රෝහණ විජේවීර පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා නැත
ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර (පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර) විසින් පුද්ගලිකව කිසිදු මිනිසෙකු මරා දමා නොමැත. එහෙත් ඔහු විසින් මිනිසුන් බොහෝ දෙනෙකු මරා දැමීම සඳහා නියෝග දුන්නේය. තමන් විශ්වාස කරන දේශපාලන න්‍යාය අනුව මිනිසුන් ඝාතනය කිරීමට විජේවීර පෙළඹුණේ මන්ද ? උත්ප්‍රාසය නම් ඔහු පොල් පොට් මෙන් අසංවේදී මිනිසෙකු නොවීමයි. රෝහණ විජේවීර තම පවුලේ සාමාජිකයන්ට සහ මිතුරන්ට සංවේදී පුද්ගලයෙකු විය. එහෙත් සමහර අවස්ථාවලදී තමන් ගේ හිටපු අනුගාමිකයන් පවා ඝාතනය කිරීමට නියෝග දීමට ඔහු පෙළඹුණු අයුරු පෙනී යයි.මිනිසුන් ඝාතනය කිරීමේ දේශපාලනයක් කරා රෝහණ විජේවීර ගමන් කලේ මන්ද කියා මනෝ විද්‍යාත්මකව මෙතෙක් කිසිදු පැහැදිලි කිරීමක් නොමැත. මේ සඳහා ළමා කාලයේ මෙන්ම පසුකාලීනව ඔහු විසින් අත්විඳි ක්‍ෂිතිමය තත්වයන් බලපෑ බවට උපකල්පනය කල හැකිය.
ආර්ථික ගැටළු, කුල පීඩනය හා සමාජ විෂමතා වලින් පීඩා විඳිමන්
ළමා කාලයේ සිට විජේවීර ආර්ථික ගැටළු, කුල පීඩනය වැනි සමාජ විෂමතා නිසා පීඩා වින්ඳේය. ශාරීරික වශයෙන් ඔහු දුර්වල පුද්ගලයෙකු විය. උපතින්ම විජේවීර ගේ දත් බොල්ලෑ විය. මේ නිසා කුඩා කාලයේ සිටම ඔහු තුල හීනතාමාන සංකීර්ණය ගොඩනැගුණි. මේ නිසා ඔහු තුළ Body dysmorphic disorder තත්ත්වය තිබූ බවට උපකල්පනය කිරීමේ සාධක තිබේ. මෙකී කරුණු විජේවීරව නිර්දය චරිතයක් බවට පරිවර්තනය කළේය.
1947 මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මැරයන් ගේ මෙහෙයවීම මත දෙණියායේ වත්තක ද්‍රවිඩ වතු කම්කරුවන් පිරිසක් විසින් ඔහුගේ පියා වන දොන් අන්දිරිස් විජේවීරට පහරදී සදාකාලික ආබාධිතයෙකු බවට පත් කරනු ලැබීය. මෙම දුක්ඛදායක සිද්ධිය වන විට විජේවීර වයස හතරක දරුවෙකි. මේ සිදුවීමෙන් පසු විජේවීර ගේ ජීවිතය අභාවවාචක ලෙස වෙනස් විය. ඔහු ඇතුළු පවුලේ සාමාජිකයන් ගේ ජීවිතය තවත් පීඩාකාරී විය. මේ ක්‍ෂිතිමය සිදුවීම් ළමා විජේවීරගේ මනසට තදින්ම බලපෑවේය.
මව කෙරෙහි වූ අවිඥාණික වෛරය
විජේවීර තම පියා කෙරෙහි මානසිකව බැඳී සිටි අතර ආබාධිත වූ තම පියාට මව වූ නැසිනෝනා වික්‍රම කළුතොට නොසලකා හැරිය බවත් ඉන් ඔහුගේ මරණය ඉක්මන් වූ බවත් විශ්වාස කලේය. ඔහුට තම මව සමග බොහෝ අවිඥාණික ගැටුම් තිබූ අතර තමන් ගේ මව මිතුරන් ඉදිරියේ පවා සැතිරියක් ලෙස නම් කරමින් අවඥාවට භාජනය කලේය. මව කෙරෙහි වූ අවිඥාණික වෛරයද විජේවීර ගේ පෞරුෂය කෙරෙහි බලපෑවේය. මෙම තත්වය විජේවීරව වඩාත් නිර්දය සහ අඩු සහකම්පනීය චරිතයක් බවට පත් කලේය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වීමෙන් පසු ඔහු සෝවියට් දේශයේ පැට්‍රිස් ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා දොස්තර එස්. ඒ වික්‍රමසිංහ මහතා උපකාර කළේය. විජේවීර ඇතුළු සිසුන් පැට්‍රිස් ලුමුම්බා සරසවියේ මුල්ම ශිෂ්‍ය කණ්ඩායම වූ අතර ඔහු 1960 වසරේ මොස්කව් බලා පිටත් විය.
