සිරිල් රම්පෝසා කඩේ යැවීම

| සුනන්ද දේශප්‍රිය

පසුගිය දා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක යෙදුණූ දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති  සිරිල්  රම්පෝසා වර්ගවාදයට එරෙහි දකුණු අප්‍රිකානු කොන්ග්‍රසය මෙහෙය වූ නිදහස් අරගලය තුලින් පන්නරය ලැබූ දේශපාලනඥයෙකි. නිදහස් අරගල සමයේ 300,000 ක් ආකාර කම්කරුවන්ගේ නායකයා වූ ඔහු අද සැළකෙන්නේ දකුණු අප්‍රිකාවෙහි මීළග නායකයා ලෙස ය. සුළුතර සුදු වර්ගවාදි පාලකයින්ගෙන් කලු ජාතික බහුතර පාලනයක් සඳහා සාමකාමි ලෙස බලය හුවමාරු කර ගැනීමේ සකච්ජාවන්හි දී අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ නියෝජිත කන්ඩායම මෙහෙය වූ රම්පෝසා නිදහස් වූ මෙන්ඩෙලා පිළිගැනීමේ කමිටුවෙහි නියෝජිතයකු ද විය. අද අප්‍රිකානු ජාතික කොන්‍ග්‍රසය තුළ සිම්බාබ්වේහි අඥාදායකයා වන රොබට් මුගාබේට විරුද්ධ ප්‍රධාන දේශපාලනඥයකු වන්නේ ද රම්පෝසා ය.

ආන්ඩුවේ පාර්ශවකරුවකු වන හෙළ උරුමයට අනුව ඔහු හිටපු ත්‍රස්තවාදියෙකි. මන්ද යත් ඔහු ද උදය ගම්මන්පිල විසින් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කළ නවී පිල්ලේගේ සහකරු මෙන් වර්ගවාදී දකුණු අප්‍රිකානු ආන්ඩුව විසින් ත්‍රස්තවාදියකු ලෙස දෙවරක් ම සිරගත කල නිසා ය. එමෙන්ම නවී පිල්ලේගේ පවුලේ ඉතිහාසය සොයා බැලූ පරිදි ම රම්පෝසාගේ පවුලේ ඉතිහාසය ද ඔවුන් සොයා බලනු ඇත. එවිට හමුවනු ඇත්තේ ඔහු ද සාමාන්‍ය පවුලකින් පැවත එන බව ය. අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය සහ ශ්‍රී ලංකා දෙමළ සන්නද්ධ කන්ඩායම් අතර තිබූ සමීප සබඳතාවය අනුව ද රම්පෝසා මෙකී අන්තවාදී බලවේගයන්ගේ උදහසට ලක් වනවා ඇත.

ඊටත් වඩා වැදගත් කාරණයක් තිබේ‍. ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණයෙහි ප්‍රධාන උපදේශකයකු වන පින්ලන්තයේ හිටපු අගමැති නොබල් ත්‍යාගලාභී මර්ති අහතිසාරී සමඟ  සිරිල් රම්පෝසා එක්ව කටයුතු කර ද තිබේ. ඒ අයර්ලන්ත සාම ගිවිසුමෙහි කොටසක් ලෙස අයර්ලන්ත සමූහාන්ඩුවාදී හමුදාවේ ආයුධ ගබඩා පරීක්ෂකවරුන් වශයෙනි.  එම වාර්තාව ඔවුන් දෙදෙනා ලියූවේ එකට ය. නමුත් ආයුධ ගබඩා ඇත්තේ කොතැනදැයි ඔවුන් හෙළිදරව් කළේ නැත.

අති දක්ෂ සාකච්ජාකරුවකු ලෙස සැළකෙන සිරිල් රම්පෝසාගේ ඉතිහාසය එවැනි ය. දැන් ශ්‍රී ලංකාන්ඩුව කඩේ යවන්නට යන්නේ එවැනි කීර්තිමත් මිනිසෙකි.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේ පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ  සාමය සහ සංහිදියාව ඇති කිරීමට උදව් වීම පිනිස ය. ඒ  පසුගිය නොවැම්බරයේ පැවැති පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක හමුව අවස්ථාවෙහි මහින්ද රාජපක්ෂ දකුණු අප්‍රිකානු සත්‍ය සෙවීමේ කොමිසමෙහි අත්දැකීම් අනුව ශ්‍රී ලංකාවෙහි සංහිදියාව ඇති කිරිමට සහාය වන්නැයි ජනාධිපති ජේකොබ් සූමාගෙන් කල ඉල්ලීම අනුව ය‍. එම ඉල්ලීම අනුව ජනාධිපති සූමා එම කාරිය සඳහා සුදුසුතම පුද්ගලයා වූ රම්පෝසා ශ්‍රී ලංකාව සම්බන්ධ විශේෂ නියෝජිතයා ලෙස පත්  කළේ ය.

