අන්තර් ජාතික පරීක්ෂණය මන්ද, කුමක්ද, කෙළෙස ද යත් ....

| සුනන්ද දේශප්‍රිය

2014 මාර්තු 27දා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්  නව කාල පරිච්ජේදයක් ඇරඹුණි. එනම්   ශ්‍රී ලංකාවේ පශ්චාත් ජිනීවා කාල පරිච්ජේදය යි.  මෙම පශ්චාත් ජිනීවා කාල පරිච්ජේයේ මූලික ලකුණ වනු ඇත්තේ  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව අන්තර් ජාතික වශයෙන් විමර්ශනයට ලක් වීමයි. එය සිදු කරුණු ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. එවැනි විමර්ශණයක් සඳහා ඊට වඩා උසස් වෙනත් ආයතනයක් ලොව නැත.  ලෝකයේ රටවල් සම්බන්ධයෙන් මෙවැනි පරීක්ෂන පැවැත්වෙන්නේ අතිශය විශේෂ තත්ත්වයන් යටටත් පමණි.

ශ්‍රී ලංකාවේ ජිනීවා කාල පරිච්ජේදය වසර ගණනාවන්ම ඈතට දිවෙන නමුත් එහි තීරණාත්මක ආරම්භක මංසන්ධිය 2009 වර්ශය යි. ඒ එම  වර්ශයේ මැයි අග දී, යුරෝපා සංගමය විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව නිසා ය.  මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් වගවීම ඉල්ලා සිටි ප්‍රථම යෝජනාව එය යි.

එම  යෝජනාවෙහි 12වන වගන්තියෙන් මෙසේ කියැවුනි: වරදට දඩුවම් නොලබා සිටීම ( දන්ඩ මුක්තිය) අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කරන කවුන්සිලය, මානව හිමිකම් සහ අන්තර් ජාතික මානුෂීය නීතිය කෙළෙසීම පිළිබඳව කැරෙන සියළු චෝදනා ...අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂා කොට වරදකරුවන්ට දඩුවම් පමුණූවන ලෙසත් ඉදිරියට එවැනි අපරාධයන් සිදුවීම වැළක්වීමට ප්‍රයත්නයන් ඉහළ නංවන ශ්‍රී ලංකාන්ඩුවෙන් ඉල්ලා  සිටී.

එම යෝජනාවට විරුද්ධ වී ඒ වෙනුවට ශ්‍රී ලංකාන්ඩුවේ මූලිකත්වයෙන් සම්මත කරන ලද යෝජනාවෙහි යුද සමයෙහි සිදුවූ බවට ඒ වන විටත් චෝදනා නැගී තිබූ කවර හෝ මානව හිමිකම් කෙළෛසීමක් ගැන පරීක්ෂා කර අපරාධකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලීමක් හෝ සපථ කිරීමක්  තිබුණේ නැත.  

යුද්ධය අවසාන විසඳුම නොවන බවත්  දේශපාලන විසඳුමක් සපයන බවට ජනාධිපති රාජපක්ෂ  විසින් කරන ලද ප්‍රකාශය ප්‍රසංශාවට ලක් කළ  එම යෝජනාව 13 වන සංසෝධනය ක්‍රියාත්මක කරන බවට සහතිකයක් දුන්නේ ය.

පස් වසරට  පසු 2014 මාර්ත 27 දා එම මානව හිමිකම් කවුන්සිලය ම සම්මත කළ යෝජනාවෙහි  2009 වසරේ දී  ශ්‍රී ලංකා රජය විරුද්ධ වූ යුරෝපා සංගමයේ යෝජනාවෙහි තිබූ වගවීම පිළිබද ‍ජේදය වඩාත් පුළුල් සහ නිශ්චිත ලෙස ඇතුලත් වී තිබේ.

