සරවනමුත්තු අම්මා රිචඩ් සහ හෘදය සාක්‌ෂිය!


 ප්‍රභාත් චින්තක මීගොඩගේ

ඒ, අනූව දශකයේ අගභාගයයි. හැමවිටම පෙබරවාරිය උදා වූයේ රිචඩ් ද සොයිසා ගැන මතකයන් අවදිකරමිනි. ඔහුගේ මාධ්‍ය භාවිතයන් විමර්ශනය කරමින්, ඔහුගේ කාව්‍ය නිර්මාණ කියවමින්, ඔහු ගැන සමරු සම්මන්ත්‍රණ, වැඩසටහන් පැවැත්වීම සඳහා මිතුරන් සමග වෙහෙසෙමින් ගෙවූ ඒ කාලය වේගයෙන් ඉපැරණිව ගොස්‌ ය. 2013 පෙබරවාරිය නිහඬවම ගෙවිණ. ශ්‍රියන්ත වල්පොල විසින් ගන්නා ලද, කාලයක්‌ තිස්‌සේ පොත් රාක්‌කය මත වන, රිචඩ් ද සොයිසාගේ ප්‍රසිද්ධ ම සේයාරුව දෙස හැරී බලමි. දැත් නිකටට තබාගත් රිචඩ්, වම්පස බලා හිඳින ආකාරය සටහනක්‌ වූ ඒ සේයාරුව ඔහුගේ ජීවිතය පිළිබඳ බොහෝ දැ නිහඬ ව දරා හිඳිනු වැනිය. 

 මීට වසර 23 කට පෙර, එනම් 1990 පෙබරවාරි 18 වන අලුයම පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් රිචඩ් ද සොයිසා පැහැරගෙන යනු ලැබිණි. ඉන් පැය කිහිපයකට පසු මොරටුව, කොරලවැල්ල මුහුදු වෙරළේදී රිචඩ් හමුවිණි. එහෙත්, ඒ වධ දී හිසට හා ගෙලට වෙඩි තබා ඝාතනය කරන ලද රිචඩ්ගේ මළ සිරුර ය. 1990 පෙබරවාරි 20 වන දින පෙරවරුවේ කළුබෝවිල රෝහලේදී එක්‌ මවක්‌ තම පුතුගේ මරණ පරීක්‍ෂණයේදී මෙසේ කියා සිටියා ය. 17 වැනි සෙනසරාදා රාත්‍රී 10.00 ට පමණ මා නින්දට ගියා. ඉරිදාට එළිවීමට පෙර අලුයම 3.00 ට පමණ නිවසේ සීනුව නාද කරනු ලැබුවා. මා ඒ අවස්‌ථාවේ නැඟිට නිවසේ කවුළුවෙන් බලන විට අවිගත්, පොලිස්‌ නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් කෙනෙකුත්, කළු ටී ෂර්ට්‌ එකක්‌ හා දිග කලිසමක්‌ ඇඳගත් කෙනෙකුත් සිටිනු දුටුවා. ඒ සමග තවත් හතර දෙනෙකුත් සිටි අතර ඔවුන් සියලු දෙනාම ආයුධ අතැතිව සිටියා. මා ඒ අවස්‌ථාවේ සිටියේ නිවස තුළයි. පිටස්‌තර කවුරුවත් නිවස තුළ සිටිනවාදැයි අසා නිවස පරික්‍ෂා කරන්න ඕනෑ යෑයි ඔවුන් කීවා. මා එවිට ඔවුන්ගෙන් හැඳුනුම්පත් ඉල්ලා සිටියා. ඒවා දෙන්න වුවමනාවක්‌ නැහැයි ඔවුන් කීවා. හැඳුනුම්පත් නැතිනම් ඔවුන්ට ගෙට ඇතුළුවීමට ඉඩදිය නොහැකි බව මා කියා සිටියා. මා එසේ කී විට ඔවුන් වෙඩි තැබීම සඳහා ගිනි අවියක්‌ සකස්‌ කළා. ඉන් ඇතිවූ බිය නිසා මට දොර අරින්න සිදුවුණා. 

