'කොළඹ පොදුරාජ්‍ය මණ්ඩල හමුව වර්ජනය කරන්න'

ජෙෆ්රි රොබර්ට්සන් ඕස්ට්‍රේලියාව ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩල රටවලින් ඉල්ලා සිටියි.

ජූලියන් ඩ්‍රේප් විසින් | 2013 පෙබරවාරි 28


ශ්‍රී ලංකාවේ අග්‍රවිනිශ්චයකාරවරියට එරෙහිව ශ්‍රි ලංකා රජය ඉදිරිපත් කළ දෝෂාභියෝගයට විරෝධය පළ කිරීම සඳහා  ශ්‍රි ලංකාවේ අගනුවර වන කොළඹ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල නායකයන්ගේ   රැස්වීම ඕස්ට්‍රේලියාව සහ අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් විසින් වර්ජනය කළ යුතුව ඇතැයි ප්‍රවීණ රාජකීය නීතිඥයෙකු වන ජෙෆ්රි රොබර්ට්සන් වාර්තාවක් ඉදිරිපත් කරමින්  ඉල්ලා සිටී.

සති හතකට පෙර   ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය විෂමාචාරය පිලිබඳ  චෝදනාවන්ට වැරැදිකාරිය ලෙස ප්‍රකාශකිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය රැජිනද රාජ්‍ය නායක රැස්වීමට සහභාගි වීමෙන් වැළැකිය යුතු යැයි  මෙම ඕස්ට්‍රේලියානු නීතිඥයා වැඩි දුරටත් අදහස් කරයි.

“නීතිගරුක ආණ්ඩු එයට සහභාගි විය යුතු නැතැයි” යැයි රොබර්ට්සන් එංගලන්ත නීතිඥ මානව හිමිකම් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද ලිඛිත වාර්තාවේ සඳහන් කරයි.

“රැජින හෝ වෙනත් රාජකීය පවුලේ සාමාජිකයෙකු හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඡායාරූපවලට පෙනී සිටිමෙන් වැළැකිය යුතුයි.”

“අනුමැතියේ රාජකීය මුද්‍රාව මේ වර්ගයේ මිනිසුන්ගේ  ප්‍රචාරක උවමනාවන් සඳහා සේවය කරනු ඇති අතර ඔවුන්ගේ චර්යාවන් පිළිගත නොහැකි බවට  බලගතු ජාතීන්ගේ සහභාගි නොවීම මගින් සංඥාවක් ලබා දිය හැකිය.”

ජනවාරියේ ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තුව විසින් දෝෂාභියෝග යෝජනාවක් සම්මත කරනු ලැබීමෙන්  දින දෙකකට පසු  රාජපක්ෂ මහතා විසින් ලංකාවේ නීති ක්ෂේත්‍රයේ උසස්ම  තනතුරට පත් පළමු ස්ත්‍රිය වූ බණ්‍ඩාරණායක මහත්මියව  තනතුරෙන් නෙරපා හරින ලදි. 
   
ඇය විසින් මීට පෙර මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බාල සොහොයුරු වූ   ආර්ථික සංවර්ධන ඇමැතිවරයා වෙත ‍අති විශාල මුල්‍යමය සහ දේශපාලනමය බලයක් ලබා ගැනීමේ අරමුණෙන් ඉදිරිපත් කළ පනතක් අත්හිටුවන ලදි.

බදාදා ලන්ඩන්වලදී නිකුත් කරන ලද ඔහුගේ වාර්තාව මගින් රොබර්ට්සන් මහතා , “ අගවිනිසුරුවරියට ශ්‍රි ලංකා රජය විසින් සළකන ලද ආකාරය විසින් නීතියේ පැවැත්ම අනතුරට හෙළා ඇති අතර එය කොතෙක් දුරට විහිදී ඇත්දැයි කිවහොත් දැනටමත් පීඩා විඳිමින් සිටින මෙම රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට අත්‍යවශ්‍ය සවාධීන බලයක් අහිමිවීම හේතුවෙන් එය තවදුරටත් පීඩා විඳිනු ඇත.” යි තර්ක කරයි.

අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද ප්‍රහාරය ශ්‍රි ලංකාවට මහත් විනාශකාරි ලෙස බලපාන අතරම එය ජාත්‍යන්තර ප්‍රශ්නයක්ද වන බවත් ඔහු පවසයි.  මෙම ප්‍රහාරයට වගකිවයුත්තන්ට ප්‍රතිවිපාක නොලැබුණහොත්  එය වෙනත් තැනකටද ව්‍යාප්ත වනු ඇතැයි ඔහු වැඩි දුරටත් පැවසීය..

වාර්තාව නිකුත් කළ අවස්ථාවේදී ප්‍රකාශයක් කරමින් රොබර්ට්සන් මහතා පැවසුවේ. බණ්ඩාරනායක මහත්මියට එරෙහිව “ ගොතන ලද බොරු චෝදනා”  විභාග කරනු ලැබූවේ, රජයේ ඇමැතිවරුන් විසින් සාක්ෂිකරුවන් නොමග යවමින් සහ ඔවුනට අයුතු බලපෑම් එල්ල කරමින්, පිළිගත් ක්‍රමවේදයට පටහැනි ආකාරයෙන් බවයි.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් මන්ත්‍රිවරුන් 117 දෙනා සහ ඇය වැරදිකාරිය බවට තීන්දු කළ ඇමැතිවරුන් 7දෙනා බ්‍රිතාන්‍යයට සහ අනෙකුත් පොදු රාජ්‍ය මණ්ඩල රටවලට ඇතුළුවීමෙන් වැළැක්විය යුතු යැයි ප්‍රකාශ කළ රාජකීය නීතිඥවරයා  ඔවුන්ගේ විදේශ බැංකු ගිණුම් අත්හිටවිය යුතු යැයිද කියා සිටියේය.

නීතියේ ආධිපත්‍යයට නීති විරෝධි අන්දමින් පහර දුන් මෙම පුද්ගලයන් හඳුනාගත හැකි අතර ඔවුන්ට දඩුවම් ලබා නොදුනහොත් ඔවුන් නැවතත් නැවතත් මෙවැනි නිහීන වැඩවල නිරතවනු ඇතැයි රොබර්ට්සන් මහතා සිය ලියැවිල්ලේ සඳහන් කර ඇත.

..................................................
ඕස්ට්‍රේලියාවේ The Age පත්‍රයේ වෙබ් අඩවියේ පෙබරවාරි 28 වෙනිදා  'Boycott Sri Lanka, Robertson urges' මැ‍යෙන් පළවු ලිපියේ සිංහල අනුවාදයයි.