මෙරට මාතෘ සායන නංවාලීමට ජාත්‍යන්තර සහය




එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ දේශීය නියෝජිත බ්‍රෙන්ඩා බාර්ටන් සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකෙන් විසින් සංවිධාන දෙකෙහි ඒකාබද්ධතාවෙන් තණමල්විල, මොනරාගල මාතෘ ළමා සෞඛ්‍ය සායනයට මානවමිතික උපකරණ ලබා දීම පසුගියදා (2) සිදුවිය. 

මේ වනාහි සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයට ලබා දෙන ලද රු. මිලියන 14ක් (ඩොලර් 78,000ක්) වටිනා උපකරණ අතරින් කොටසකි. මෙම උපකරණ දිස්ත්‍රික්ක හයක මාතෘ සහ ළමා සෞඛ්‍ය සායන වෙත ලබා දෙනු ඇත. එමගින් අරමුණු කරනු ලබන්නේ, සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ මන්දපෝෂණ අවදානමට මුහුණ දෙන ශ්‍රී ලාංකික කාන්තාවන් සහ ළමයින් නිරීක්ෂණය කිරීම සහ ඔවුන්ගේ සෞඛ්‍යය වර්ධනය කිරීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග ගැනීමයි.  

මෙය ඩෙන්මාර්ක් රජය විසින් අරමුදල් සම්පාදනය කරනු ලබන විශාල ව්‍යාපෘතියක කොටසකි. එමගින් සිදුකරනු ලබන්නේ, ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධ තොරතුරු සහ සේවාවන් වෙත ප්‍රවේශය වර්ධනය කිරීම, සෞඛ්‍යය, පෝෂණය සහ ආහාර සුරක්ෂිතතාව නැංවීමයි. 

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල එක්වීමෙන් මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අංග දෙක වන පෝෂණය සහ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යයත් අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වේ. මෙම එක් අවුරුදු ව්‍යාපෘතිය මොනරාගල, මාතලේ, මුලතිව්, මන්නාරම, මඩකලපුව සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල කාන්තාවන් 8,000කට ඍජුව ම අදාළ වේ. 

ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය ජීවන චක්‍රය පුරා ම පැතිර පවතී. ආරම්භයේදී ම, සෑම නවජාත බිළිඳුන් හයදෙනෙකුගෙන් එක් අයෙකු (16%ක්) උපදින්නේ අඩු උපත් බරකින් ය. ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ නිදන්ගත මන්දපෝෂණය ඉතා ඉහළ  වන අතර ඒ අනුව, ශ්‍රී ලංකාව ලොව නරක ම රටවන් 10න් එකකි. එමගින් වයස අවුරුදු පහට අඩු දරුවන් කෙට්ටු වී ක්ෂය වී යාම සිදු වේ. පසුගිය දශකය තුළ මෙම අනුපාතිකයන් බොහෝ දුරට නොවෙනස්ව පවතී.