එයින් කිහිප දෙනෙකු මගේ කාමරයට ගොස්‌ සෝදිසි කළ අතර, අනෙක්‌ අය පුතාගේ කාමරයට ගොස්‌ ඔහු පිටතට රැගෙන ආවා. පුතාට පහළට එන්නැයි ඔවුන් කීවා. පුතා ඔවුන්ට කිව්වා පහළට යන්න ඕනේ නැහැ. මෙතැනදී ප්‍රශ්න කරන්න කියලා. එවිට ඔවුන් මගේ පුතාව පහළට ඇදගෙන ගියා. එසේ ගෙන ගොස්‌ ජීප් රථයකට නංවා ගත්තා. පැමිණි අයගෙන් දෙදෙනකු මට හඳුනාගන්නට පුළුවන්. පුතා රැගෙන ගිය කොළපාට ජීප් රථයේ අංකය 32 ශ්‍රී 4748 වශයෙන් සඳහන් වුණා. මා වහාම වැලිකඩ පොලීසියට ගොස්‌ සිද්ධිය ගැන පැමිණිලි කළා. සඳුදා රාත්‍රී 8.00 ට පමණ පොලීසියෙන් පැමිණ මගේ පුතාට සමාන මළ සිරුරක්‌ කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ තිබෙන නිසා එය හඳුනා ගැනීමට ඉදිරිපත් වන ලෙස මට දැන්වූවා. ඒ අනුව මා රෝහලට පැමිණ එම මළ සිරුර මගේ පුතාගේ බව හඳුනාගත්තා. 

මෙම මරණයට කවර කරුණක්‌ හේතු වුණා ද කියා කියන්න මම දන්නේ නැහැ. පුතා පුවත්පත් කලාවේදියකු හා රූපවාහිනී නිවේදකු හැටියට කටයුතු කළා. එපමණයි...." ඒ අම්මා මනෝරානී සරවනමුත්තු ය. ඒ රිචඩ්ගේ අම්මාය. ඉනික්‌බිති අපේ රටේ සිය දහස්‌ ගණනක්‌ මව්වරුන්ට රිචඩ් සිය පුතා බඳු විය. තමන් වෙතින් පැහැර ගෙන ගොස්‌ ඝාතනය කෙරුණු තම පුතා බඳු විය. රිචඩ් ද සොයිසා අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්‌ස, ශාන්ත තෝමස්‌ විද්‍යාලයෙනි. පාසල් අවධියෙහි ඔහු සුවිශේෂී දක්‌ෂතා රැසක්‌ සහිත ශිෂ්‍යයකු වූයේ ය. ඒ අවධියේ ඔහුගේ කැපී පෙනෙන දක්‌ෂතා එළිදුටුවේ කථික, කාව්‍ය නිර්මාණ හා රඟපෑම යන අංශ තුනෙනි. එවක විද්‍යාලය මගින් ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා පිරිනැමුණු විදුහල්පති සාහිත්‍ය ත්‍යාගය, පීරිස්‌ සිරිවර්ධන රන් පදක්‌කම හා ආර්න්ඩ් ත්‍යාගය යන ත්‍යාග තුනම දිනා ගැනීමට සමත් වූ එක ම ශිෂ්‍යයා වූයේ රිචඩ් ය. එමෙන්ම ඔහු විද්‍යාලයීය සාහිත්‍ය සඟරාවේ සම සංස්‌කාරකවරයා ද වූයේය. එසේම අන්තර් පාඨශාලයීය ෂේක්‌ස්‌පියර් නාට්‍ය තරගාවලියේ හොඳම නළුවාට හිමි සම්මානය දෙවරක්‌ම (1973 හා 1975 වර්ෂවලදී) දිනා ගැනීමට සමත් වූ එකම ශිෂ්‍යයා වූයේ ද රිචඩ් ය. විද්‍යාලයීය විවාද කණ්‌ඩායමෙහි නායකයා වූ ඔහු, විද්‍යාලයේ ක්‍රියාත්මක කෙරුණු ආදර්ශ පාර්ලිමේන්තුවෙහි නිදහස්‌ සමාජවාදී පක්‍ෂයේ නායකයා වශයෙන්ද, කථානායකවරයා වශයෙන්ද ඇමැතිවරයෙකු වශයෙන්ද කටයුතු කළේය. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන මධ්‍යම පාන්තික සිසුනට බොහෝ විට නොපිහිටන, ලාංකේය සමාජය පිළිබඳ වෙනස්‌ මානයක දැක්‌මක්‌ ඔහු තුළ එවක පටන් ම වැඩෙමින් තිබිණි. 

