ඒකාධිපති වියරුවේ ස්වභාවය පෙන්වන - ආදරණීය සංවාදයක්

  මේ නාට්‍යයේ ප්‍රධාන රංගධරයන් දෙදෙනා පැය දෙකක පමණ කාලයක් සංවාදයේ යෙදේ. එක් අයෙක් බලකාමයෙන් ඉදිමුණු ඒකාධිපති කෲර නිලධාරියෙකි. ජනක කුඹුකගේ එම චරිතය පණගන්වයි. අනෙකා ඔහුගේ වදබන්ධනයට ලක්වන දේශපාලන සිරකරුවෙකි. හේ සාරංග දිසාසේකර ය. නිලධාරියාගේ ප්‍රයත්නය උපක්‍රමශීලී ව සිරකරුගෙන් රහස්‍ය දේශපාලන තොරතුරු ලබාගැනීම ය.

නිශ්ශබ්ද නිලධාරියාගේ ඒකපාර්ශ් ව දීර්ඝ සංවාදයට සවන් දීගෙන සිටින සිරකරු අවසානයේ කියන්නේ කිසිවක් නොකියන බවයි. නාට්‍යයේ සක්‍රීය සංවාදය ඇරඹෙන්නේ එතැන් සිට ය. නිලධාරියා විවිධ උපක්‍රම අනුගමනය කරමින් සිය ප්‍රයත්නයේ යෙදේ. මුලින් සිංහයකු මෙන් තේජාන්විත ව තම කාර්යයේ යෙදෙන නිලධාරියාට පසුව සිරකරු ඉදිරියේ දණින් වැටී රහස් හෙළි කරන ලෙස ඇයැද සිටීමට ද සිදුවේ. සිරකරු අවසාන වශයෙනුත් ඔහු වෙත පවසන්නේ තමා දන්නා කිසිවක් හෙළි නොකරන බවයි.

නාට්‍ය පුරා දෙදෙනා අතර ඇතිවන සංවාදය එයයි. එය සිරකරුට තර්ජනය කරමින්, වද හිංසා කරමින් උපදෙස් දෙමින් වරෙක ආදරය කරමින් කෙරෙන සංවාදයකි. එහෙත් දෙදෙනාගේ ම පරමාර්ථය දෙදෙනා ම අත් නොහරියි. මේ සංවාදයෙන් දෙදෙනාගේ අභිමානය, සංවේදී බව, කෲරත්වය මෙන් ම උපායශීලී බව ද මැනවින් පෙන්නුම් කරයි.

මෙම ආදරණීය සංවාදයේ අවසානය වන්නේ මේ අපූරු පුද්ගලයන් දෙදෙනා කවුරුන් ද යන්න ඔවුන්ගේ සංවාදය තුළින් ම හෙළිදරව් වීමයි. නිලධාරියා සිංහයකු මෙන් බලය පාවිච්චි කළ ද ඔහු නිලයට යටත් වූ බියගුලු අසරණයකු බව ඔහු ම ප්‍රකාශ කරයි. සිරකරු නිලධාරියාගේ අණසකට යටත් වූ අසරණයකු සේ පෙනුණ ද නිර්භීත අධිෂ්ඨානශීලී ශක්තිවන්තයකු බව තහවුරු කරයි. මේ නාට්‍යයෙන් ලබාදෙන පණිවුඩය වන්නේ මතුපිටින් පෙනෙන දේට වඩා ඇතුළතින් ඊට හාත්පසින් ම වෙනස් ගුණාංගයන් පැවතිය හැකි බව ය.

මෙය උරගුවේ ජාතික මාරියෝ බෙනට්ගේ අපූරු නිර්මාණයකි. එය මෙරට වේදිකාවේ මෙතරම් අංගසම්පූර්ණ ලෙස ඉදිරිපත් වූයේ, මේ නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වූ සුනිල් චන්ද්‍රසිරි නාට්‍ය වේදියාගේ සාර්ථක අධ්‍යක්ෂණය මෙන් ම නාට්‍යයේ රචනය, අනුවර්තනය, රංග වින්‍යාසය ඔහු විසින් ම කිරීමේ හේතුවෙන් බව මගේ විශ්වාසයයි. මීට අමතරව රංග වස්ත්‍ර නිර්මාණය ද ඔහුගේ ය.

