විජයග‍්‍රහණය සහ සංහිඳියාව අතර දුර


තවත් විජයග‍්‍රහණයේ සමරුවක් එළැඹෙයි. 2009 මැයි 18වැනිදා යුද්ධය අවසන්කළ බව ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු මේ පැවැත්වෙන්නේ සිව්වැනි විජයග‍්‍රහණයේ සමරුවයි. සමරුව සඳහා මේ දිනවල කොළඹ නගරයේ හදවත් ප‍්‍රදේශයෙහි අතිවිශාල වාහන තදබදයක්ද ඇතිකරමින්, මිනිස් පැය ගණන් අසාධාරණ ලෙස කාදමමින් පෙරපුහුණුවීම් පැවැත්වෙයි. ඒ අතර, රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් විජයග‍්‍රහණයේ වැදගත්කමත් එහි උත්කර්ෂවත්භාවයත් අළලා විවිධාකාර අදහස්, නිර්මාණ පළකැරෙයි. එවැනි පසුබිමක, විජයග‍්‍රහණයේ සැමරුම තවදුරටත් කුමකටදැ’යි ඇසුවහොත් එය නිසැකවම ජාතිද්‍රෝහී, ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස සලකන්නටත්, එසේ අසන්නා ගරහනු ලබන්නටත් හොඳටම ඉඩකඩ තිබේ. එහෙත් අවාසනාවකට මෙන් මේ මොහොතේ කෝටියක් වටිනා ප‍්‍රශ්නයද එයයි. ගෙවුණු වසර හතර තුළ පැවැති සෑම විජයග‍්‍රහණයේ සැමරුමකදීම ආණ්ඩුව විසින් පුන පුනා උත්කර්ෂයට නංවන ලද්දේ සන්නද්ධ හමුදාවන්හි බලපරාක‍්‍රමයයි. එය හැම අතින්ම සමාන වන්නේ කිසියම් රටක් තමන් ආක‍්‍රමණය කරන්නට ආ වෙනත් රටක හමුදාවක් සමග යුද්ධකොට ලත් ජයග‍්‍රහණයක් හෝ වෙනත් රටක් බලහත්කාරයෙන් අල්ලාගැනීමට කරන ලද යුද්ධයක ජයග‍්‍රහණයක් හෝ සැමරීමේ මහා ජයමඟුලකටය.
                    
එහෙත් ලංකා ඉතිහාසයේ එලෙස අන් රාජ්‍යයකට එරෙහි බරපතළ යුද්ධයක්, යුද ජයග‍්‍රහණයක් කිසිදා සිදුවී නැත. සිදුවී ඇත්තේ ලංකාවේම සිංහල -දෙමළ පුරවැසියන්, සහෝදරයන්, දරුවන් විසින් රටේ රාජ්‍ය ප‍්‍රතිපත්තියට හා පාලනයට එරෙහිව කරන ලද සිවිල් අරගල කිහිපයකි. 1971දී, 1989/-90දී, 1983න් පටන්ගෙන 2009 දක්වා වූ ඒ සියලූ අරගල රාජ්‍යයේ ගිනි බලය හා පුද්ගල බලය යොදවා ජයගෙන ඇත්තේය. මගහැරිය නොහැකි සත්‍යය නම්, ඒ ජයග‍්‍රහණයන් සෑම එකකදීම පරාජයට පත්ව ඇත්තෝ, විනාශයට ලක්ව ඇත්තෝ, ඝාතනයට ලක්ව ඇත්තෝ ලංකාවේම සිංහල- දෙමළ සහෝදරයෝ, පුරවැසියෝ බවය. හුදෙක් අවුරුදු හතළිහක කාලයකදී රාජ්‍ය පාලන මොඩලයට එරෙහිව රටේ ජනතාව වෙතින්ම භයංකර කැරලි තුනක් පැනනැගීම අප තේරුම්ගත යුත්තේ විජයග‍්‍රහණයක් ලෙසද? ඛේදවාචකයක් ලෙසද? රටේම පුරවැසියන්ගේ ඒ කැරලි ගිනි බලයෙන් මර්දනය කරන්නට සිදුවීම රටක් ලෙස අප තේරුම්ගත යුත්තේ විජයග‍්‍රහණයක් ලෙසද? ඛේදවාචකයක් ලෙසද? එක් කැරැුල්ලක් පැනනැගී, එය මර්දනය කොට ගතවූ කාලය තුළ එවැනිම කැරැුල්ලක් නැවත ඇතිවීම වළක්වන්නට, මනෝඥ ආකාරයෙන් ක‍්‍රියාත්මක වී ඊළඟ කැරලිවලට හේතු නැතිකරන්නට ජාතියක්, රටක් ලෙස අපට නොහැකිවීම අප තේරුම් ගත යුත්තේ සාඩම්බරයට කාරණයක් ලෙසද? ලජ්ජාවට කාරණයක් ලෙසද?

අප නැවතත් කරමින් සිටින්නේ එයයි. 2009 මැයි 19වැනිදා සටහන් වූයේ රටේ සියලූ දෙනාම එකා මෙන් වගකිව යුතු මහා ඛේදවාචකයක එක් මොහොතක අවසානයයි. ඒ මොහොත තමන් විජයග‍්‍රහණයක් ලැබූ අවස්ථාවක් බව කිසිවකු කියන්නේ නම්, ඒ ගැන සැමරීමට, සව්දිය පිරීමට ඔවුන්ට අයිතියක් තිබේයැ’යි අපි මොහොතකට සිතමු. එහෙත් මේ රට බුද්ධිමත් නායකයන්, ජාතියක් වසන තැනක් නම්, නැවත වාරයක් එවැනි ඛේදවාචකයක් ඇතිවීම වළක්වන්නට වැඩ පටන්ගත යුතුව තිබුණේද ඒ මොහොතේ සිටම නොවේද? ඒ දුරස්වූ ජනවර්ග නැවත එකතු කිරීමේ සංහිඳියාවේ පාලමක් තැනීමට ආරම්භ කරමිනි. එය කරන්නට මුල් පියවර තැබිය යුතුව තිබුණේ තමා ජයග‍්‍රාහකයායැ’යි කියන අය විසින්මය.

එහෙත්, එයින් වසර හතරක් ගෙවෙන මේ මොහොතේදීත් අප කරමින් සිටින්නේ අපේම මිනිසුන් පිරිසක් පරාජයකොට ලත් විජයග‍්‍රහණයක් ගැන අතේ වියදමින් පාරම්බෑම විනා සංහිඳියාව දෙසට එක් පියවරක් හෝ තැබීමක් නොවේ. සංහිඳියාව, සහෝදරත්වය, අන්‍යොන්‍ය විශ්වාසය නැවත ගොඩනගාගැනීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවන් පවා අපි දැනුවත්වම බැහැරකරමින්, නොසලකාහරිමින් සිටිමු. එවැනි අන්ධකාර මාවතක කෙළවරදී නිසැකවම හමුවනු ඇත්තේ සැණකෙලි නොව තව තවත් ඛේදවාචකයන්ය.


රාවය කතු වැකිය