 ඉන්පසු ඔහු බ්‍රිතාන්‍ය මණ්‌ඩලය සමඟ නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය ගණනාවකින් ද "යුගාන්තය" හා සත්‍යග්‍රහණ" යන සිනමා නිර්මාණවලින්ද "යශෝරාවය" ටෙලි නාට්‍යයෙන්ද සිය රංගන කුසලතා විදහා දැක්‌වීය. එමෙන්ම ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියකු ලෙසත් රූපවාහිනී නිවේදකයකු ලෙසත් ජනමාධ්‍ය ක්‌ෂේත්‍රයේ සිය භූමිකාව අනන්‍යතාවක්‌ සහිතව ගොඩනඟා ගැනීමට ඔහු සමත් විය. රිචඩ් ජනමාධ්‍ය ක්‌ෂේත්‍රයේ ජාතික තලය ඉක්‌මවා ජාත්‍යන්තර තලයට ද ප්‍රවිෂ්ට විය. රෝමය මූලස්‌ථානය කරගනිමින් ස්‌ථාපිත, ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ" ශ්‍රී ලංකාවේ හා ආසියානු කලාපයේ නියෝජිතයා වශයෙන් සේවය කළේ රිචඩ් ය. ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ රෝමයේ ඉංග්‍රීසි සේවා සංස්‌කාරක හා රිචඩ්ගේ මුල්ම වෘත්තීය පුහුණුකරු වූ µsල් හැරිස්‌ රිචඩ්ගේ මරණයෙන් පසු මෙසේ පවසා තිබිණි. ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ වැඩකරන කිසිවෙකුත් ලෝකයේ ලොකු වැටුප් ලබන්නේ නැහැ. රිචඩ් මේ ප්‍රවෘත්ති සේවයට බැඳුනේ මේ ආයතනය තුන්වැනි ලෝකයේ ඕනෑ එපාකම් ගැන කටයුතු කරන බව ඔහු විශ්වාස කළ නිසයි. සැබැවින්ම රිචඩ්ට සිය ජනමාධ්‍ය වෘත්තිය වෙනස්‌ හා පුළුල් ක්‌ෂේත්‍රයක දියත් කරන්නට සමාජ දේශපාලන පසුබිමක්‌ ඒ වන විට ශ්‍රී ලංකාවෙහි නිර්මාණය වී තිබිණි. 

ආණ්‌ඩුව විසින් මුදා හැරුණු රාජ්‍ය ත්‍රස්‌තවාදය මෙරට සමාජය බිහිසුණු තත්ත්වයකට ඇද දමා තිබිණ. අත්අඩංගුවට ගැනීම්, අතුරුදන්වීම්, ඝාතන දස දහස්‌ ගණනින් සිදුකෙරෙමින් පැවතිණි. රිචඩ් සිය සම්බන්ධතා සූක්‌ෂම ලෙස යොදාගනිමින් ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියකු ලෙස එවක ආණ්‌ඩුවේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වයට අදාළ තොරතුරු ජාත්‍යන්තර තලයට හෙළි කරමින් සිටියේය. විශේෂයෙන්ම මෙරට තුළ සිදුවෙමින් පැවති මානව හිමිකම් කඩවීම් සම්බන්ධව ඔහු තොරතුරු වාර්තා කළේය. ඔහු ඉන්ටර්ප්‍රෙස්‌" ප්‍රවෘත්ති සේවය වෙත 1990 පෙබරවාරි 15 වැනි දා සැපයු වාර්තාවෙහි, පරීක්‍ෂණයක්‌ නොපවත්වා මළ සිරුරු බැහැර කිරීමට අවසර දෙන 55 වැනි හදිසි අවස්‌ථා රෙගුලාසිය ආණ්‌ඩුව විසින් ඉවත්කරනු ලැබීම සම්බන්ධව ලියමින් මෙසේ සඳහන් කළේය. මෙය රිචඩ් සැපයූ අවසන් වාර්තාවයි. 

