රාජපක්ෂලාව හොල්මන් කරවන අවතාරය - තිසරණී ගුණසේකර

‘‘දාස භාවය ¥රිභූත කිරීමට කෲර පාලකයන් කවදාවත් ඉත සිතින් කැමති නොවෙනු ඇත.’’ - තෝමස් රෙයිනා

රාජපක්ෂලා බිය විය හැකි අවතාරවලින් වඩාත් බිහිසුණු අවතාරය විය හැක්කේ, විපක්ෂයේ සමගියයි.

විදුලි බිලේ මිල ඉහළ දැමීමට එරෙහිව මැයි 15 වැනි දා පැවැත්වීමට නියමිත වූ උද්ඝෝෂණයට එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ දෙකම සහයෝගය දෙන බව දැනගන්නට ලැබුණු විට රාජපක්ෂලා නලියන්ට පටන්ගත්හ. ඉන් පසු සුපුරුදු විජ්ජාවලිය දිග හැරුණි: නොමළ කොටින් ගැන බෙරිහන් දීම්, එන්.ජී. ඕ. සහ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ පිළිබඳ අපබ‍්‍රංස සහ හදිසියේ සංවිධානය කෙරුණු ප‍්‍රති-උද්ඝෝෂණයක් ඊට අයත් විය.


ඒ එක මගඩියක්වත් වැඩ කෙළේ නැත. 15 වැනි දා උද්ඝෝෂණය සාර්ථක විය. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ මේ සහයෝගීතාව දිගටම පවත්වා ගන්නේ නම් සහ වතුකරයේ කම්කරුවන් ද එක් වන්නේ නම්, 21 වැනි දා පැවැත්වීමට නියමිත සංකේත වැඩ වර්ජනයත් මේ ආකාරයෙන්ම සාර්ථක වනු ඇත. මෙතෙක් අඩුවකට පැවති විපක්ෂයේ ජීවයත්, විපක්ෂයේ කොටස් අතරේ පැවතිය යුතු සහයෝගීතාවත්, ඒ ද්විත්ව සාර්ථකත්වයන් මගින් ඊළඟට සම්පාදනය කර දෙනු ඇත.

විදුලි බිල ඉහළ දැමීම, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දරගේවත්, පවිත‍්‍රා වන්නිආරච්චි ඇමතිවරියගේ හෝ මහජන උපයෝගීතා කොමිසමේවත් වැඩක් නොවේ. ඒ අති විශාල මිල ඉහළ දැමීමට පැහැදිළිවම ජනාධිපතිවරයාගේ අනුමැතිය තිබුණි. මහජනයාගෙන් උරාගත හැකි උපරිමය සූරා ගැනීමේ රාජපක්ෂ අවශ්‍යතාව ඒ පසුපස පැවතුණි.

එක උද්ඝෝෂණයක් සහ එක සංකේත වැඩ වර්ජනයක්, ඒවා මොන තරම් සාර්ථක වුවත්, තමන්ගේ බලයට මේ මොහොතේ තර්ජනයක් නොවන බව සහෝදරයෝ දනිති. එහෙත් රාජපක්ෂ ව්‍යාපෘතිය යුගකාරක ය. ඒ නිසා, ඈත අනාගතයකට බලපාන තර්ජනයක් වුව, එක්තරා ආකාරයක හදිසි වැදගත්කමකින් සැළකීමට ඔවුහූ පෙළඹෙති.

ඔවුන්ගේ පවුල් පාලනයේ අඛණ්ඩ පැවැත්ම සඳහා අවශ්‍ය කරන්නේ මලානික වූත්, අසමගියෙන් යුක්ත වූත්, විපක්ෂයකි. එසේ තිබියදී, අළුතෙන් ඇති වන විපක්ෂ සමගියේ මේ දුර්ලභ මොහොත දෙස බලන රාජපක්ෂවරුන්ට ඒ තුළින් තමන්ට අවාසනාවන්ත අනාගතයක බීජ අවස්ථාවක් පෙනේ නම්, එය නිවැරදි ය.

පැවැත්වෙන්නට නියමිත සංකේත වැඩ වර්ජනය අසාර්ථක කරනු වස්, ඉදිරි දින කිහිපය තුළ රාජපක්ෂවරු සිය තුරුම්පු උපරිමයෙන් පාවිච්චි කරනු නියති. එහි දී, විපක්ෂයේ අසමගිය වැපිරීමට ඔවුන් කටයුතු කරාවි. මාධ්‍ය මෙවලම් උපරිමයෙන් භාවිතයට ගනිමින්, ඉලක්කගත මර්දනීය ක‍්‍රියා දියත් කරාවි. ඒ සියල්ලට මුහුණදිය හැකි වෙතොත්, ඉතා වැදගත් සමාජයීය සහ මනෝමය කඩඉමක් පනින්නට විපක්ෂයට හැකි වනු ඇත.

මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ යැයි සිංහල කියමනක් ඇත. ලංකාවේ රාජ්‍යයට එරෙහිව එල්.ටී.ටී.ඊ. සංවිධානය ආයුධ අතට ගත්තේ දෙමළ ඊලාමයක් තැනීමට නොව, කොටින්ගේ ඊලාමයක් ඇති කිරීමටයි. ඒ හා සමානවම, රාජපක්ෂලා ද කොටින්ව පරාජය කෙළේ, නිකංම ඒකීය ශ‍්‍රී ලංකාවක් ඇති කිරීමට නොව, රාජපක්ෂලාගේ පාලනය යටතේ පවතින ඒකීය ශ‍්‍රී ලංකාවක් ඇති කිරීමටයි. ඒ අනුව, දෙමළ ජනතාවට සැපයෙන කිසිදු දේශපාලන සහනයකින් තොරව කොටි සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කිරීමටත්, ඒ අනුහසින් සිංහලයන්ගෙන් පිරිනැමෙන සදාතන කෘතඥතාවක් හරහා තමන්ගේ පවුලේ බල පරාක‍්‍රමය දීර්ඝ කාලීනව පවත්වා ගැනීමත්, රාජපක්ෂලාගේ සැලැස්ම විය.

එසේ තමන්ට හිමි කරගන්නට රාජපක්ෂලා සිහින දකින දේශයේ වෙසෙන සර්පයා ආර්ථිකයයි.

විදුලි බිල ඉහළ දැමීම, භාණ්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දරගේවත්, පවිත‍්‍රා වන්නිආරච්චි ඇමතිවරියගේ හෝ මහජන උපයෝගීතා කොමිසමේවත් වැඩක් නොවේ. ඒ අති විශාල මිල ඉහළ දැමීමට පැහැදිළිවම ජනාධිපතිවරයාගේ අනුමැතිය තිබුණි. මහජනයාගෙන් උරාගත හැකි උපරිමය සූරා ගැනීමේ රාජපක්ෂ අවශ්‍යතාව ඒ පසුපස පැවතුණි. (එය, අළුත් ණයක් සැපයීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් පනවන ලද කොන්දේසියක් ද විය හැකිය*.

පටු සීමා තුළ විපක්ෂය කොටු වීම නිසා මේ ප‍්‍රශ්නයට මෙතරම් සාර්ථකව මැදිහත් වීමට ඔවුන්ට ඉඩක් නොවෙතැ යි පාලකයන් සිතුවාට සැක නැත. අසාද් සාලිව අසාධාරණ අන්දමින් අත්අඩංගුවට ගැනීමාදිය තුළින් මුස්ලිම් තර්ජනයක් ඇතැ යි මවා පෙන්වන ව්‍යාජ අර්බුද සහ දුමින්ද සිල්වාගේ විපරීත නඩුව වැනි දේශපාලනික අභිරූපණයන් හරහා මාධ්‍ය/මහජන අවධානය වෙනතක හැරවීමට හැකි වෙතැ යි ඔවුන් සිතන්නට ඇති.

සීමාන්තික බව, රාජපක්ෂලාගේ ඇබ්බැහියකි. අතිවින්දනය ඔවුන්ගේ ආදර්ශකයකි. විදුලි මිල ඉහළ දැමීම මීට වඩා සුමට ආකාරයකින් හැසිරවිය හැකිව තිබුණි. එහෙත්, සීරීමකින්වත් තොරව ආර්ථික තඩිබෑම අනන්තවත් අත්හදාබලා සිටි රාජපක්ෂලාට විදුලි බිල සම්බන්ධයෙන් අමුතු ශීලයක් රැුකීමේ අවශ්‍යතාවක් ඇතැ යි නොපෙනුණි. ඔවුන්ට වැරදුණු ප‍්‍රධාන තැන, සමහර විට, එය විය හැකිය. ඉහළ ගිය විදුලි මිළ කෙතෙක් දරුණු වී ද යත්, විපක්ෂයේ මොනම ප‍්‍රචාරණයකටවත් කළ නොහැකි පරිද්දෙන්, සංවර්ධන ආශ්චර්ය පිළිබඳව රාජපක්ෂලාගේ කෙබරය ඒ මගින් රටටම අනාවරණය කෙරුණි.


