යළිත් බැද්දේගමට





අමිල ගුණරත්න 

ලෙනාර්ඩ් වූල්ෆ්  විසින් බැද්දේගම නවකතාව ලියන්නේ 1904 - 1911 අතර කාලයේ නූගත්කම , දරිද්‍රතාවය , සමාජ අසාධාරනය , මිත්‍යා අන්ධකාරය විසින් සැහැසි ලෙසවෙලාගත් ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල වැඩ කිරීමෙන් ලැබූ අත්දැකීම් ඇසුරෙනි.   බැද්දේගම  නව කතාවේ  ප්‍රධාන චරිතය වන සිලිඳුව ආරච්චි මෙන්ම ප්‍රනාන්දු යන කූට වෙලෙන්දා විසින් ද සූරාකනු ලබයි. ඔහුව ආධ්‍යාත්මික වශයෙන් සූරාකන්නේ ගමේ ගුරුකම් කරන වෙදා විසිනි. නූගත්කමත් මෝහ අන්ධකාරයත් නිසා සිලිඳු වෙදා විසින් තමාට යකෙකු මගින් වින කල බවට දැඩි ලෙස විස්වාස කිරීම නිසා ගිලන් වෙයි.  අවසානයේදී සිලිඳු සහ ඔහුගේ දරු පවුල ගමත් සමග විනාශය කරා ඇදී යයි.

ලෙනාර්ඩ් වූල්ෆ්  විසින් බැද්දේගම නවකතාව ලියන සමයේ ලංකාවේ පැතිරී ගිය මහා මාර්ග , විදුලිය , ගුවන් විදුලිය​, රූපාවාහිනිය​,  තිබුනේ නැත​. අධ්‍යාපනය සීමා වූයේ ධනවතුන්ට පමණි. ඒ නිසා ගම් වල මිනිසුන් ජීවත් වූයේ මිත්‍යාව නූගත්කම හා දුගීභාවය තුලය​.   

 බැද්දේගම නවකතාව ලියා වසර සියයක් පමණ මේ වන විට ගෙවී තිබේ. නමුත් අපගේ සමාජය තවම නොදියුණුය​. මිත්‍යාව නූගත්කම තවමත් අපගේ ජනතාව හිස මුදුනේ තබාගෙන සිටිති. සමාජය අඳුරෙන් මුදා ගැනීම වෙනුවට උගතුන්, ජනමාධ්‍යවේදීන්, පූජ්‍ය පක්ශය , දේශපාලන නායකත්වය අපව ගෙන යමින් සිටින්නේ  බැද්දේගම වෙතටය​. 

හොරොව්පතාන මොරකෑව සුව උදාන  ගම්මානයේ ඒ රංජනී කුමාරී නම් පාසල් සිසුවියට භූත දෝශයක් වැළඳී ඇති බව කියා ගුරුකම් කරන්නෙකු විසින්  යකා එළවා දැමීම පිණිස  යකඩ බටයක් රත් පැහැවන තුරු රත් කර ඇයගේ යටි පතුල් පුළුස්සා ඇත.  මෙම ගුරුකම් කරන්නා මළපොතේ අකුරක් නොදත් කට්ටන්ඩියෙකු නොව ඉංග්‍රීසි ගුරු උපදේශකයෙකු බව කියවේ. ඉංග්‍රීසි ගුරු උපදේශකයෙකු යනු අද අප සමාජයේ අඩුම ගනනේ ඉංග්‍රීසි පත්තරයක් කියවා තේරුම ගත හැකි පුද්ගලයෙකි. නමුත් මොහු පාසල් දැරියකගේ දෙපා පුළුස්සා බරපතල ළමා අපයෝජනක් සිදු කොට තිබේ. 

අද දිනයේ සිළුමිණ, ලක්බිම​, දිවයින , මව්බිම වැනි පුවත් පත් වල මහා පරිමානයෙන් පළ කරන්නේ ගුරුකම් , හාස්කම්, හදි හූනියම් , විශ්ව ශක්තිය වැනි ප්‍රලාප වේ. මේ පුවත්පත් විසින් අපගේ සමාජය මෝහය කරා ගෙන යමින් සිටිති.  මිත්‍යාව  හා ගුරුකම් පසුපස යන අප සමාජයේ ඉංග්‍රීසි ගුරු උපදේශකයෙකු  ළමයෙකුගේ දෙපා රත් වූ යකඩයක් මගින් පුළුස්සන්නේ මෙවැනි තත්වයක් තුලදීය​. 

 අද දිනයේ ගුරුකම් කරන්නෙකු බව ව්‍යයඞයෙන් කීම පවා සමාජයෙන් බිය​, සැලකිල්ල පමණක් නොව ආදායමක්ද ලබා ගත හැකි මාර්ගයකි. දුර්වල හිත් ඇති පුද්ගලයන් සසල කිරීමට මෙම කපටි ගුරුකම්කාරයෝ හොඳින් දනිති. මේ සඳහා ඉතා හොඳ පරිසරයක් අපගේ පසුගාමී ජනමාධ්‍ය විසින් සකස් කොට දී තිබේ. එවැනි පරිසරයක් තුලදී ගුරුකම් කරන සර් තමාට අණ වින කරන බව සිතා  දැරිය මනසින්  ලෙඩ වීම විශ්මයක් නොවේ. 

නමුත් මෙවැනි බරපතල ළමා අපයෝජනයකදී වූවද කට්ටන්ඩි  ඉංග්‍රීසි ගුරු උපදේශකයාට හරි හැටි නීතිය ක්‍රියාත්මක වී නැත​. මෙම ගුරු උපදේශක ධර්මසිරි ජයලත් නැමැත්තා උතුරු මැද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  රවී විජේගුණවර්ධන සමග තිබෙන මිතුදම උපයෝගී කර ගෙන අධිකරණයෙන් ඇප ලබාගෙන නිදහස්ව ගොසිනි. පොලිසිය විසින් වාර්තාව සකසා තිබෙන්නේද ඉදිරි කාලයේ මෙම අපයෝජකයා ගොඩින් බේරෙන ලෙසටය​.  කට්ටන්ඩි  ඉංග්‍රීසි ගුරු උපදේශකයා තමන්ටද හදි හූනියම් කරයි යන බිය නිසා පොලිස්පති  රවී විජේගුණවර්ධන  විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවේ බර අඩු කොට ධර්මසිරි ජයලත්ට නීතියෙන් බේරී යාමට ඉඩ සැලසුවාදැයි අප නොදනිමු. නමුත් මෙය බරපතල ළමා අපයෝජනයකි. එම නිසා ළමාරක්‍ෂක අධිකාරියේ සභාපති නීතීඥ අනෝමා දිසානායක මෙන්ම පොලිස්පතිවරයාද මේ සම්බන්දයෙන් අන්ධ සහ බිහිරි නොවනු ඇතැයි අප සිතමු. 

 විශ්ව විද්‍යාල උගතුන් , ජනමාධ්‍යවේදීන්, පූජ්‍ය පක්ශය , දේශපාලන නායකත්වය අපව ගෙන යමින් සිටින්නේ  බැද්දේගම  වෙත බව සැබෑය​. නමුත් දුප්පත් අසරණ සිලිඳුලාට සාධාරනය ඉටු කල යුතුය​. 

 (   සිසුවිය පිළිස්සූ  කට්ටන්ඩි  ගුරා විඩියෝ දර්ශනය :  http://www.youtube.com/watch?v=hM1K5Iv-_eo )