 එහෙත් ජනවාරි 10 වැනි දින පනවන රෙගුලාසි තවමත් බල පවත්වයි. ගැටුම්වලින් පීඩාවට පත් රටේ, නැවත සාමාන්‍ය තත්ත්වය උදා කරන බවට දෙන ලද පොරොන්දුව පරිදි ආණ්‌ඩුව ක්‍රියා නොකරන්නේය. යන චෝදනා ඉන් ඉස්‌මතු වෙයි. වැඩකරන ස්‌ථානවල හෝ අධ්‍යාපන ආයතනවල හෝ යථා ක්‍රියාකාරීත්වය කෙරෙහි හානිකර අන්දමින් බලපැවැත්වීමට ඉඩ ඇති දේශපාලන හෝ වෙනත් සියලු ක්‍රියාකාරකම් හෝ 1990 අංක 01 දරන (හානිකර දේශපාලන කටයුතු වැළැක්‌වීමේ) හදිසි අවස්‌ථා රෙගුලාසියෙන් තහනම් වෙයි. එසේම ඉන් මෙම ස්‌ථානවල සියලු අන්දමේ රැස්‌වීම්, ඒකරාශිවීම් පෙළපාලි, පෙරහැර හෝ පෝස්‌ටර් ප්‍රදර්ශනයද තහනම් වෙයි. දේශපාලන හෝ වෙනත් සියලු ක්‍රියාකාරකම් යන්නෙහි වෙනත් යන පදයට සාමාන්‍ය වෘත්aතීය සමිති කටයුතු ද ඇතුළත් වෙතැයි සමිති ක්‍රියාකාරීහු චෝදනා කරති. මෙම නීතිය සම්මත කිරීමේදී ආණ්‌ඩුවට සහයෝගය දක්‌වන අතළොස්‌සක්‌ හැර, අන් සෑම වෘත්තීය සමිතියක්‌ම වාගේ විරෝධය පළ කළේය." (උපුටා ගැනීම රිචඩ් ද සොයිසා ඝාතනය, පරීක්‍ෂණය හා නිගමනය - බැටී වීරකෝන්) ඒ වන විට රිචඩ් ඉන්ටර්ප්‍රෙස්‌ ප්‍රවෘත්ති සේවයේ යුරෝපීය සේවාවේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කරනු ලැබ තිබූ අතර, නොබෝ දිනකින් එම තනතුරෙහි වැඩ භාර ගැනීම සඳහා ඔහු ලිස්‌බන් නගරය වෙත යැමට නියමිතව තිබිණ. 