හැටේ දශකයේ දකුණු පළාතේ නොදියුණු පසුගාමී ග්‍රාමයක ජීවත් වූ විජේවීර මොස්කව් නගරය දැකීමෙන් විමතියට පත් වූවා නිසැකය. සමහරක් විට ඔහුට මොස්කව් නගරය ලාස් වේගාස් නගරය මෙන් වූවාක් වෙන්නට ඇත. සංවර්ධිත සමාජයක් ජීවත් වූ මොස්කව් නගරයේ තිබූ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ පවා ඔහු දුටුවේ අධි සුඛෝපභෝගී භාණ්ඩ ලෙසටය. මේ නිසා ඔහු චීන කොමියුනිස්ට් ක්‍රමය අගය කලේය. තවද ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ගේ අයථා ක්‍රියාවන් දුටු ඔහු ඔවුන්ව ප්‍රසිද්ධියේ විවේචනය කලේය.
අධ්‍යාපනය දුෂ්කර ව්‍යායාමයක් වූ කල
අපොස සාමාන්‍ය පෙළ මට්ටමට තිබූ පාසල් අධ්‍යාපනයද ඉංග්‍රීසි භාෂාව පිලිබඳව තිබූ ඌණ දැණුම නිසාද සමහර සායනික විෂයන් ඉගෙනීම ඔහුට දුෂ්කර විය. ඔහු සමග සෝවියට් දේශයට ගිය අනෙකුත් නාගරික සිසු සිසුවියන් රුසියන් භාෂාවෙන් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් සායනික විෂයන් හදාරා විභාග වලින් සමත් වූහ. (විජේවීර සමග වෛද්‍ය අධ්‍යාපනයේ යෙදුණු එක් ද්‍රවිඩ තරුණියක් සෝවියට් වෛද්‍ය උපාධියෙන් පසුව එංගලන්තය බලා ගොස් පසුව එහි වෛද්‍යවරියක සේ සේවය කළාය) එහෙත් විජේවීරට ජීව රසායන විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විෂය සමත් වීමට නොහැකි විය.
ජීව රසායන විද්‍යාව හෙවත් බයෝ කෙමිස්ට්‍රි විෂය අසමත් වීමත් තම ගෙදර දොරේ පැවති සමාජ ආර්ථික ගැටළු නිසාත් පියාගේ අසනීප තත්වයත් නිසා විජේවීර ක්ලමථ තත්වයකින් පීඩා විඳින්නට ඇත. ඔහු මේ කාලයේදී ඔහු තුල Adjustment Disorder (සමායෝගී ආබාධය) නම් ක්ලමථ අක්‍රමතාවයේ ලක්‍ෂණ තිබූ බවට සැක කළ හැකිය. මේ නිසා විවේක ගනු පිණිස වෛද්‍යවරු විජේවීරව සැනතෝරියා හෙවත් වෛද්‍ය සුඛාගාරයකට යවන ලදි. ඔහු මෙම වෛද්‍ය සුඛාගාරයේ සිටියදී ශ්‍රී ලාංකික සිසුන් ඔහුව බැලීමට ගියෝය.
සෝමපාල කරුණාසේන සමග කෝපයෙන්
සෝමපාල කරුණාසේන, විජේවීර සමග ලුමුම්බාවට ගිය සිසුවෙකි. ඔහු විජේවීර බැලීමට ගිය විට විජේවීර සිටියේ කෝපයෙනි. ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් විවේචනය කළ විජේවීර තමන් ලංකාවට ගොස් විප්ලවයක් කරන බවත් ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන්ව ඝාතනය කරන බවත් කීවේය. මිනිස් ඝාතන පිලිබඳව විජේවීර ප්‍රසිද්ධියේ කතා කල මුල් අවස්ථාව එය වන්නට ඇත. කෙසේ නමුත් විජේවීර සිටි වික්‍ෂිප්ත තත්වය නිසා සෝමපාල කරුණාසේන වැඩි වේලාවක් නොසිට එන්නට ආවේය.
