වැඩිහිටි කාන්තාවන් සඳහා දිගුකාලීන සත්කාර අවශ්‍යයි




‘ශ්‍රී ලංකාවේ වියපත් වීමේ ස්ත්‍රීකරණය සහ දීර්ඝකාලීන සත්කාර සම්බන්ධයෙන් එහි බලපෑම’ මැයෙන් පැවැත්වෙන සාකච්ඡා මණ්ඩපයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) දේශීය සහ ජාත්‍යන්තර විශේෂඥයන් සමග රිදීවිය (SilverAge) සමුළුව සමග එක්වෙයි.  



ලංකාවේ වයස අවුරුදු 80ට වැඩි ජනගහනයෙන් තුනෙන් දෙකක් කාන්තාවන් 

වර්තමානයේදී, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 80ට වැඩි ජනගහනයෙන් තුනෙන් දෙකක් ම කාන්තාවෝ ය. එම සංසිද්ධිය ‘වියපත් වීමේ ස්ත්‍රීකරණය’ ලෙස හැඳින්වේ. එය සිදුවන්නේ වැඩිහිටි ජනගහනයේ විශාල ප්‍රතිශතයක් කාන්තාවන් බවට පත් වීමත් සමග ය. මෙමගින් ප්‍රශ්න රැසක් නිර්මාණය වේ. විශේෂයෙන් ම දිගුකාලීන සත්කාර පිළිබඳ ප්‍රශ්නයක් මතු වේ. එයට හේතුව වන්නේ වියපත් වන විට පවා බොහෝ කාන්තාවන් සත්කාර සපයන්නන් වීමයි. එහෙත්, ඔවුන්ගේ සෞඛ්‍යයේ සිදු වන පරිහාණිය හේතුවෙන් ඔවුන්ට සත්කාර සපයන්නන්ගේ භූමිකාවේ සිට යැපෙන්නන් බවට පරිවර්තනය වීමට සිදු වේ. 

2019 වසරේ වෘද්ධවේදය සහ වෘද්ධ සෞඛ්‍යය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේදී ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ඉහළ පෙළේ සාකච්ඡා මණ්ඩපයක් කැඳවා තිබේ. මෙම සමුළුව ‘රිදීවිය සම්මේලනය’ ලෙස ද හැඳින්වේ. ‘ශ්‍රී ලංකාවේ වියපත් වීමේ ස්ත්‍රීකරණය සහ දීර්ඝකාලීන සත්කාර සම්බන්ධයෙන් එහි බලපෑම’එහි තේමාවයි. වියපත් වීමේ ක්‍රියාවලියේදී ගැහැනුන් මෙන් ම පිරිමින් ද අභියෝගවලට මුහුණ දෙනමුත්, දිගුකාලීන සෞඛ්‍ය සත්කාර ඇතුළු සේවාවන් සම්බන්ධයෙන් කාන්තාවෝ විශේෂයෙන් වෙනස්කම් කිරීම්වලට ලක්වෙති. එයට හේතුව වන්නේ ඔවුන්ගේ යැපුම් ස්වභාවය සහ සත්කාර සපයන්නන් ලෙස ඒකාකෘතික වී ඇති භූමිකාවයි. අවදානම්සහගත අවධියකදී මෙමගින් වැඩිහිටි කාන්තාවන්ගේ හිමිකම් සහ තෝරාගැනීම් සීමා වේ. එබැවින්, වැඩිහිටියන් සඳහා දිගුකාලීන සත්කාර සම්බන්ධයෙන් ඵලදායී මැදිහත්වීම් සංවර්ධනය කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය කෙරෙහි අවධානය යොමුකිරීමේ පුළුල් අවශ්‍යතාවක් නිර්මාණය වී තිබේ. 

ලාංකීය කාන්තාවන් බොහොමයක් විධිමත් රැකියාවල නිරත වන්නේ නෑ

මෙම සම්භාවනීය සාකච්ඡා මණ්ඩපය ජාත්‍යන්තර විශේෂඥයකුගෙන් සහ ප්‍රතිපත්ති නායකයන්ගෙන් සමන්විත වූ අතර, එය මෙහෙයවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නැකෙන් විසිනි. සාකච්ඡා මණ්ඩපය ආරම්භ කරමින් නැකෙන් මෙසේ පැවසුවා ය: “වැඩිහිටි කාන්තාවන් සඳහා දිගුකාලීන සත්කාර ශ්‍රී ලංකාවට ඉතා අදාළ මාතෘකාවකි. සමාජයේ කාන්තාවන්ගේ ආර්ථික අවදානම් සහගතභාවය නිසා එය සුවිශේෂ වේ. බොහෝ ශ්‍රී ලාංකික කාන්තාවන් විධිමත් රැකියාවල නිරත වන්නේ නැත. එහෙයින් ඔවුන්ට විශ්‍රාම වැටුපක් හෝ වැඩිහිටි වියේදී ජීවිතය පවත්වාගෙන යාමට ඉතුරුම් නැත. වැඩිහිටි කාන්තාවන්ගේ හිමිකම් සහ කීර්තිය තහවුරු වන පරිදි ජීවන චක්‍ර ප්‍රවේශයක් අනුගමනය කරමින් අප මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදිහත් විය යුතු ය.”