රාජපක්ෂ බේගල් හෙළිදරව් වීම

කෙප්ප කෛරාටික කම්, බොරු පොරොන්දු සහ ව්‍යාජ ප‍්‍රකාශ, රැුවටිල්ල සහ මුළාව, රාජපක්ෂ පාලනයේ පිහිටි පොළොවයි. මේ සහෝදරයෝ විශාරද විජ්ජාකාරයෝ ය. සහමුලින් අභූත, ප‍්‍රති=යථාවක් නිර්මාණය කිරීමේ වදන් බිනීමෙහි ඔවුහූ ශූරයෝ ය. හතරවැනි ඊලාම් යුද්ධය, ‘ශූන්‍ය-සිවිල් ආපදා සහිත මානුෂීය මෙහෙයුමක්’ වශයෙන් රටට පෙන්වන විට ඔවුන් කෙළේ එයයි. විවෘත සිර කඳවුරු, ‘සුභසාධන මධ්‍යස්ථාන’ වශයෙන් හඳුන්වන විට ඔවුන් කෙළේ එයයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පියවරක් වශයෙන් ද, දෝෂාභියෝග නාඩගම නෛතික ක‍්‍රියාවලියක් වශයෙන් සහ ජෙනරාල් ෆොන්සේකා අත්අඩංගුවට ගැනීම දේශපේ‍්‍රමී ක‍්‍රියාවක් වශයෙන් ද හඳුන්වන විට ඔවුන් කෙළේ එයයි.

යෝධ කැබිනට්ටුවක් පවත්වා ගැනීම ජාතික අවශ්‍යතාවක් ද? ඒ ඇමතිවරුන්ට නිමක් නැති වරප‍්‍රසාද සහ වරදාන සැපයීම ජාතික අවශ්‍යතාවක් ද? දඩුවමකින් තොරව නීතිය කඩ කිරීමට බලපුලූවන්කාරයන්ට අයිතිය සහ නිදහස දීම ජාතික අවශ්‍යතාවක් ද? ණයට ගත් මුදල්, රටට, ජනතාවට හෝ ආර්ථිකයට මහ වැදගැම්මක් නැති ගුවන් තොටුපොලවල්, වරායවල් සහ වෙනත් උඩඟු ව්‍යපෘතිවලට නාස්ති කිරීම ජාතික අවශ්‍යතාවක් ද?

ඔවුන්ගේ රාජ්‍ය ධනවාදය සහ ආර්ථික නව ලිබරල්වාදයේ මැල්ලූම, ‘ප‍්‍රගතිශීලී අර්ථ ශාස්ත‍්‍රයක්’ සහ ‘ජනතාවාදී සංවර්ධනයක්’ වශයෙන් උඩ දමන විට ඔවුන් කරන්නේ ද එවැනිම වංචාවකි. මෙතෙක් එම බොරුව වැඩ කොට තිබේ. තවත් ටික කලකට, පණ අදිමින් වුවත්, වැඩ කරනු ඇත. එහෙත්, වැඩි කළ විදුලි බිල මොන තරම් සාහසික වී ද යත්, රාජපක්ෂලාගේ සංවර්ධන කෙබරයේ මතුපිටින් එතෙක් පැවති හුරතල් කඩතුරාව ඉරා දමන ලදි.

රාජපක්ෂ ව්‍යාපෘතියේ ස්වභාවය අනුව, පොදු ජනතාවගේ කරට තව තවත් බර පැටවීම හැරෙන්නට වෙන කළ හැකි දෙයක් සහෝරවරුන්ට නැත. පවුල් පාලනයේ උන්නතිය සඳහා යෝධ ආරක්ෂක වියදම නඩත්තු කළ යුතුව ඇත. කීර්තිය සඳහා පවුල තුළ ඇති ආශා සන්තර්පණය වෙනුවෙන් දැවැන්ත ව්‍යාපෘති ඉදිරියටත් පවත්වා ගත යුතුව තිබේ.

ඒ ද්විත්ව අවශ්‍යතා සඳහා වියදම සපයාගත යුත්තේ, රටේ දකුණේ ජනයාගේ අප‍්‍රසාදයට ලක්වෙමින් වුවත්, තව තවත් ණයවලින් සහ තව තවත් බදු මුදල්වලිනි. ඒ ඝට්ටනය සමනය කර ගැනීමට, සුළුජාතීන් යකුන් සේ පෙන්වන සමාජ මානසිකත්වයක් රට පුරා ඇති කරවන අතරේ, විපක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ සාමකාමී ක‍්‍රියාදාමයන් ද්‍රෝහී ක‍්‍රියා වශයෙන් හංවඩු ගැසිය යුතුව තිබේ. විවේචනය නොකරන ජනතාවක් සහ මොළේ පාවිච්චි නොකරන ජනතාවක් සහිත සමාජයක්, රාජපක්ෂවරුන්ගේ පරමාදර්ශී අපේක්ෂාවයි. පැහැදිළිව පෙනෙන්ට ඇති සත්‍යය පවා නොදකින මුග්ධ සමාජයක්, ඇස් වසාගෙන සහ කන් වසාගෙන සිටින බයාදු සමාජයක්.