මෙම අසනීප තත්ත්ව නිසා විජේවීර 1964 වසරේදී ලංකාවට ආවේය. ලංකාවේදී ඔහු චීන පිලේ ෂන්මුගදාසන් සමග ගනුදෙනු කළ නිසාත් තමා ඇතුළු කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් ප්‍රසිද්ධියේ විවේචනය කල නිසාත් කේ.පී සිල්වා ගේ මෙහෙයවීම නිසා කොළඹ රුසියානු තානාපති කාර්‍යාලය යලි මොස්කව් යාමට ඔහුට වීසා නොදුන්නේය. මේ නිසා ඔහු පැරණි කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයන් සමග වෛර බැඳගත් අතර " පටන් ගන්නේ තොපෙනී" යන වැකිය භාවිතා කිරීම ඇරඹීය.
ජවිප අරඹමින් - ආයුධ සන්නද්ධ විප්ලවය ගැන අපේක්ෂාවෙන්
1965 මැයි මස 14 වන අක්මීමන දී ඔහු ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී. ආයුධ සන්නධ විප්ලවය ඔහුගේ අපේක්‍ෂාව විය. 1965 සිට 1971 දක්වා පක්‍ෂයට බැඳුණු සාමාජිකයන්ට අවි ආයුද එකතු කරන ලෙසටත් බෝම්බ සාදන ලෙසටත් විජේවීර නියෝග කළේය. 1971 ආසන්නයේදී ඔහු සෑම පොලිස් කොට්ඨාශයකම සිටින කොමියුනිස්ට් පක්‍ෂ සාමාජිකයන් ඇතුළු සතුරන් ලෙස හඳුන්වනු ලැබූ පිරිස් ( මොවුන්ව ප්‍රති විප්ලවවාදීන් ලෙස නම් කරන ලදි) පිලිබඳ ලයිස්තුවක් සකස් කරන ලෙසටත් විප්ලවයේදී මොවුන්ව ඝාතනය කරන ලෙසටත් උපදෙස් දුන්නේය.71 කැරැල්ල සාර්ථක වූවා නම් වාමාංශික දේශපාලකයින් ඝාතනයට සැලැස්මක්
යම් ලෙසකින් 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් බොහෝ වාමාංශික දේශපාලකයන් ඝාතනය කිරීමට විජේවීර ඉටාගෙන සිටියේය. මේ හැර ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද ඔහුගේ ඝාතන ලැයිස්තුවේ සිටියෝය. මේ හැර විප්ලවය සාර්ථක වූයේ නම් විජේවීර විසින් ලොකු අතුල , සනත් බොරළුකැටිය, මහින්ද විජේසේකර, සරත් විජේසිංහ, කඩවත මිල්ටන් යනාදී තමන් ගේම දෙවන පෙළ නායකයන් ඝාතනය කිරීමේ සම්භාවිතාවක් තිබුණි. 71 කැරැල්ල ආරම්භයටත් පෙර ලොකු අතුලව සහ කඩවත මිල්ටන්ව ඉවත් කරන බව විජේවීර පවසා තිබූ අතර වරක් එය පියතිලක විසින් මාබෝලේ රෙක්සිට පවසා තිබුණි. 1971 කැරැල්ල සාර්ථක වූයේ නම් ඝාතන වැලක් සිදු වීමට නියමිත තිබුණු බව විජේවීරව ලඟින්ම ඇසුරු කල කෙලී සේනානායක සහ නවරත්න බණ්ඩා ප්‍රකාශ කරති.1971 කැරැල්ල අසාර්ථක වී සිර දඞුවම් විඳ යලිත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් වෙත ආ විජේවීර තුලින් ඝාතන මානසිකත්වය සෑහෙන දුරකට ඉවත් වන්නට ඇත. නමුත් ජේ. ආර් විසින් ජවිපෙ තහනම් කිරීම නිසා විජේවීර යටිබිම්ගත විය. යටිබිම්ගත නොවී අනෙකුත් වාමාංශික නායකයන් මෙන් ඉදිරියට ඒමට ලයනල් බෝපගේ විජේවීරට උපදෙස් දුන්නද ඔහු තුළ තිබූ පැරනොයිඩ අදහස් , අධි තක්සේරුව මත ඔහු දිගටම සැඟවී සිටියේය. ඒ අතර විජේවීර ජ.වි.පෙ දෙවන කැරැල්ලට සූදානම් විය.