ඔහු එසේ ගියහොත්, තම රජයට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක තත්ත්වය පිළිබඳව එවක පාලකයින්ටත් ඔවුන්ගේ සමීපතමයින්ටත් වැටහී තිබුණා නිසැක ය. රිචඩ්ගේ මාධ්‍ය භාවිතය තමන්ට හීලෑ කරගත හැකි එකක්‌ නො වූයෙන් රිචඩ් ඝාතනය කිරීමෙන් මෙපිට ඔහුගේ මාධ්‍ය භාවිතයෙන් ගැලවීමේ මඟක්‌ තමන්ට නොමැති බව දේශපාලන අධිකාරියේ බලවත් පිරිස වටහා ගන්නට ඇත. රිචඩ් ඝාතනය කිරීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ යෙදවුණු අතර එදා රජයේ සමීපතමයකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරීවරයකු ද විය. මෙම කාර්යය සඳහා ඔහු විසින් තෝරාගනු ලැබූ කණ්‌ඩායමට කොටුව පොලිසියේ ස්‌ථාන භාර නිලධාරී පොලිස්‌ පරීක්‍ෂකවරයෙකු කොම්පඤaඤ වීදිය පොලිසියේ පොලිස්‌ පරීක්‍ෂකවරයෙකු සහ පොලිස්‌ නිලධාරීන් ඇතුළු පිරිසක්‌ අයත්වූහ. රිචඩ්ගේ මව මනෝරානී සරවනමුත්තු මහත්මිය 1990 ජුනි මස 05 වැනි දින පොලීසියට ප්‍රකාශයක්‌ කරමින් මෙසේ සඳහන් කළාය. මා පළමුවෙන් ඔහු දුටුවේ 1990 මැයි 10 වැනි දින රූපවාහිනී ප්‍රවෘත්තිවලින්. ඉන්පසු අයි. ටී. එන්. ප්‍රවෘත්තිවලදීද ඔහු දුටුවෙමි. සුදු පාට ෂර්ට්‌ එකක්‌ හා සුදුපාට කොට කලිසමක්‌ හැඳ, සුදු පාට කැප් එකක්‌ද දමාගෙන එම අවස්‌ථාවේ මගේ නිවසට පැමිණි පුද්ගලයා ඔහු බවට මට සැකයක්‌ නැත. රූපවාහිනියේ දැක මවිසින් හඳුනාගනු ලැබූ එම පුද්ගලයා රොනී ගුණසිංහ මහතාය. 

ඔවුන් මගේ පුත්‍රයා ගෙනයැමට උත්සාහ කරද්දී, එක්‌ අවස්‌ථාවක මම මගේ පුතාත් ඔහුත් අතර සිට ගත්තෙමි. එවිට ගුණසිංහ මහතාත් මාත් සිටියේ මුහුණට මුහුණ ලා ගෙනය. ඔහු අත හරස්‌ කොට මගේ පිටුපසින් සිටි පුතා මෑතට ඇද ගත්තේය. මට ඔහු හොඳින් හඳුනා ගැනීමට පුළුවන. රූපවාහිනියෙන් ඔහු දුටු හැටියේම, මගේ නිවසට පැමිණ මගේ පුතා රැගෙන ගිය පුද්ගලයා ඔහු බව මම හඳුනාගත්තෙමි. ඔහු තවත් පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ සමඟ සිටින ඡායාරූපයක්‌ද පුවත්පතක මම දුටුවෙමි." රිචඩ් ඝාතනය කරනු ලැබීම ජාතික හා අන්තර්ජාතික වශයෙන් දැඩි ආන්දොaලනයකට තුඩු දුන්නේය. ඔහු ජාත්‍යන්තර ජනමාධ්‍ය ක්‍ෂේත්‍රය හා සම්බන්ධව සිටීම ඊට විශේෂයෙන්ම බලපෑවේය. රිචඩ් ද සොයිසා පැහැරගෙන ගොස්‌ ඝාතනය කරනු ලැබීම සම්බන්ධව 1990 අප්‍රේල් 23 වැනිදා "ටයිම්" සඟරාවේ ලිපියක්‌ පළවිය. වහාම ක්‍රියාත්මක වූ මෙරට රජය ශ්‍රී ලංකාව තුළ "ටයිම්" සඟරාව අලෙවි කිරීම තහනම් කළේය. එම "ටයිම්" සඟරාවේ පළවූ ලිපියෙහි මෙසේ සඳහන් වේ. "ආණ්‌ඩුවේ ඝාතක කල්ලිවල කටයුතු විදහාපාන ප්‍රවෘත්ති ලිවීම මෙන් ම විදේශවල මානව හිමිකම් සංවිධාන සඳහා තොරතුරු රැස්‌කිරීම ද කළ ද සොයිසා බලවත් තර්ජනයක්‌ ලෙස සැලකිනි. තවත් දින කිහිපයකින් ඔහු අලුත් තනතුරක වැඩ භාර ගැනීම සඳහා ලිස්‌බන් බලා පිටත්ව යාමට සිටි බවත් ඔහු මරා දමනු ලැබුවේ ඊට පෙර විය හැකි බවත් ඔහුගේ මිතුරෙක්‌ අනුමාන කරයි. 

