සමසෞඛ්‍ය පාඨමාලා

| අනුර දිසානායක
ස්ථාවර නියෝග 23/2 යටතේ නගනු ලබන ප‍්‍රශ්නය - 2014.05.06

සම සෞඛ්‍ය විද්‍යාපීඨ සිසුන්ගේ පාඨමාලා කාලය වසර 03ක් දක්වා අඩු කිරීම නිසා ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සිසුන් තුළ ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්වය පිළිබඳව මේ ගරු සභාවේ අවධානය යොමු කරවමි.

කප්පාදු කරන ලද තම පාඨමාලාව වසර හතර දක්වා යළි ලබාදෙන ලෙස ඉල්ලා සමසෞඛ්‍ය විද්‍යා උපාධිය හදාරණ සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ අරගලයට මේ වනවිට දින 135ක් ගතවී තිබෙනවා. ජනතාවගේ සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට නම් මෙවැනි ප‍්‍රශ්න කඩිනමින් විසඳිය යුතු වුවත් මේ ප‍්‍රශ්නය විසඳීමට මැදිහත් විය යුතු සෞඛ්‍ය අමාත්‍යංශයත් උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් ප‍්‍රශ්නය තව තවත් ව්‍යාකූල වනතුරු සිටිනවා විනා එය විසඳීමට ක‍්‍රියාකරන බවක් පෙන්නුම් කරන්නේ නෑ. 

දියුණු සෞඛ්‍ය සේවාවක් බිහි කිරීමට නම් සෞඛ්‍ය සේවාවේ සියළුම අංශවල සේවයේ නියුතු පිරිස් දැනුමෙන් පරිපූර්ණ කිරීම අත්‍යවශ්‍ය බව අපි කවුරුත් පිළිගන්නා සත්‍යයක්. ඒ අනුව වෛද්‍ය රසායනාගාර විද්‍යා, ඖෂධවේදී, විකිරණවේදී, භෞත චිකිත්සක හා හෙද උපාධි පාඨමාලා සඳහා සම සෞඛ්‍ය උපාධි පිරිනැමීම ආරම්භ කිරීම සෞඛ්‍ය සේවාවේ ඉදිරිගාමී පියවරක්. 2007 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයක් වෙනමම ආරම්භ කරනු ලැබූ අතර කොළඹ, ශ‍්‍රී ජයවර්ධනපුර, රුහුණ, යාපනය හා නැගෙනහිර විශ්වවිද්‍යාලයන්ට අනුබද්ධව සම සෞඛ්‍ය උපාධි පාඨමාලා පවත්වාගෙන යනු ලබනවා. 

සිවු අවුරුදු උපාධි පාඨමාලාවක් ලෙස ආරම්භ කළ මෙය 2009/2010 විශ්වවිද්‍යාල ප‍්‍රවේශ ශිෂ්‍ය කණ්ඩායමේ සිට තුන් අවුරුදු පාඨමාලාවක් දක්වා කප්පාදු කිරීම දැන් උද්ගතව ඇති අර්බුදයට මූලික හේතුව වී තිබෙනවා. 2007 වසරේ අග භාගයේදී පේරාදෙණිය හා මහනුවර ශික්‍ෂණ රෝහල්වල සම සෞඛ්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සම්බන්ධ ගැටළුවක් මත ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් පෙත්සමක් ගොණුකරනු ලැබූ අතර 2009.06.01 ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සමසෞඛ්‍ය උපාධි පාඨමාලාවට මීළඟ ශිෂ්‍ය කණ්ඩායම් බඳවා ගැනීමේදී සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ අදාල පාර්ශවයන් සමග එකඟතාවයකට එළඹිය යුතු බවත් ඒ වන විට බඳවාගෙන තිබූ ශිෂ්‍ය කණ්ඩායම්වලට සායනික පුහුණුව කුරුණෑගල ශික්‍ෂණ රෝහලෙන් ලබාදිය යුතු බවත් නියෝගකර තිබෙනවා. 

2009/2010 ශිෂ්‍ය කණ්ඩායමේ සිට සමසෞඛ්‍ය උපාධි පාඨමාලාව තුන් අවුරුදු පාඨමාලාවක් බවට පත්වන්නේ ඉන් අනරතුරුව නීතිපතිවරයා මැදිහත්ව පැවැත්වූ සාකච්ඡුාවලින් පසුවයි. තුන්වන වසර අවසානයේ තෝරාගත් සිසුන්ට පමණක් සිවු අවුරුදු විශේෂවේදී උපාධියක් ලබාදීමට විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙනවා. 

මේ වනවිටත් සමසෞඛ්‍ය උපාධි සිවු අවුරුදු පාඨමාලා විවෘත විශ්වවිද්‍යාලය මගින් හා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය මගින් මුදලට ලබාගත හැකිවී තිබෙනවා. පේරාදෙණිය ඇතුළු ඉහත කී විශ්වවිද්‍යාලවල සමසෞඛ්‍ය උපාධි පාඨමාලා වසර තුන දක්වා අඩු කිරීමට බලපෑම් කරන සෞඛ්‍ය සේවයේම පාර්ශවයන් එම සිවු අවුරුදු පාඨමාලාවම මුදලට විකිණීම ගැන මුනිවත රැුකීම පුදුමයට කරුණක්. පේරාදෙණිය සම සෞඛ්‍ය පීඨයේ සිසුන්ට හැර අනෙක් විශ්වවිද්‍යාලවල එම පාඨමාලා හදාරණ සිසුන්ට රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා ගැටළු පැනනැගී නැති බවද සඳහන් කළ යුතුයි.

උසස් පෙළ ජීවවිද්‍යා අංශයෙන් ඉහළින් සමත්ව සමසෞඛ්‍ය උපාධි පාඨමාලාව හැදෑරීමට විශ්වවිද්‍යාලයට පැමිණෙන අපේ රටේ දුවා දරුවන්ට මෙම පාඨමාලා කප්පාදුව නිසා බලවත් අසාධාරණයක් ඇතිව තිබෙනවා. ලෝකයේ රටවල් තුළ උසස් අධ්‍යාපනයේ පාඨමාලා තවදුරටත් දීර්ඝ කරමින් තිබියදී ලබාදුන් සිවු අවුරුදු පාඨමාලාවත් කප්පාදු කිරීම ශෝචනීය තත්වයක්. මෙමගින් අපේ රටේ සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයත් උසස් අධ්‍යාපනයත් ඉදිරියට යනවා වෙනුවට අගාධයට යාම පෙන්නුම් කරනවා. 

මෙම තත්වය තුළ පැනනගින පහත ගැටලූවලට සෞඛ්‍ය අමාත්‍යවරයාත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් වෙන වෙනම මෙම සභාව හමුවේ පිළිතුරු ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරනවා.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් 

01. සම සෞඛ්‍ය විද්‍යා පාඨමාලාව වසර හතරක කාලයක් සඳහා නිර්දේශ කරනු ලැබූයේ කවර විද්වත් මණ්ඩලයක් විසින්ද ඒ සඳහා සැලකිල්ලට ගන්නා ලද නිර්ණායක කවරේද?
02. එම පාඨමාලාව තුන් අවුරුදු පාඨමාලාවක් දක්වා කප්පාදු කිරීමට තීරණය කළේ කවර විද්වත් මණ්ඩලයක් විසින්ද?  ඒ සඳහා සැලකිල්ලට ගන්නා ලද නිර්ණායක කවරේද?
03. පාඨමාලාව වසරකින් අඩු කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ලබා දී තිබේද.
04. මෙම පාඨමාලා කප්පාදුව නිසා සම සෞඛ්‍ය උපාධි හදාරණ සිසුන්ට අසාධාරණයක් සිදුව ඇති බව පිළිගන්නේද ?

සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් 

01. සම සෞඛ්‍ය සිසුන් සඳහා රජයේ රෝහල් වල සායනික පුහුණුව ලබා දීමට විරුද්ධ පාර්ශයන් කවරේද ? ඒ කවර හේතු මතද ?
02. විවෘත විශ්ව විද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ සම සෞඛ්‍ය උපාධි පාඨමාලා සඳහා සායනික පුහුණුව ලබා දෙන්නේ කවර රෝහල් වලද?
03. සමසෞඛ්‍ය පාඨමාලාවන් සිව්වසරක පාඨමාලාවක් විය යුතුබව පිළිගන්නේද?