නිර්මාණය කරන ලද ව්‍යාජ විශ්වාසයක අනුලංඝණීයත්වය ආරක්ෂා කරගනු වස්, දේවල් නොසළකා හැරීමට සහ සාමාන්‍යකරණය කිරීමට තැත් කිරීම අළුත් දෙයක්වත්, විශේෂ දෙයක්වත් නොවේ. ටොලමිගේ පුරෝගාමීත්වයෙන් සහ කතෝලික පල්ලියේ සාදර අනුග‍්‍රහයෙන් පිළිගත් විශ්වය පිළිබඳ භූ=කේන්ද්‍රීය මාදිළිය, නිරීක්ෂණයට හසු කළ හැකි ග‍්‍රහ ලෝක චලනයන් මගින් බොරු කෙරෙන විට, එම මාදිළිය වීසි කර දැමීම වෙනුවට ඔවුන් කෙළේ, අපිචක‍්‍ර න්‍යායක් ඊට ගැටගසා, බයිබලයේ කතාන්තරය සහ අන්තරීක්ෂ යථාව අතර නොපෑහීම හොරෙන් සමහන් කිරීමට බැලීමයි.

යම් දවසක උදාවෙතැ යි සිතන සංවර්ධනයේ ආශ්චර්යයක් පිළිබඳ රාජපක්ෂ මිථ්‍යාව පිළිගැනීමට සිංහල දකුණ මේ දක්වා කැමැත්තක් දැක්වීය. එහෙත් විදුලි බිලට සමාන හෝ ඊටත් වඩා දරුණු ප‍්‍රහාරයන් තව තවත් එක්කාසු වන විට, එම විශ්වාසය දරාගෙන සිටීම කළ නොහැක්කකි. මත්තල ගුවන් තොටුපොළ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව වැනි නාස්තිකාරී ව්‍යාපෘති එක පැත්තකිනුත්, දැවැන්ත ආරක්ෂක වියදමක් තවත් පැත්තකිනුත් තියාගෙන කිසි දවසක පොදු ජනතාවගේ ජීවන තත්වයන් නගා සිටුවීම කළ නොහේ.

දේශපේ‍්‍රමී කඩතුරාව ඉවත් කරගන්නා සිංහල දකුණක්, ලෝකය ඇති සැටියෙන් දකින සිංහල දකුණක්, රාජපක්ෂලාව අත්‍යන්තයෙන්ම තැතිගන්වනු ඇත. යුද්ධයක් නැති අවස්ථාවක රටේ සම්පත්වලින් විශාලම පදාසය හමුදා නඩත්තුව සඳහා වැය කිරීම තුළ ඇති තර්කණය කුමක් දැ යි සිංහල දකුණ ප‍්‍රශ්න කරන දවසට, එසේත් නැත්නම්, ‘ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්’ යනුවෙන් හැඳින්වෙන පිරිසකගේ නඩත්තුව සඳහා ජාතික ධනයෙන් රුපියල් මිලියන 40 ක් වාර්ෂිකව වැය කළ යුත්තේ මන්දැ යි සිංහල දකුණ ප‍්‍රශ්න කරන දවසට, රාජපක්ෂලාගේ කාලය තීන්දු වනු ඇත.

යෝධ කැබිනට්ටුවක් පවත්වා ගැනීම ජාතික අවශ්‍යතාවක් ද? ඒ ඇමතිවරුන්ට නිමක් නැති වරප‍්‍රසාද සහ වරදාන සැපයීම ජාතික අවශ්‍යතාවක් ද? දඩුවමකින් තොරව නීතිය කඩ කිරීමට බලපුලූවන්කාරයන්ට අයිතිය සහ නිදහස දීම ජාතික අවශ්‍යතාවක් ද? ණයට ගත් මුදල්, රටට, ජනතාවට හෝ ආර්ථිකයට මහ වැදගැම්මක් නැති ගුවන් තොටුපොලවල්, වරායවල් සහ වෙනත් උඩඟු ව්‍යපෘතිවලට නාස්ති කිරීම ජාතික අවශ්‍යතාවක් ද?

මේවා දකින සහ ඇසෙන, ඒවා ගැන ප‍්‍රශ්න කරන සහ අවබෝධ කරගන්නා ජනතාවක් එක පැත්තකින් ද, එක්සත් විපක්ෂයක් තවත් පැත්තකින් ද සිටීම තරම්, රාජපක්ෂලාට දවල් තරු පෙන්වන වෙනත් දර්ශනයක් තිබිය නොහැක.


*2013 මැයි 16 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Spectre Haunting The Rajapaksas නැමති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්