ජනාධිපති රාජපක්ෂ එම ඉල්ලීම කරන ලද්දේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් ලෙසිනි. සාමාන්‍යයෙන් මෙවැනි තෙවැනි පාර්ශවීය මැදිහත්වීමක් එය තහවුරු වීමට පෙර ප්‍රකාශයට පත් කරන්නේ නැත. මෙරට මහත් ආන්දෝලනයක් බවට පත් වූ  සටන් විරාමය සහ සාම සාකච්ජා සඳහා වූ නොර්වීජියානු අතරමැදි භූමිකාව ප්‍රසිද්ධියට පත් කරන ලද්දේ තෙවසරක අප්‍රසිද්ධ කාල පරිච්ජේදයකට පසු ය‍. ඊට හේතුව නම් අදාළ පාර්ශවයන් අතර විශ්වාශය ගොඩ නැගීම සඳහා කාලයක් අවශ්‍ය වන නිසා ය.

එසේ නමුත් ජනාධිපති රාජපක්ෂගේ අවශ්‍යතාවය වූයේ සත්‍ය සෙවීමේ දකුණූ අප්‍රිකානු අත්දැකීමෙන් ඉගෙන ගැනීම නොවේ. දකුණු අප්‍රිකානු මැදිහත්වීම පෙන්වා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි ගොඩ නැගෙමින් තිබූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව යටපත් කිරීම ය. උපන් ගෙයිදීම එය ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ ඒ නිසා ය‍.

ඒ අනුව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ නායකතවයෙන් ඇමැතිවරු කන්ඩායමක් ම ජිනීවා මාර්තු සැසිවාරය ඔන්න මෙන්න තියා දකුණූ අප්‍රිකාවේ සත්‍ය සෙවීමේ අත්දැකීම අධ්‍යන සංචාරයකට පියෑඹුහ. එහි අතයට තිබූ දේශපාලන උප්පරවැට්ටිය නිසාම දකුණු අප්‍රිකානු ආන්ඩුව එම සංචාරයෙන් සිය අත් සෝදා ගනිමින් කියා සිටියේ එය හුදෙක් ලංකාන්ඩුවේ අභිමතය පරිදි කැරෙන සංචාරයක් බව යි‍. එවිට බළලා මල්ලෙන් එළියට පැන්නේ ය. 

ජිනීවා මාර්තු සැසිවාරය‍ට පැමිණ සිටි දෙමළ ජාතික සන්ධානයේ මංත්‍රී පිරිසක් ද එකී සන්දර්භය තුළම  දකුණූ අප්‍රිකාවට පියෑඹූහ. දෙමළ ජනයාගේ අභිලාෂයන් තෘප්ත වන  දේශපාලන විසඳුමකින් තොරව ශ්‍රී ලංකාවේ සංහිදියාවේ හෝ සත්‍ය සෙවීමේ ක්‍රියාවළියක් සාර්ථක කර ගත නොහැකි බව දකුණු අප්‍රිකානු රජ‍යේ පිළිගැනීම බව දකුණු අප්‍රිකාව ඔවුන්ට කීවේ ය. මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ජන්දය විමසීමේ දී දකුණු අප්‍රිකාව නිහඩව සිටියේ ද ඒ නිසා ය.

උප ජනාධිපති සිරිල් රම්පෝසාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් රාජපක්ෂ ආන්ඩුව  කළේ කොලේ  වසා ගැසීමකි. ඔහු පැමිණියේ කුමණ කරුණක් සඳහා දැ යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට එම කාරිය වෙනුවෙන් පෙනී සිටීමට ආන්ඩුව සූදානම් වූයේ නැත. ඒ වෙනුවට ආන්ඩුව කළේ සිය ඇමැතිවරුන් ලවා ඔහුගේ දූත මෙහෙවර ලුහු කර දැක්වීම ය.

අමාත්‍ය නිමල් සිරිපාල කීවේ ඔහු පැමිණියේ ගවේෂණයකට නොව ලංකාවේ සිදු වූ දේ සහ සිදුවන දේ ගැන බලා ගෙන යාමට මිස කිසිම නිගමනයක් දීමට නොවන බවයි.

අමාත්‍ය විමල් වීරවංශ කීවේ රම්පෝසාගේ සංචාරය ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට කිසිදු අදාලත්වයක් නොමැති බවයි. ඔහුගේ පක්ෂය දකුණු අප්‍රිකානු මැදිහත්වීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ ය.

නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා කීවේ රම්පෝසා පැමිණියේ දෙරට අතර සබඳතා ඉහළ නැංවීමට බවය. දකුණු අප්‍රිකානු සත්‍ය සෙවීමේ ‍ක්‍රියා පරිපාටිය මෙරට ක්‍රියාත්මක කිරීමට තමන්ට කිසිදු අදහසක් නැතැයි ද ඔහු කියා සිටියේ ය.

උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමැති විග්නේශ්වරන් රම්පෝසා හමුවූවා පමණක් කනාව ඒ  සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවක් ද පැවැත් වීය. ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් කර ගෙන යන පරීක්ෂණයට හෝ 13වන ව්‍යවස්ථා සංසෝධනය ක්‍රියාත්මක කිරීමට දැරෙන ඉන්දියානු ප්‍රයත්නයක්ට සිය ක්‍රියාවළිය හරස් නොවන බව රම්පෝසා ප්‍රකාශ කළේ යැයි විග්නේශ්වරන් ජනමාධ්‍යට ප්‍රකාශ කළේ ය. එපමණක් නොව සිය මූලිකත්වය එම ක්‍රියාදාමයන්ට ඌණ පුරණයක් බව ද රම්පෝසා ප්‍රකාශ කර තිබුණි.

