''විධායක ජනපතිධූරය අහෝසි කරන්න කැපවෙනවා'' - අගමැති



විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම වෙනුවෙන් තමා තවදුරටත් කැපවී සිටින බව ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මාලදිවයින් පාර්ලිමේන්තුව හෙවත් මහජන මජ්ලිසය අමතමින් ඊයේ (03) දින ප්‍රකාශ කළේය. 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම නිසා ජනාධිපති ධූරය වෙත පැවරී තිබූ අත්තනෝමතික බලතල අඩු කිරීමට හැකියාව ලැබුණු බව පෙන්වා දුන් ඔහු, එම සංශෝධනය අවශ්‍ය වූයේ මීට පෙර පැවැති ආණ්ඩු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීම නිසා බව ද පැවසීය. 

19 වන සංශෝධනයෙන් පසුව විධායක ජනාධිපතිවරයා සතුව තිබූ බලතල සීමා වී කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව වෙත සමූහික වගකීම පැවරුණු බව ද ප්‍රකාශ කළේය.  

මාලදිවයිනේ දෙදින නිල සංචාරයක නිරත අගමැතිවරයා ඊයේ (03) පෙරවරුවේ මාලදිවයින් පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණි අතර එහිදී මාලදිවයින් පාර්ලිමේන්තුවේ කතානායක මොහොමඩ් නෂීඩ් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. 

අනතුරුව මාලදිවයින් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත අගමැති රනිල් වික්‍රමසිංහ කැඳවා ගෙන එනු ලැබූ අතර එරට පාර්ලිමේන්තුවේ කතානායක අසුනට සම මට්ටමේ අසුනක් ඔහු වෙනුවෙන් පනවා තිබුණි. පෙරවරු 9.30 ට පමණ ඔහු මාලදිවයින් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කළේය. 

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් පාර්ලිමේන්තු ආගමනය සිහිපත් කරමින් එරට කථානායකවරයා විසින් මාලදිවයින් පාර්ලිමේන්තු ඉතිහාසය ඇතුළත් සමරු ග්‍රන්ථයක් ද වික්‍රමසිංහ වෙත පිරිනමනු ලැබීය. 

මාලදිවයින් පාර්ලිමේන්තුව අමතමින් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙරටේම විධායක බලතල පැවරී ඇත්තේ ජනාධිපතිවරයා වෙත වුව ද, ශ්‍රී ලංකා ආණ්ඩුවේ පාලනය සහ ආණ්ඩුවට මඟපෙන්වීම සඳහා බලතල ඇත්තේ ජනාධිපතිවරයා ද ඇතුළත් වන කැබිනට් මණ්ඩලයට බවයි. 


පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට කැබිනට් මණ්ඩලය බැඳී සිටින බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා ගැනීමට වැඩි හැකියාවක් ඇති පුද්ගලයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමේ වගකීම ජනාධිපතිවරයා සතු වන බව ද පැවසීය.

ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ 2018 වසරේ ඔක්තෝබර් මාසයේ දී අගමැතිධූරයට පත් කරනු ලැබූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ, එසේ වුවද මහින්ද රාජපක්‍ෂට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 122 දෙනෙකු විරුද්ධ වූ බවත්, ඒ අවස්ථාවේ දී මහින්ද රාජපක්‍ෂට තවදුරටත් අග්‍රාමාත්‍ය ධූරයෙහි කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් පැනවූ බව ද සිහිපත් කළේය.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කළ යුත්තේ පාර්ලිමේන්තුවේ වැඩිම සහයෝගය ලබා ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයා බව වැඩිදුරටත් තහවුරු වී යැයි ද අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. 

ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහගේ මාලදිවයින් පාර්ලිමේන්තු සම්ප්‍රාප්තියට ස්තුතිය පළ කරමින් එරට කථානායක මොහොමඩ් නෂීඩ් ප්‍රකාශ කළේ දකුණු ආසියානු කලාපයේ වඩාත්ම ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ බවයි. එසේම ශ්‍රී ලංකාව කිසි විටෙක ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයෙන් සහ මහජන ඡන්දයෙන් මිස වෙන කිසිඳු අයුරකින් රටේ බලය හුවමාරු කර ගෙන නොමැති බව ද පැවසීය.