එසේ ගියේ නම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වඩාත් හොඳින් ලෝක අවධානයට යොමු කිරීමට ඔහුට හැකි වනවා ඇත. ද සොයිසා තවත් ආකාරයකින් අනතුරුදායක තත්ත්වයක සිටියේය. බලවතකුගේ පෞද්ගලික කෝපයට හේතුවන අන්දමේ වැඩපිළිවෙළකට ඔහු සම්බන්ධ විය. ඔහු කළේ වාර්තා කිරීම හා ලිවීම පමණක්‌ නොවේ. 'මේ කවුද? මොනවද කරන්නේ?' නමැති වේදිකා නාට්‍යයේ රචකයා ද ඔහු විය. එය ප්‍රේමදාසගේ පාලන කලාව හා සම්බන්ධව ගෙතුණු දේශපාලන උපහාසාත්මක නාට්‍යයකි. පෙබරවාරියේදී නාට්‍යය මුලින් ම පෙන්වීමට බලාපොරොත්තු වූ දිනට පෙරදින එහි නිෂ්පාදකයා පැහැරගෙන යන ලදී. ඔහු ද සොයිසාගේ මිතුරකු විය. ඔහු මියයන්නට ඇතැයි සිතනු ලැබේ. සති තුනකට පසු ද සොයිසා ඝාතනය කෙරිණි." 

 මෙම ඝාතනය සම්බන්ධව පාර්ලිමේන්තුවේදී විපක්‍ෂ මන්ත්‍රීවරුන් කතා කරන විට ආණ්‌ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු ඔහුට පරිභව කරමින් ඝෝෂා කළහ. ඔහු ඝාතනය කිරීමෙන් නො නැවතී ඔහුට නින්දිත ලෙස අපහාස කරන්නට ද එ.ජා.ප ආණ්‌ඩුව කටයුතු කළේය. රිචඩ් ද සොයිසා ඝාතනය කරනු ලැබීම සම්බන්ධව කොමිසමක්‌ පත් කළ යුතු බවට විපක්‍ෂය විසින් ඉල්ලා සිටිනු ලැබූ අවස්‌ථාවේ එවක ආරක්‌ෂක අමාත්‍ය රන්ජන් විඡේරත්න හා ශ්‍රී.ල.නි.ප. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා අතර සංවාදයක්‌ ඇති විය. එය 1990 මාර්තු 20 වැනි දින හැන්සාඩ් වාර්තාවෙහි සඳහන් වන්නේ මෙලෙසිනි. සිල්වා මහතා - මගේ ප්‍රශ්නය මේ පිළිබඳව කොමිසමක්‌ පත් කරනු ලැබේද යන්නයි. විඡේරත්න මහතා - සෑම මිනී මැරුමකටම කොමිසමක්‌ පත් කරන්න බැහැ. සිල්වා මහතා - නමුත් මා අසා සිටියේ මේ මරණය ගැන සොයා බැලීමට කොමිසමක්‌ පත් කරනවද කියන එකයි. විඡේරත්න මහතා - එම කාරණය ගැන වෙහෙසවීම වැඩක්‌ නැහැ. මේ රටේ බොහෝ මරණ සිදුවී තිබෙනවා. ඒ ඔක්‌කොම විශේෂ ලෙස සිදුවූ මරණ. එකක්‌ අහුලාගෙන මට මේකට කොමිසමක්‌ ඕනෑ කියන්න ඔබට බැහැ. රිචඩ් ද සොයිසාගේ මිනී මැරුමත් එයින් එකක්‌ විතරයි..." එ.ජා.ප. ආණ්‌ඩුවට රිචඩ්ගේ මරණය තවත් එක්‌ මරණයක්‌ පමණක්‌ විය. කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධව සොයා බැලීමට කොමිසමක්‌ පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ විපක්‍ෂය විසින් ඒකාබද්ධ යෝජනාවක්‌ 1990 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත්වීම වැළැක්‌වීමට ආණ්‌ඩු පක්‍ෂය දැඩි උත්සාහයක්‌ ගත්තේ ය. අවසානයේ එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් වූ නමුත් ඒ කිසිදු ක්‍රියාමාර්ගයකින් යුක්‌තිය ඉටු නොවීය. වැරැදිකරුවන් හඳුනා ගැනීමට හෝ ඔවුන්ට දඬුවම් පැමිණවීමට හෝ අවශ්‍ය පසුබිමක්‌ පවා නිර්මාණය නොවීය. රිචඩ් ඝාතනය කිරීමට සම්බන්ධ පොලිස්‌ කණ්‌ඩායමේ ප්‍රධානියා ලෙස සැක කළ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රොනී ගුණසිංහ, 1993 මැයි 01 දා ආමර් වීදියේදී පිපිරූ බෝම්බයෙන් ප්‍රේමදාස ජනාධිපතිවරයාත් සමගම මරණයට පත්විය. රිචඩ් ද සොයිසාගේ මරණය සම්බන්ධව සොයා බැලීම පිණිස විපක්‍ෂය විසින් ඉල්ලා සිටි ස්‌වාධීන පරීක්‍ෂණ කොමිසම එවක පැවති එ.ජා.ප. ආණ්‌ඩුව 1994 දී බිඳවැටෙන තුරුත් පත් කෙරුණේ නැත.

