“මම බසයක ගමන් කරමින් සිටියා. මට එහා පැත්තේ අසුනේ වාඩි වී සිටි පිරිමියා නින්දේ බව බොරුවට අඟවමින් මගේ කලවා ස්පර්ශ කරන්නට පටන් ගත්තා. ඔහු මෙය කීප වරක් ම කළ නිසා ඔහුට විරෝධය පළ කළ වහා ඔහු පළා යන බව මා දැන සිටියා. මෙය මෙවැනි දෙයක් මට සිදු වූ පළමු අවස්ථාව නොවෙයි ,” යි කියන්නේ ශලිනි ය. ඇය පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයකට ලක් වූ කාන්තාවකි.
මෙම අත්දැකීමට මුහුණ දෙන්නේ ශලිනි පමණක් නොවේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මෙහෙයවීමෙන් පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසනය පිළිබඳ ශ්‍රී ලංකාවේ කරන ලද ජාතික අධ්‍යයනය මගින් හෙළිදරව් වූ පරිදි 90%ක් ගැහැණු ළමයින් හා කාන්තාවන් පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දී තිබේ. ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කරන්නේ ඔවුන් අතරින් 4%ක් පමණි.
ලිංගික හිංසනය බරපතල මානව හිමිකම් උල්ලංඝනයකි. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නිමින්තෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ මහ නගර සභාව, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධනය අමාත්‍යාංශය එක්ව ‘ඇය සුරැකි ගමනක ද?' මැයෙන් මහජන ප්‍රදර්ශනයක් විවෘත කරන ලදී. පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට මුහුණ දුන් ශලිනි වැනි කාන්තාවන් සහ ගැහැණු ළමයින්ගේ සත්‍ය කතා මෙම ස්ථාපනයේ ඉදිරිපත් කෙරේ. ඔවුන්ගේ කතා මගින් කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට වෙනස් අන්දමින් සැලකීමට හේතු වන බල ව්‍යූහයන්ගේ පැවැත්ම පිළිබඳ පැහැදිලි වේ.
මෙම ප්‍රදර්ශනය ආරම්භ කරමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මෙසේ පැවසුවා ය: “පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසනය යනු ප්‍රතිපත්ති මට්ටමේ අඛණ්ඩ මැදිහත්වීම් අවශ්‍ය ප්‍රමුඛ ජාතික ප්‍රශ්නයකි. කොළඹ නගරය කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට සුරක්ෂිත ස්ථානයක් කරනු පිණිස සාකල්‍ය ප්‍රවේශයක් තහවුරු කිරීම සඳහා සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී කාන්තාවන් සහභාගි වීම ඉතා වැදගත් ය.”
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජිත රිට්සු නකේන් කතා කරමින් මෙම අදහස් දැක්වූවා ය: “හිංසනය පිළිබඳ බියකින් හෝ තර්ජනයකින් තොරව, කාන්තාවන්ට සහ පිරිමින්ට සමානයන් ලෙස එකට ගමන් බිමන් යා හැකි ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට වැඩ කරන අතර, දුම්රියවල කාන්තාවන් වෙනුවෙන් පමණක් වූ මැදිරි වෙන් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මෑතදී ගන්නා ලද තීරණය අපි අගය කරන්නෙමි. මෙම ක්‍රියාමාර්ගය ජපානය, ඉන්දියාව ඇතුළු තවත් රටවල ක්‍රියාත්මක කර තිබේ. එමගින් මෙම ප්‍රශ්නය ගැන දැනුවත්භාවය වැඩි කළ හැකි ය. එය අනාගතයේ ක්‍රියාත්මක වන වඩාත් තිරසර වූ විසඳුමකට මග සලසනු ඇත.”
![]() |
රිට්සු නකේන් |
මෙම ඡායාරූප හා වීඩියෝ එකතුව නිර්මාණය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සහ බ්‍රිතාන්‍ය ඡායාරූප මාධ්‍යවේදිනියක වන එලිසා හැච් විසින් දියත් කරන ලද ව්‍යාපෘතියක් වන Cheer Up Luv එක්ව ය. Academy of Designs (AOD) ආයතනයේ රොටරැක්ට් සමාජයේ සහයෝගයෙන් කොළඹ නගර සභා පිටියේ ස්ථාපනය කරනු ලබන මෙම ප්‍රදර්ශනය මාර්තු 2දා සිට 8දා දක්වා පෙ.ව. 8 සිට ප.ව. 8 දක්වා විවෘතව තිබේ. සිවිල් සමාජ සංවිධාන සහ ක්‍රියාධරයන් සමග එක්ව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් පාසල් සිසුන් සඳහා, බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් සඳහා සහ පොදු ජනතාව සඳහා පවත්වන විශේෂ සැසි ද එයට ඇතුළත් වේ. එහි අරමුණ ජනතාවට මේ පිළිබඳ කතා කිරීමට, මැදිහත් වීමට සහ වෙනස නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබා දීමයි.
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ ප්‍රධාන නියෝජිතායතනය ලෙස එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල රජය, සෙසු එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, තානාපති සේවා, සිවිල් සමාජ සංවිධාන, පෞද්ගලික අංශය, පුද්ගල ක්‍රියාධරයන් සහ මාධ්‍ය සමග සමීපව සියලු කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් කටයුතු කරයි.
Post a Comment