ද්‍රෝහීන් ඝාතනයට උපදෙස් දෙමින්
ජ.වි.පෙ දෙවන කැරැල්ල සමයේදී වාමාංශික නායකයන් මෙන්ම ද්‍රෝහියන් ලෙස හඳුන්වන ලද තමන් ගේ හිටපු අනුගාමිකයන් ඝාතනය කරන ලෙසට විජේවීර උපදෙස් දුන්නේය. මේ නිසා බොහෝ පිරිසක් ඝාතනයට ලක්වූ අතර ධර්මසේකර, කෙලී සේනානායක, ප්‍රේමපාල, නිමල් මහරගේ, රොබට් ජයසේකර වැන්නවුන් සැඟවී ජීවිත බේරාගත්හ. ලොකු අතුල, සෝමසිරි කුමානායක, ගාමිණී බාස් යන හිටපු අනුගාමිකයන්ද 71 කැරැල්ලේදී තමන්ගෙන් ප්‍රශ්න කළ උපාලි සෙනෙවිරත්න, ඇන්ටන් ජෙගනාදන් යන පොලිස් නිලධාරීන්ද ඔහුගේ ඝාතන ලයිස්තුවේ මුලින්ම සිටි පුද්ගලයෝ වෙති. විජේවීර විසින් නියෝග දී මරා දැමුණු නන්දන මාරසිංහ විජේවීර වෙනුවෙන් ලේ කඳුළු හෙලූ අපරිමිත කාර්‍යභාරයක් කල පුද්ගලයෙකි. නන්දන මාරසිංහ ඝාතනය කිරීම මගින් විජේවීර තුල තිබූ හීනවූ සහකම්පනීය අවබෝධය (lack of empathy) පෙනී යයි.මිනිසෙකු ඝාතනය කිරීම සඳහා විජේවීර භාවිතා කල වචනය වූයේ "ඉවත් කරන්න" යන්නයි. මෙසේ විජේවීර විසින් ඉවත් කිරීමට නියෝග දුන් විට ඔහුගේ බැතිමත් අනුගාමිකයන් ඉතා ම්ලේච්ඡ ලෙස අදාල පුද්ගලයන්ව මරා දමන ලදී. කුරිරු ලෙස පුද්ගලයන් ඝාතනය කිරීම විජේවීර අනුමත කලා පමණක් නොව ඔහු ඝාතන කෙරෙහි ආශක්ත ද විය. මේ සඳහා විජේවීර තුළ Posttraumatic embitterment disorder (PTED) තත්වය තිබූ බවට සිතීමේ සාධක තිබේ. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වය PTSD (Posttraumatic stress disorder ) නොහොත් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ආදර්ශයට ගෙන ජර්මානු මනෝ විද්‍යවරයෙකු වන මහාචාර්ය මයිකල් ලින්ඩෙන් විසින් ඉදිරිපත් කරන ලද්දකි. මෙම Posttraumatic embitterment disorder (PTED) තත්වයෙන් පෙලෙන්නන් තුල අවිඥානික වෛරය , ක්‍රම විරෝධී බව , ලෝකය අයහපත් අසාධාරණ ස්ථානයක් බවත් එම ලෝකය කෙරෙහි එදිරිය, සමාජය හා නීති පද්ධතීන් කෙරෙහි අප්‍රසන්න තිත්ත භාවය, අපිළිසරණ හැඟීම්, පළි ගැනීමේ ආශාව, සහකම්පනීය හැඟීම් අඩු බව, දුක්මුසු මනෝ භාවයන්, තිබෙන බව මහාචාර්ය මයිකල් ලින්ඩෙන් පෙන්වා දෙයි.
ශ්‍රී ලාංකික දේශපාලනය ගැන කතා කිරීමේදී රෝහණ විජේවීර විසින් ඔහුගේ අනුදැනුම ඇතිව සිදු කරන ලද ඝාතන පිළිබඳව පමණක් කතා කිරීම තේරුමක් නොමැත. විජේවීර ගේ නියෝග මත කරන ලද මනුෂ්‍ය ඝාතන ගැන කතා කරන විට අනෙකුත් දේශපාලකයන් විසින් මනුෂ්‍ය ඝාතන නොකලේද යන්න නිතැතින්ම පැණ නැගෙයි. අනෙකුත් දේශපාලකයෝද මිනි ඝාතන කළහ. එම නිසා අපට විජේවීරට පමණක් ඝාතන පිලිබඳව ඇඟිල්ල දික් කළ නොහැක
සබැඳි පුවත්
රෝහණ විජේවීර ගැන මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක්