා කරලා අනිත් දෙන්නා හොයන්න ගියා. බලනකොටම කෆීර් එකෙන් ඇවිත් ගහලා දරුවාගේ බෙල්ල ගැලවිලා ගියා. ඒ දෙන්නත් එතනම අන්තරා උනා."


වෙඩි හඬ නිහඬ වී ගතවූ කාලය වසර හතරක්.


ඒ හා සමාන කාලයකට ඉහතදී ශ්‍රී ලංකාවේ බීබීසී වාර්තාකරු ලෙසින් පත්ව කොළඹ ආ චාල්ස් හැවිලන්ඩ් උතුරු කරයට ආගිය වාර ගණන දස වතාවක් තරම්.ඒ වකවානුව තුලදී භෞතික හා ආර්ථික වශයෙන් පළාත අත් කොට ගෙන තිබෙන්නේ සැලකිය යුතු වෙනසක්.ජනාකීර්ණ යාපනයේ ප්‍රවර්ධනයට විදේශගත දෙමළ ප්‍රජාව එවන මුදල්ද එක් සාධකයක්.යාපනය අවට උතුරේ අනිකුත් පළාත් වල ද අලුතින් ඉදිවූ කඩසාප්පු, බැංකු, පාරවල්, පාලම් දැකගත හැකියි.ඒ අතින් උතුරේ සිදුවී ඇත්තේ ලොකු විපර්යාසයක් බවයි බීබීසීය වෙනුවෙන් වාර්තා චිත්‍රපටයක් පටිගත කරද්දී ඔහු දුටුවේ .

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ රජය හා දෙමළ විමුක්ති කොටි හමුදා අතර යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන් අති මහත් සංඛ්‍යාව උතුරු කරයේ ඉතිරි කොට තබා ගොස් ඇත්තේ මහා විස්සෝපයක්.

ගුවන් ප්‍රහාරයකින් පුතා, ලේලිය හා මුණුපුරන් දෙදෙනා මරුමුවට පත්වූ දේවී ඥානම්මා දිවි ගෙවන්නේ ශෝකයේ අඳුරු සෙවනැල්ලේ.ඒ ප්‍රහාරය පතිත වූයේ යුද්ධය බිහිසුණු ලෙස ඇවිල ගිය 2009 පෙබරවාරි මාසේ විසි හතර වැනිදා.
   මරණයේ දුගඳ


"ඉස්සෙල්ලාම මුණුපුරාගේ බඩ තුවාල වෙලා බඩවැල් ඔක්කොම එලියට ඇවිත්. මම ඒක තද කරලා වෙලුවා. පුතාටත් තුවාලයි. සිහි කල්පනාව නැහැ. ඒ දෙන්නම බිම දිගා කරලා අනිත් දෙන්නා හොයන්න ගියා. බලනකොටම කෆීර් එකෙන් ඇවිත් ගහලා දරුවාගේ බෙල්ල ගැලවිලා ගියා. ඒ දෙන්නත් එතනම අන්තරා උනා."


සියල්ල සිදුවුයේ දේවීගේ ඇස් ඉදිරිපිට. එදා මතකය අදත් සිත කය පාරවන්නක්.

"එකපාරටම මට මහ අමුතු ගඳක් දැනෙනවා. එතකොට සිහි කල්පනාව නැතිවෙලා මං ඉන්නේ කොහෙද කියලවත් තේරෙන්නේ නැතිව යනවා. හරිම බයක් දැනෙනවා. කොයි වෙලාවෙත් ළමයි ගැනමයි සිහි වෙන්නේ."
උතුරු කරය පුරා කියැවෙන එවැනි කතා, ගණනින් දහස් සංඛ්‍යාතයි.
අතුරුදහන්යුද්ධයේදී මනුෂ්‍ය වර්ගයාට එරෙහිව සිදු කැරුණු අපරාධ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු මානව හිමිකම් සංවිධාන රජයට එල්ල කර තිබෙන චෝදනා ඉතා බරපතලයි.

අතුරුදහන් කිරීම් ඉන් එක් අපරාධයක්.

අතුරුදහන් කරනු ලැබුවන්ගේ තොරතුරු එක්රැස් කරමින් සිටියදී කුහන් මුරුගනාදන් සිය සගයා ලලිත් කුමාර් වීරරාජ් සමගින් 2011 දෙසැම්බරයේදී, අතුරුදහන් දහස් ගණන අතර සැඟව ගියේ උතුරුකරයේදී.

කුහන්ගේ බිරිඳ ජනාතා අද පදිංචිව ඉන්නේ අඩක් බැඳ වැඩ නවතා දැමූ නිවෙසක.ඇගේත් දස හැවිරිදි දියණියගෙත් ජීවිත ඒ නිවහන විලසින්ම අතරමග ඇන හිටි සෙයක් හැඟෙනු වලක්වනු බැහැ.

“එයා අප්පට හරි ආදරෙයි. හැමදාම අප්පා කිය කියා අඬනවා. දරුවට අප්පා නැතිව හරි අමාරුයි.”