මහා පරිමාණයෙන් මානව හිමිකම් කෙළෙසීම ශ්‍රී ලංකාව පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ දේශපාලන දුරාචාරයේ කොටසක් බවට පත් වන්නේ 1971 සිට ය. එසේ නමුත් එළෙස 1971 සහ 1988 1990 සමයන්හි  සිදුවූ දරුණූ මානව හිමිකම් කෙළෙසීම් වැලිතලාවෙන් වැසී ගියේ ය.  කැරලිකරුවන් විසින් ද රාජ්‍ය හමුදා විසින් ද කරන ලද මනුෂ්‍ය වර්ගයාට එ‍රෙහි අපරාධ විමර්ශනයට ලක් කොට ඉන් උගත යුතු පාඩම් සමාජ ගත කිරීමක් සිදු කෙරුනේ ම නැත. සිරගත කරන ලද්දේ කැරලි පමණි. ඒ දහස් ගණනින් ඝාතනය කිරීමට අමතරව ය.  ඒ වෙනුවට සිදු වූයේ  යුද්ධයේ සෑම පාර්ශවයක් විසින් ම කරන ලද මිනිස් ඝාතන දඩුවම් නොලබන වීර ක්‍රියා බවට පත් වීමයි.  සිවිල් යුද්ධයක් වැනි අභ්‍යන්තර සන්නද්ධ ගැටුමක් මර්ධනය කිරීමේ දී ඹ්නෑම අපරාධයක් එනම් සිය දහස් ගණනින් ඝාතනය කිරීම වුව සාධාරණය යන්න ශ්‍රී ලාංකික රාජ්‍ය තුල මුල් බැස ගත්තේ ය. දකුණූ ශ්‍රි ලංකාවේ ජීවත්වන සිංහලයින් වන ශ්‍රී ලංකික රාජ්‍යයේ ඒ මාරක අලුගෝසු හැසිරීම 1988 1990 සමයෙහි ඇස් පනා පිට නොදුටුවෙමු ද?

පශ්චාත් ජිනීවා කාල පරිච්ජේදය යනු ශ්‍රී ලාංකික රාජ්‍ය‍ මර්ධනයේ  මෙම නිදන්ගත අපරාධකාරී හැසිරීම අන්තර් ජාතික ගවේෂනයට ලක්වන මොහොතයි. එය සංකේතාත්මක 1971  සහ 1988 -1990 වසරයන්හි රාජ්‍ය හමුදා අතින් ඝාතනයට ලක් වූ සිංහළ තරුණ තරුණියන් වෙනුවෙන් ද සංකේතාත්තමකව යුක්තිය ඉටු වීමකි.

එල්ටීටීඊය සහ ශ්‍රී ලංකා රාජ්‍ය අතර වූ  අවසාන යුද්ධයෙහි දී  එවැනි මිනිස් ඝාතන සිදුවන්නට ඇති පරිමාව 1988 1990 වසරයන් හි සිංහල තරුණ තරුණියන්ගේ හිස නැති මළ සිරුරු සහ සිරුරු නැති හිස් ප්‍රදර්ශණය කරන ලද අකාරය මතකයට නංවා ගැනීමෙන් පමණක් ම වුව සිතා ගත හැකි ය.  එසේ මනංකල්පිත සිතීමකට ඉඩ නොතබා දැන් ඉතිහාසය හමුවේ යුද්දයේ නාමයෙන් දෙපාර්ශවය විසින් ම කරන ලද මනුෂත්වයට එරෙහි අපරාධ සම්බන්ධ සාක්ෂි ගොඩ ගැසෙමින් තිබේ.

පසුගිය 26 වන බදාදා ශ්‍රී ලංකාවේ යුද සමයෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර් ජාතික පරික්ෂනයක් අත්‍යවශය බව අවධාරණය කරන සිය වාර්තාව මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ඉදිරිපත් කරමින් මහ කොමසාරිස් නවී පිල්ලේ මෙසේ කීවේ ය. " යුද්ධාවසානයෙන් පස් වසරක් ගත වී ඇති මෙම අවස්ථාවෙහි මාකව හිමිකම් කවුන්සිලය, දහස් ගණනාවක් සිවිල් ජනයා, මරණයට තුවාල ලැබූවන් සහ අතුරුදහන්වූවන් බවට පත් කරමින්  ආන්ඩුව සහ එල්ටීටීඊ ය විසින් කරන ලදැයි චෝදනා එල්ල වී ඇති මානව හිමිකම් කෙලෙසීම්හි විශාලත්වය සහ ගැඹුර යළි සිහි කැඳවා ගැනීම වැදගත් ය. වින්දිතයින්ගේ  සහ දිවි ගලවා ගත්තවුන්ගේ වේදනාවන් සහ චිත්ත පීඩාවන් ආමන්ත්‍රණය කිරීමට අසමත්වීම  විසින් රාජ්‍යය සහ සංහිදියාව කෙරෙහි ඇති විශ්වාශය බිඳ වැටෙයි.''