සාකච්ඡා සභාවේ ජාත්‍යන්තර විශේෂඥ වූයේ ජපානයේ ජනගහන සහ සමාජ ආරක්ෂණ පර්යේෂණ ජාතික ආයතනයේ ජාත්‍යන්තර පර්යේෂණ සහ සහයෝගිතා අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය රෙයිකෝ හයාෂිය.. ජපානය වියපත් වන කාන්තා ජනගහනයේ දිගුකාලීන සත්කාර ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය අවධාරණය කරමින් ඇය මෙසේ පැවසුවා ය: “ජපානයේ දිගුකාලීන සත්කාර සේවා වෘත්තිකයන් සහ පවුල්වල සත්කාර සපයන්නන් වැඩිදෙනෙක්  කාන්තාවෝ ය. 2000 වසරේ සිට ජපානයේ දිගුකාලීන සත්කාර රක්ෂණයක් තිබේ. එහි අරමුණ වන්නේ දිගු කාලීන සත්කාරවල පිරිවැය පවුලෙන් සමාජය වෙත භාරගැනීමයි. එයට සත්කාර සපයන්නන් සඳහා ගෙවීම් ඇතුළත් වූයේ නැත. එයට හේතුව එමගින් කාන්තාවන් ගෙදර නැවතී සත්කාර සපයන්නන් විය යුතු බවට බලපෑමක් ඇති විය හැකි හෙයිනි. එමගින් ඔවුන්ගේ ජීවන විකල්ප සහ තෝරාගැනීම් සීමා විය හැකි බැවිනි.”

ලංකාවේ කාන්තාවන් - පිරිමින්ට වඩා දිගු කලක් ජීවත් වෙනවා 

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, ජනවිකාස විද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය (සභාපති) මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක, වියපත්වීමේ ස්ත්‍රීකරණය සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රතිපත්ති හැඩගැස්වීම අවශ්‍ය වන වත්මන් ජනගහන ප්‍රවණතා පිළිබඳ තම දැනුම බෙදාගනිමින් මෙසේ පැවසුවේ ය: “ශ්‍රී ලංකාවේ කාන්තාවන් පිරිමින්ට වඩා දිගු කලක් ජීවත් වන බව ජනගහණ දත්ත විසින් පෙන්වා දෙන අතර, කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව වැඩි කාලයක් අයහපත් සෞඛ්‍ය තත්වයන් තුළ ජීවත් වන බවට ද සාක්ෂි තිබේ. එයින් අදහස් වන්නේ කාන්තාවන් සිය වැඩිහිටි වියෙන් වැඩි කාලයක් ගතකරන්නේ අවදානම් තත්වයක බවයි.”



වැඩිිහිටියන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න වලට මැදිහත් විය යුතුයි 

සාකච්ඡා මණ්ඩපයේ සාමාජිකාවක මෙන් ම රිදීවිය සම්මේලනයේ සංවිධායිකාවක් ද වන ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශිරෝමි මාදුවගේ සාකච්ඡා සභාවේදී මෙසේ පැවසුවා ය: “ශ්‍රී ලංකාව වැඩිහිටි පුද්ගලයන්ගේ සෞඛ්‍යය සම්බන්ධ ප්‍රශ්නවලට මැදිහත් විය යුතු ය. අප ශ්‍රී ලංකාවේ මෙම සම්මේලනය සංවිධානය කරන්නේ එහෙයිනි. එහි අරමුණ වෙනත් රටවලින් ඉගෙනීම හා දැනුම බෙදාහදාගැනීමයි. වැඩිහිටි පුද්ගලයන්ගේ සෞඛ්‍යය ගැන සලකාබැලීමේදී අප ස්ත්‍රී පුරුෂ පර්යායන් ද අවබෝධ කරගත යුතු ය.”

සියලු ශ්‍රී ලාංකිකයන්ට වඩා යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම පිණිස ජාතික සහ උප ජාතික මට්ටමේ තීරණ ගැනීමේ දැනුවත්භාවය ඇති කිරීම පිණිස, ප්‍රතිපත්ති තලයේදී ජනගහන ප්‍රවණතා සහ ගතිකයන් අවධාරණය කරන බව තහවුරු කිරීමෙන් එක්සත් ජාතීන්ගේ ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය නියෝජිතායතනය ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සක්‍රිය භූමිකාවක් ඉටුකරයි.