    "උස්සන් ගියේ කවුද කියල දැනගත්තත් කවුරුවත් කියන්නේ නැහැ. ඒ අයටත් ඒ දේම වෙයි කියලා."


කුහන් සොයා දෙන ලෙස රජයට බලකරන මෙන් ඉල්ලා කුහන්ගේ ක්‍රියාකාරී සගයෝ නඩු පැවරූහ. එහෙත් නඩුව විභාගයට ගැනීමට කලින් දා රාත්‍රියේ වෙස් මුහුණු ලාගත් සිව් දෙනෙක් ජනාතා සහ දියණිය වෙසෙන ගෙදරට කඩා වැදුනෝය.
“උසාවි ගියොත් එහෙම අප්පා නැති වුනා වගේ දුවට අම්මත් නැති වෙයි කියල බය කළා. ඊට පස්සේ මම උසාවි ගියේ නැහැ. කවුරුත් මෙහෙ ඉන්නේ බයෙන්. උස්සන් ගියේ කවුද කියල දැනගත්තත් කවුරුවත් කියන්නේ නැහැ. ඒ අයටත් ඒ දේම වෙයි කියලා.”

අධිකරණයෙන් පිහිටක් වෙතැයි හෝ කුහන් ආපසු ගෙදර එතැයි හෝ ජනාතාට විශ්වාසයක් නැත.

මාධ්‍ය වේදියකුගේ ඝාතනය
ලාල් වික්‍රමතුංග, චාල්ස් හැවිලන්ඩ් කැඳවාගෙන ගියේ 2009 අවුරුද්ද මුල මහ දවාලක කොළඹ තදාසන්නයේ සිය සොයුරු සන්ඩේ ලීඩර් කතුවර ලසන්ත වික්‍රමතුංග මරා දමනු ලැබූ තැනට.

ඝාතනයට වග කිව යුත්තේ කවුද යන්න ගැන ඔහු තුළ සැක සංකාවක් නැහැ.


"මං දන්නවා. රටේ තොටේ මිනිස්සු ඉවෙන් වගේ දන්නවා. ඒ වගේම මමත් දන්නවා. නිශ්චිත සාක්ෂි උසාවියක ඉදිරිපත් නොවුනොත්, අපිට හැඟෙන දේ තමයි, මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේදීයි ලසන්ත වික්‍රමතුංග මරා දැමුවේ කියන එක."

    "ඇත්තටම අපි දන්නේ නැහැ ෂෙල් ගැහුවෙ ආණ්ඩුවද එල්ටීටීඊ එකද කියන එක"

ජනපති පුත් නාමල් රාජපක්ෂ චාල්ස් හැවිලන්ඩ් සමග සාකච්ඡාවකට එක්වුයේ උතුරේ යුද පීඩිතයන් කිලිනොච්චියේ නැවත පදිංචි කිරීමේ උළෙලකට සහභාගී වෙමින් සිටියදී.

ගුවන් බෝම්බ පහරට ගොදුරුවී පවුලේ සාමාජිකයන් සිව් දෙනකු මියගිය දේවී වැනි දස දහස් ගණනක් උතුරේ පමණක් නොව දකුණේද සිටින බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා අවධාරණය කළේ.


"ඉස්කෝල වලට බෝම්බ දාපු එක ගැන මොකද කියන්නේ? එල්ටීටීඊ එක ලෝක බැංකුවට බෝම්බ දැම්ම එක ගැන මොකද කියන්නේ? දකුණේ ආගමික සිද්ධස්ථාන වලට එල්ටීටීඊ එක බෝම්බ දාපු එක ගැන මොකද කියන්නේ? ඇත්තටම අපි දන්නේ නැහැ ෂෙල් ගැහුවෙ ආණ්ඩුවද එල්ටීටීඊ එකද කියන එක."

උතුරේ සාමාන්‍ය ජනතාවගේ අපේක්ෂා භංගත්වය හා කම්පාව තම රජය නොතකා හැර ඇතැයි යන්න නාමල් රාජපක්ෂ විසින් ප්‍රතිෂේප කැරිණ.

එමෙන්ම අතුරුදහන් වීමක් ගැන පැමිණිල්ලක් ඇත්නම්, පොලිසිය නිසියාකාර පරීක්ෂණ සිදු කරනු ඇති බවට ජනාධිපති පුත්‍රයා විශ්වාසය පළ කළේය.

එමෙන්ම පුද්ගලයන් අතුරුදහන් වනු දකින්නට කිසිවෙකුත් කැමති නැති බවත් රාජපක්ෂ තරුණ මන්ත්‍රී වරයා ප්‍රකාශ කරයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය වැනි සිදුවීම්ද තමන් පමණක් නොව රටේ කවර අයකුවත් අනුමත නොකරන බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් චාල්ස් හැවිලන්ඩ් හා කියා සිටියේ.

උපුටා ගැනිම  බිබිසි