මැණිකේ ඔබේ හිතේ සහ බුද්ධිමය දේපල මංකොල්ලය

 මෙවැනි සොරකම් වලින් තොර සැබෑ නිර්මාණ සඳහා අපේ තරුණ පරම්පරාවේ කාලය සහ දැනුම භාවිතා කරනේනේ නම් අපට යහපත් හෙට දවසක් උදාවනු ඇත. 

කතුවැකිය 

මේ දිනවල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු ආසියානු රටවල වඩාත් ප්‍රසිද්ධියට පත් වී ඇති ගීතයක් තිබේ. මැණිකේ ඔබේ හිතේ නමින් ප්‍රසිද්ධ මෙම ගීතයට සැලකිය යුතු අවදානයක් ලැබී තිබේ. එය එක්තරා ශ්‍රී ලාංකික තරුණ ගායිකාවක විසින් මුල් ගීතය අවභාවිතා කරමින් නිර්මාණය කරනු ලැබූ ගීතයකි. ඒ සඳහා මෙම කොල්ලකරුවන් භාවිතා කරන සුන්දර වචනයක් ඇත. එනම්, නිල කවරය, යනුවෙනි. 



නීතිමය වශයෙන් ගත්කල මෙම කටයුත්ත පුද්ගලයෙකුගේ බුද්ධිමය දේපල කොල්ල කෑමකි. සරල බසින් කිවහොත් එය සොරකමකි. මේ සොරකම, මෙම තරුණ ගායිකාව පමණක් නොව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල තරුණ තරුණියන් විසින් සිදුකරන ඉතාම අවලසන්න කටයුත්තකි. මේ නිසා යම් කිසි නිර්මාණයක  මුල් නිර්මාණකරුවන්ට සිදුවී ඇත්තේ අවාසනාවන්ත ඉරණමකට මුහුණදීමටය. 

පසුගිය වසරක ලෝක පාපන්දු කුසලානය සඳහා ප්‍රකට ලතින් ඇමෙරිකානු ගායිකාවක වන සකීරා විසින් ගායනා කරනු ලැබූ  ගීතය ලොව පුරා ප්‍රචලිත වූයේ ඇගේ මුල් නිර්මාණයක් ලෙසය. නමුත් එය අප්‍රිකානු ගීතයක් සොරකම් කිරීමෙන් නිර්මාණය කරනු ලැබුවක් බව පසුව ඔප්පු විය. අදාළ නිර්මාණයට සඳහා සකීරාට විශාල වශයෙන් අදායම් ලැබුණි. නමුත් එහි මුල් නිර්මාණකරුවන් ගැන කිසිවකු නොදන්නේය. මෙම සොරකමේ ඇති ඛේදජනක තත්වය මෙයයි. 

අපි මෙම ශ්‍රී ලාංකික තරුණ ගායිකාවගේ නිර්මාණ හැකියාව ගැන විවේචනය කරන්නේ නැත. ඇය දක්ෂ තරුණියකි. නමුත් යම් කිසිවෙකු තම දක්ෂකම යම් කිසිවකුගේ නිර්මාණයක් සොරකම් කිරීම සඳහා භාවිතා කිරීම පිළිගත නොහැකි කටයුත්තකි. 

ලංකාවේ බොහෝ දක්ෂ නිර්මාණකරුවන් සිටිති. ඔවුහු ආර්ථික වශයෙන් පීඩා විඳිමින් තම නිර්මාණ හැකියාවන් ලෝකයට පෙන්වීමට වෙර දරති. මෙම ශ්‍රී ලාංකික තරුණිය විසින් ගායනා කරන ගීතයේ සැබෑ අයිතිකරුවාගේ ජීවිතයද ඒ හා සමාන කටුක අත්දැකීම් රාශියකින් යුතු එකක් බව දේශීය ජනම්ධ්‍යය ආයතන රැසක් හෙළිකොට ඇත. ඔහුට සදාරණයක් ඉටු කිරීම සඳහා මෙම තරුණිය සහ ඇගේ කණ්ඩායමට සැලසුමක් තිබේද යන්න අපි නොදනිමු. නමුත් අදාළ මුල් නිර්මාණයට සිදුකළ  හානිය සදාකාලිකය. එමඟින් මුල් නිර්මාණයේ අයිතිකරුට වන සිත්රිදීම සදාකල් පවතිනු ඇත. 

 මුල් නිර්මාණ ඉතාම කෛරාටක ලෙස උදුරා ගනිමින් ඒවායෙන් ආර්ථික ලාභ ලබන පිරිසක් වෙනම සිටිති. මෙය ශ්‍රී ලංකාවේ පමණක් නොව බොහෝ රටවල සිදුවන මහදවල් සොරකමකි. ඊට එරෙහිව නීතිමය මාර්ගයෙන් කටයුතු කිරීම සඳහා අවශ්‍යය රාජ්‍යය පරිපාලන ව්‍යුහයන් බොහෝ රටවල්වල නැත. එසේම නීතිමය පියවර ගැනීම සඳහා අවශ්‍යය මූල්‍යමය ශක්තිය බොහෝ නිර්මාණකරුවන්ට නැත. 

 මෙම අවාසනාවන්ත තත්වය ගීත වලට පමණක් නොව බොහෝමයක් කලා  නිර්මාණ ඇතුළු බොහෝ නිර්මාණ වලට මුහුණදීමට සිදුවී ඇති ඛේදජනක තත්වයයි. කුසලතාවයෙන් පිරිපුන් තරුණ පිරිස් කෛරටක හොරුන් බවට පත්වීම මනුෂ්‍යය ශිෂ්ඨාචාරය පැත්තෙන් බැලුවිට ඉතාම අවාසනාවකි. 

සාමාජ මාධ්‍යය ඇතුළු මෙවලම් විසින් හුරුකර ඇති වෙළඳපොල රටාවේ ඉතාම භායනක පැත්ත වන්නේ මෙයයි. මෙහි ආනිසංස අපි හිතනාවට වඩා හානිකරය.  මෙවැනි සොරකම් වලින් තොර සැබෑ නිර්මාණ සඳහා අපේ තරුණ පරම්පරාවේ කාලය සහ දැනුම භාවිතා කරනේනේ නම් අපට යහපත් හෙට දවසක් උදාවනු ඇත.