ඇය ඊට මෙසේ ද එක් කළා ය: ''නව සාක්ෂි ඉස්මතු වෙමින් තිබේ. ඔව්හු අන්තර් ජාතික පරීක්ෂනයක් හමුවේ සාක්ෂි දීමට කැමැත්ත පළ කරති.''


මහ කොමසාරිස්වරියගේ වාර්තාව ද කවුන්සිලය හමුවෙහි ඉදිරිපත්ව ඇති  ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට ද සහාය පළ කරමින් අදහස් දැක් වූ බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සහ රාජ්‍ය නොවන සංවිධාන  අසා සිටි එක් ප්‍රශ්ණයක් වූයේ  යුද්ධාවසානයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදුව ඇත්තේ කුමක් ද යනු ය‍. 18 වන සංසෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ජනාධිපතිගේ කොමිෂන් සභා බවට පත් කොට ඇති, දෝශාභියෝගයකින් අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කොට අධිකරණ ස්වාධීනත්වය කෙළෙසා ඇති රටක ස්වාධීන මානව හිමිකම් පරීක්ෂණයකට ඇති අවකාශය කුමක්දැයි ඔව්හු ප්‍රශ්ණ කළහ.

2005 2009 යුද සමය ඊට පෙර ශ්‍රී ලංකාවේ පැවැති භීෂණ සමයන්ගෙන් තීරණාත්මකව වෙනස් බවට එමට සාක්ෂි මෙම මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර ඉදිරිපත් විය.  ඉන් එකක් නම් මෙම යුද්ධය සිදු වූයේ දිර්ඝ කාලීන අසමානතාවයන්ට මුහුණ දී  සිටින වාර්ගික සුලුතරයක් ජීවත් වන භූමියක එම ජනයාගෙන් බිහි වූ සන්නද්ධ ව්‍යාපාරයකට එරෙහිව වීමය. යුද්ධයට වාර්ගික අන්තර්ගතයක් තිබූ අතර දෙමළ ජනයාගේ අරගලය ඒ වනවිටත් අන්තර් ජාතික මානයක් ගෙන තිබුණි.  සැසිවාරය පුරා සියයකට අධික දෙමළ ජාතික පිරිස් සිය තානාපති අංශ හමුව වෙමින් කරුණු දැක්වූහ. ඒ අතර දෙමළ ජාතික සන්ධානය කැපි පෙනුනි. මාවෙයි සේනාධිරාජා, එම්. සමන්දිරන්, සුරේශ් ප්‍රේමචන්ද්‍රන්, අඩෙයිකල නාදන් සහ ශ්‍රී ධරන් යන පාර්ලිමේන්තු මංත්‍රීවරු සැසි වාරයට පැමිණියහ. මහ කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකා වාර්තාව පිළබඳ සාකච්ජාව අවසානයෙහි මාවෙයි සේනාධිරාජාගේ නායකත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත් වූ ඔව්හු ඉදිරිපත්ව ඇති යෝජනාවට දෙමළ ජාතික සන්ධානය සහාය දක්වන බවත් ඊට පක්ෂව ජන්දය පාවිච්චි කරන සේ සාමාජික රටවලින් ඉල්ලා සිටින බවත් කියා සිටියහ.  සැසිවාරය අතරතුර දෙමළ ජාතික පෙරමුණෙහි මැදිහත් වීම යෝජනාවට පක්ෂ ප්‍රධාන සාධකයක් බවට පත් වී තිබුණි. එහි නායකත්වය පා.ම. සුමන්දිරන් අත තිබුණි.

එසේ නමුත්  යෝජනාව වැඩකට නැති එකකැයි කී දෙමළ සංවිධාන සහ දේශපාලනඥයින් ද වූහ. සැසිවාරය අමතා රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කරමින් කතා කළ දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් යෝජනාවට ජන්දය දෙන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියේ නැත. ඔහු සැසිවාරය හමූයේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට අවශය වන්නේ අන්තර් ජාතික නිරීක්ෂනය යටතේ අන්තර්වාර පාලනයක් බව යි. ඔහු මෙම ලියුම්කරු සමඟ කියා සිටියේ මෙම යෝජනාව ඇමෙරිකානු භූ දේශපාලන උවමානාව මත සිදුවන්නක් මිස ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් ඉදිරිපත් නොවන එකක් බවයි. සැසිවාරය අතරතුර ජිනීවා හි දේශණ මාලාවක් පැවැත් වූ සාකච්ජාව දී ‍‍ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය ද ශ්‍රී ලංකාවේ දෙමළ ජන වර්ග සංහාරයට වග කිය යුතු බව දෙමළ සංවිධාන ගණනාවක් කියා සිටියහ.

71 සහ 88-90 භීෂන  සමයන් හිදී  නොතිබූ වසර 2005 වන විට වර්ධනය වී තිබූ තවත් සාධකයක් වූයේ  දේශීය අරගලයක දී වුව අන්තර් ජාතික මානුෂීය නීතිය කෙළෙසෙන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් විය යුතු බවට පුළුල් පිළිගැනීමක් ඇතිව තිබීමයි. මෙම සාධකයේ බලපෑම යුද්ධයේ අවසන් සමයෙහි තදින්ම කැපී පෙනුනි.  මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරයෙහි ශ්‍රී ලංකාව පිළබඳ කෙරුණූ බොහෝ මැදිහත්වීම්හි යුද්ධයේ අවසන් සමය අරභයා එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු  වගකීම යළි යළි අවධාරණය විය. ශ්‍රී ලංකාවේ යුද්ධයෙහි සිවිල් ජනයා ආරක්ෂා කිරීමේ වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අතහැර දමන ලද බව පෙන්වා දෙන දිර්ඝ වාර්තාවක් ද මහ ලේකම් බැන් කි-මූන් වෙත පිළිගන්වා තිබේ.

අනෙත් අතට මෙම යුද්ධය සිදු වූයේ පෙර අවස්ථාවන්හිදී මෙන් නොව සාක්ෂි තොග ගනනින් රූ ගත කෙරුණූ ඩිජීටල් කැමරා ඉදිරියේ ය. අන්තර් ජාලය හරහා මෙම යුද්ධයේ සජීවී පිටපත් ක්ෂනයකින් ලොව පුරා බෙදා හැරීමට හැකියාව පැතිරී තිබුණි. එපමණක් නොව චන්ද්‍රිකා තාක්ෂනය මගින් රූ ගත කරන ලද යුද බිමේ ව්‍යසසනය දැක්වෙන සාක්ෂි පවා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනටමත් ඉදිරිපත්ව තිබේ.

අත් අඩංඟුවට පත් කැරලිකරුවන් ශ්‍රී ලංකා හමුදා විසින් වෙඩි තබා මරා දමනු නොදුටුව ද අප එම මළ සිරුරු සිය ගණනින් 88 -90 සමයෙහි දුටුවෙමු. දැන් මෙම යුද්ධයේ අවසන් සමයෙහි එළෙස වෙඩි තබා ඝාතනය කරනු දැක්වෙන වීඩියෝ සාක්ෂි එජා සංවිධානය හමුවෙහි තිබේ. මෙම සැසිවාරය හමුවෙහි ද එවැනි සාක්ෂි ඉදිරපත් කරන ලද්දේ චැනල් 4 රූපවාහිනී මාධ්‍යවේදී කැළම් මැක්රේ විසිනි. වෙඩි තබා ඝාතනය කරන ලද එල්ටීටීඊ සෙබළියන් නිරැවත් කොට මළ සිරුරු ලිංගික වධ හිංසාවන්ට ලක්කරනු එම වීඩියෝ මගින් පැහැදිළිව දැක්වේ.

1971 දී අත් අඩංගුවට පත් ජවිපෙ ක්‍රියාකාරිනයන් නිරුවත් කොට  ලිංගික අවයව තුළට සෝඩා බොතල් යැවූ පොලීසිය ඇතුළු රාජ්‍ය හමුදා පිරිස්  යුද්ධයේ අවසන් සමය වන විට එල්ටීටීඊ සෙබළියන්ගේ මළ සිරුරු පවා ලිංගික අපහරණයන්ට ලක් කිරීම වරදට දඩුවම් නොකිරීමේ විපායක් බව සැසිවාරය අතරතුර පැවැති සමාන්තර රුස්විමක දී පෙන්වා දෙන ලද්දේ සිංහල ජාතික මානව හිමිකම් ක්‍රියාධරයෙකි.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ දෙපාර්ශවයම විසින් සිදු කරන ලද අපරාධ වසං කළ නොහැකි සන්දර්භය එය යි. එනම් යුද්ධයෙහි තිබූ වාර්ගික ස්වරෑපය, ‍අභ්‍යන්තර යුද ගැටුම්හි දී සිවිල් ජනයා ආරක්ෂා කිරීම පිණිස එජා සංවිධානය සතු වගකීම සහ අයිතිය මෙන්ම යුද්ධයේ අපරාධ සටහන් කෙරුණූ නවීන තාක්ෂනය යනාදීය යි.  

2009 මැයි මාසයෙහි මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ඉදිරිපත් වූ යෝජනාවෙන් ඉල්ලා සිටියේ යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම් ගැන පිළිගත හැකි දේශීය පරීක්ෂණයකි. ශ්‍රී ලංකාන්ඩුව එයට සාධනීය ප්‍රතිචාරයක් දැක් වූයේ නැත. එනමුත් හුදු ප්‍රතික්ෂේප කිරීමක් විසින් යථාර්තයයටපත් නොවෙයි. දැන් මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන යෝජනාව විසින් පෙන්නුම් කරන ඇත්ත එය යි.   

ප්‍රායෝගික අර්ථයෙන් මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් යෝජිත පරීක්ෂණය අන්තර් ජාතික පරීක්ෂණයක් නොවන්නේ යැයි කීම බොළද  තර්කයකි. දේශීය නොවන්නේ නම් එය අන්තර් ජාතික ය. මෙම පරීක්ෂනය සඳහා වසරක කාලයක් ලැබෙනු ඇත.  ඊට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතියින් මෙන්ම අවශේෂ විශේෂඥ පිරිස් ද සහාය වනු ඇත. බොහෝ දුරට මෙයට පෙර මෙවැනි පරීක්ෂන මෙහෙයවා ඇති ශ්‍රී ලංකාව පිළිබඳ දැනුමක් ද ඇති විද්වතකු එහි ප්‍රධානියා ලෙස පත් කැරෙනු ඇතැයි අපේක්ෂා කැරේ.

අන්තර් ජාතික පරීක්ෂනයක් ලබා ගැනීමේ විවිධ ක්‍රියාකාරිත්වයන්ට  ප්‍රබල දායකත්වයක් ලබා දුන් ආචාර්‍ය නිමල්කා ප්‍රනාන්දු වත්මන් සැසි වාරයේ කැපී පෙනෙන සිවිල් සමාජ භූමිකාවක් නියෝජනය කළා ය. ඇය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් අළලා පැවැත් වූ සමාන්තර රැස්වීම් දෙකක මුළසුන හෙබ වූ අතර දෙවතාවක් මානව හිමිකම් කවුන්සිලය අමතා අන්තර් ජාතික පරීක්ෂණයක අවශ්‍යතාවය අවධාරණය කළා ය. මෙම යෝජනාව විසින් ශ්‍රී ලංකාන්ඩුවට මහත් බලපෑමක් එල්ලවනු ඇති බව කියා සිටින නිමල්කා ප්‍රනාන්දු යෝජනාව සමඟ සහයෝගයෙන් කටයුතු නොකළ හොත් බරපතල ප්‍රතිවිපාක ඇති වනු ඇතැයි අනතුරු හඟවයි. ඇයට අනුව ඉන් එක් විපාකයක් විය හැක්කේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාව තව දුරටත් හුදකලා වීමය. '' යෝජනාව උතුරට විතරක් බලපාන එකක් නෙවෙයි. දකුණේ මානව හිමිකම් රැක ගැනීමටත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කර ගැනීමටත් එය ඉවහල් වේවි'' යැයි ඇය කිය යි.

මෙම අන්තර් ජාතික පරීක්ෂනය විසින් සළකා බැලෙන කාල පරිච්ජේදය ලෙස ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් සහ සංහිදියා කොමිසම විමසා බැලූ කාල පරිච්ජේදයම ඇතුළත් කර තිබේ. ‍උගත් පාඩම්  කොමිසම එහි නෛතික සීමාව අභිබවා තත්කාලීන මානව හිමිකම් කෙළෙසීම් ද විමර්ෂනයට ලක් කළා ය. එනයින් ඉක්මනින්ම පත් කැරෙනු ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ ‍එක්සත් ජාතීන්ගේ කොමිසම 2002 පෙරවාරි මාසයේ සිට 2011 අවසානය දක්වා කාලය විමර්ශණයට කිරීමට බොහෝ දුරට ම ඉඩ ඇත.

දැනටමත් ඉදිරිපත්ව ඇති සාක්ෂි බලගතු ය. චැනල් 4 වාර්තාමය චිත්‍රපට ඒ අතර කැපි ‍පෙනෙයි. ලිංගික වධහිංසා පිළිබඳ හියුමන් රයිට්ස් වොච්, යස්මින් සූකා සහ දේශීය සංවිධාන විසින්  දැනටමත් සාක්ෂි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබේ. ත්‍රි,මලයේ සිසුන් 05 දෙනා ඝාතනය කිරීම, මූතූර්හි සහන සේවකයින් 13 දෙනා ඝාතනය කිරීම යනාදී නිශ්චිත අපරාධයන් සම්බන්ධයෙන් ද දැනටමත් විස්තීර්ණ වාර්තා සකස් වී තිබේ. යුද සමයෙහි වන්නියෙහි සේවය කල ජේෂ්ඨතම වෛද්‍යවරයා වන වර්ධරාජා සැසිවාරය අතරතුර පැවැති සමාන්තර රුස්වීමක දී තමා අන්තර් ජාතික කොමිසමක් හමුවෙහි සාක්ෂි සූදානම් බව කියා සිටයේ ය.  ඔහුගේ සාක්ෂිය ප්‍රබල එකක් වනු නොඅනුමාන ය. මහ ලේකම් බැ කි-මූන් විසින් පත් කළ දරැස්මාන් කමිටුව හමුවෙහි ඉදිරිපත් වූ සාක්ෂි ද මෙම පරීක්ෂණයට දායක කර ගනු ඇත. නොනිල ආරංචි මාර්ග කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවෙහි සිටි පිරිස් ද සාක්ෂිකරුවන් අතර සිටිය හැකි බවයි.

අනෙක් අතට ළමා සොල්දුදවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු එවකට එල්ටීටීඊ නායකයන් නම් කළ එක්සත් ජාතීන්ගේ වාර්තා ද තිබේ. දකුණු බඳ පෙදෙස් හි මගී බස්රථවල ඇටවූ බෝම්බ මගින් සිය ගණන් සිවිල් ජනයා ඝාතනය කිරීම් ද පරීක්ෂනයට ලක් වනු ඇත. වන්නි යුද බිමෙහි සිවිල් ජනයා යුද පළිහක් වශයෙන් එල්ටීටීඊය විසින් භාවිත කිරීම ද යුද අපරාධයකි.

මෙවැනි පරීක්ෂනයක මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ යුද අපරාධ පිළිබඳ වාර්තාවක් සකස් කිරීම ම නොවේ. එම අපරාධයන්ට වගකිව යුතු පුද්ගලයින් කව්රුන්දැයි සාක්ෂි ඇතිව නිගමනය කිරීම ය‍.මෙහිදී චේන් ඔප් ක්මාන්ඩ් එනම් අණ දීමේ දාමය යන න්‍යාය ද භාවිතයට ගත හැකි ය. එනම් නිශ්චිත යුද අපරාධයක් සම්බන්ධයෙන් අණ දීම සිදුව ඇත්තේ කවරකුගෙන් ද යන්න න්‍යයාත්මකව විමසා බැලීම යි.

මෙම අන්තර් ජාතික පරීක්ෂණයෙන් පසු එහි පසු විපරම් ක්‍රියාවලියක් ඇති වීමට ද නියමිත ය. පරීක්ෂන පැවැත්වෙනු ඇත්තේ සහ එය නිගමන කරා එළඹෙනු ඇත්තේ කෙළෙස ද යන්නත් කවරාකාර පසු විපරමක් ඇති විය හැකි ද යන්නත් පෙන්නුම් කැරෙන පූර්වා දර්ශ ගනනාවක් මානව හිමිකම් කවුන්සිලයෙහි තිබේ. ඒ පිළබදව අන් අවස්ථාවක දී සාකච්ජා කරමු.