සියල්ල අංගසම්පූර්ණ ව ඉටු වී ඇත. නාට්‍යයේ ප්‍රධාන රංගධරයන් දෙදෙනා කරට කර රංගනයේ යෙදේ. පුටුවක් මත නිසොල්මනේ කතා නොකර සිටින ගොලුවෙකු බඳු පුද්ගලයෙකු අමතමින් විනාඩි හතළිස් පහක් තරම් කාලයක් සංවාදයේ යෙදීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එවන් භාරධූර කාර්යයක් ජනක කුඹුකගේ රංගවේදියා ඉටු කරයි. මේ රංගවේදීන් දෙදෙනාගේ පැය දෙකක දුෂ්කරක්‍රියාව අවසානයේ ලබන ප්‍රතිඵලය ඉතා සරල සිදුවීමකි. සිරකරු මළත් රහස් නොකියමි යන දැඩි අධිෂ්ඨානයේ සිටී. නිලධාරියා බැගෑපත් වී හෝ රහස හෙළිකර ගනිමි යන ස්ථාවරයේ සිටී.

නිලධාරියාගේ ක්‍රියා කලාපයේ ඇතිවන වෙනස යම් අපූර්වත්වයක් පෙන්වන්නක් වුවද එම පණිවුඩය තව තවත් තියුණු ලෙස කීමට තිබූ අවස්ථාව මඟහැරගත් බවක් ද පෙනේ. එමෙන් ම නාට්‍ය කෙළවර වන්නේ කිසිවක් නොකියන සිරකරු හමුවේ නිලධාරියාගේ ප්‍රයත්නය අසාර්ථක වීමෙනි. එවන් සුළු කාරණයක් කීමට දෙදෙනාගේ සංවාදය මෙතරම් දිග්ගස්සමින් ප්‍රේක්ෂකයා වෙහෙසට පත් කිරීමේ තේරුමක් ද නැත. ඇත්තවශයෙන් ම නාට්‍යයේ අවසන් භාගය ඒකාකරී ස්වභාවයක් ද ඉසිලීය. නාට්‍යයේ හෙමින් ගලායාමේ රිද්මය තව තවත් එම ඒකාකාරී බව වැඩි කළේය. මෙවන් අවස්ථාවක නිලධාරීන් සිරකරුවන් හට අමානුෂික වධ හිංසා කිරීම් මෙන්ම ඉතා ම නොහොබිනා කුණුහරුප සහිත පහත් පෙළේ භාෂාවකින් කථා කිරීම ඒ හැටියෙන් ම වේදිකාවේ භාවිතයට ගැනීම කොතරම් උචිත වේ ද යන්න ද මෙම නාට්‍යය නැරඹීමෙන් මා තුළ ඇතිවූ අදහසකි. ඒ කුණුහරුප සහිත භාෂාව නොතිබෙන්නට එහි ස්වභාවික ජීව ගුණය හීන වීමට ඉඩ ඇතිවාක් මෙන්ම ප්‍රේක්ෂකයා ඉන් බලාපොරොත්තු වූ තරමින් කුල්මත් වීමකට භාජනය වූ බවක් ද නොපෙනුණි.

71 කැරැල්ලෙන් පසු අපේ රටට ද මෙවන් දේශපාලන සිදුවීම් විෂය වේ. මෙම නාට්‍යයෙන් දැඩි දේශපාලන විවරණයක් නොකෙරුණ ද ඒකාධිපති වියරුවේ කෲරතර සහ උපායශීලී ස්වභාවය පිළිබිඹු වේ.

රංගවස්ත්‍ර නිර්මාණයේ විශේෂිත අවශ්‍යතාවක් මේ නාට්‍යයේ පැන නොනඟින්නේ නිලධාරියා සහ සිරකරු සාමාන්‍ය ජනතාව අතර සිටින අය වන හෙයින් ස්වභාවික රංගනයට සුදුසු ඇඳුම් ආයිත්තම්ම භාවිතයට ගැනීමය. ඒ කාර්යය ප්‍රමාණවත් ලෙස ඉටුවී තිබිණ. නැටුම්, ගැයුම්, වැයුම් ඇත්තේ ම නැත. එනිසා ම සංගීත අධ්‍යක්ෂණයේ ද විශේෂත්වයක් පෙන්නුම් කළේ නැත. සම්පූර්ණ බර කරට ගැනීමේ භාරදූර වගකීම පැවරී තිබුණේ රංගවේදීන් දෙදෙනා වෙත ය. ඔවුහු තම කාර්යභාරය මැනවින් ඉටු කරනු ලැබීය.

අධිනීතිඥ
යසවර්ධන අබේපාල