සිරිල් රම්පෝසාගේ දූත මෙහෙවර සම්බන්දයෙන් සාධනීය අදහසක් ඉදිරිපත් කළේ එළෙස දෙමළ ජාතික සන්ධානය පමණි. එහි ප්‍රකාශක පාර්ලිමේන්තු මංත්‍රී සුරේශ්  ප්‍රේමචන්ද්‍රන් කීවේ තමන් දකුණු අප්‍රිකානු මූලිකත්වයට සහාය දක්වන බවයි. එනමුත් ශ්‍රී  ලංකාන්ඩුව ඔහුගේ දුත මෙහෙවර අගය කලේ නැත.

මහත් බලාපොරොත්තු ඇතිව මෙරටට පැමිණි දකුණූ අප්‍රිකානු උප ජනාධිපති රම්පෝසා ආපසු ගියේ සිත් කළකිරීමෙනැයි දේශපාලන තිරුලිපි රචකයින් ලියා තිබුනේ මෙන්න මේ පසුබිම යටතේ ය‍‍. මේ අතර සිය උප ජනාධිපතිවරයා ඇතුළු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට ගියේ ශ්‍රී ලංකාන්ඩුවේ සහ දෙමළ ජාතික සන්ධානයේ ආරාධනයෙන් යැයි ප්‍රකාශයක් නිකුත් කරමින් දකුණු අප්‍රිකානු ආන්ඩුව කියා සිටියේ ය. එමගින් ලංකාන්ඩුව මෙන්ම  දෙමළ ජාතික සන්ධානය සිය මූලිකත්වයේ සම හවුල්කරුවන් බව දකුණු අප්‍රිකාව ප්‍රසිද්ධ කළේ ය.

රම්පෝසා හිස් අතින් ගියේ ය. ශ්‍රී ලංකාව දිගටම පල්ලම් බසී.

ඔහුගේ සංචාරයෙන් දින තුනකට පසු ජනාධිපති රාජපක්ෂ මහ ඇමැති විග්නේශ්වරන්ට දුන් පොරොන්දුවට පිටු පා, උතුරු පළාත් ආන්ඩුකාර ලෙස හිටපු මේජර් ජෙනරල් වන්ද්‍රසිරි යළි පත් කිරීම මගින් උතුරු පළාත් සභාවට තවත් ප්‍රහාරයක් එල්ල කළේ ය.

ඔහුගේ සංචාරයට තෙසතියකට පෙර අලුත්ගම ගිනි තැබූ මුස්ලිම් විරෝධි ප්‍රචන්ඩ ක්‍රියා සාධාරණ කළ ආන්ඩුව ඒ සම්බන්ධයෙන් පත් කරන බවට පොරොන්දු වූ  පරීක්ෂන කොමිසම දැමටමත් හමස් පෙට්ටියේ ය.

එළෙස අලුත්ගම ගිනි තැබීමට පෙළපාලි සඳහා අවසර දී මැරවරයන්ට උල්පන්දම් දුන් පොලීසිය ඉන් මාසයකට පසු යාපනයේ දී පැවැත්වීමට නියමිතව තිබූ සාමකාමී සිංහල දෙමළ ධීවර සහයෝගිතා පා ගමනට විරුද්ධව අධිකරණ නියෝග ලබා ගෙන එය තහනම් කළේ ය.

අලුත්ගම ප්‍රහාරයකයින් ආරක්ෂා කරන ආන්ඩුව ඊට තෙමසකට පෙර අත් අඩංඟුවට ගත් දෙමළ ජන පිරිස් කිසිදු නඩු විභාගයක් නැතිව තවමත් සිර ගත කරගෙන සිටී. එම අත් අඩංඟුවට ගැනීම් ‍පිලිබඳ නිරීක්ෂන වාර්තාවක් සකස් කිරීමට කිලිනොච්චියට ගිය මානව හිමිකම් ක්‍රියාකාරී රුකී ප්‍රනාන්දු සහ මහේසන් පියතුමාට එරෙහිව පණවන ලද කතා කිරීමේ තහංචිය ද කිසිදු නීතිමය පදනමක් නැතිව හතරවන මාසයට පවත්වා ගෙන යමින් සිටී.

ලංකාන්ඩුව සිරිල් රම්පෝසාට ආරාධනය කළේ මේ මර්දනකාරී පිළිවෙත වසන් කරනු පිණිස කඩේ යැවීමට ය.  නමුත් අවසානයේ දී රම්පෝසා දූත මෙහෙවර විසින් ද ලෝකයාට පෙන්නුම් කළේ යුක්තිය සහ සත්‍ය මත පදනම් වූ සාමය සහ සංහිදියාව ඇති කිරීම කකුළෙන් ඇදීමට  රාජපක්ෂවරුන් දක්වන කුප්‍රකට ඇල්මයි.