 එ.ජා.ප. ආණ්‌ඩුව පරාජය කොට පොදුජන එක්‌සත් පෙරමුණට බලයට පත්වීම සඳහා රිචඩ්ගේ ඝාතනය විශාල ඉල්ලමක්‌ වූ අතර රාජ්‍ය නොවන සංවිධාන ද විදේශ අරමුදල් ගරාගැනීම සඳහා රිචඩ්ගේ ඝාතනය ඉවහල් කොට ගත්හ. රිචඩ්ගේ ඝාතනය සම්බන්ධ පරීක්‍ෂණයක්‌ කරන්නන් වාලේ සිදු කෙරෙමින් පැවති අතර අදාළ සැකකරුවන්ගෙන් කිහිප දෙනකු ම ඒ කාලය ඇතුළත මියගොස්‌ තිබිණ. රිචඩ්ගේ මව වූ මනෝරානි සරවනමුත්තු මහත්මිය ද දැනට වසර කිහිපයකට ඉහතදී මියගියා ය.

 අවසානයේ රිචඩ් ද සොයිසාගේ ඝාතනය සම්බන්ධ පරීක්‍ෂණය නවතා දමන්නට තීරණය කර ඇති බවට පුවතක්‌ වසර කිහිපයකට පෙර පුවත්පතක පළ වී තිබිණි. 1993 පෙබරවාරියේ මනෝරානී අම්මා මෙසේ කීවාය. "මුහුද මගේ පුතා ආපහු මා ළඟට ගෙනාවා. සමහරක්‌ විට රෑ ජාමෙට මම හිතවා දෙවියන්ට මගේ පුතාව බේරගන්න බැරි වුණත්, මහ මුහුද මගේ පුතා මා ළඟට ගෙනාවේ මට සටන් කරන්න හැකි වෙන්න කියලයි." සැබැවින් ම ඇය සටන් කළා ය. ඇගේ සටනින් ඵල නෙළා ගත් දේශපාලකයෝ බලයට පත්වූහ. නමුත් රිචඩ් ඝාතනය කරනු ලැබූ ඝාතකයන්ට දඬුවම් නො ලැබිණි. මැතිවරණ වේදිකාවලදී ද රාජ්‍ය නොවන සංවිධානවල මාධ්‍ය සංදර්ශනවලදී ද අදටත් රිචඩ්ගේ මරණය යහමින් වෙන්දේසි වේ. රිචඩ්ගේ සේයාරුව දෙස යළිත් වරක්‌ හැරී බලමි.

 රිචඩ් විසින් ලියන ලද "Pringing Gift" (සමුගැනීමේ තිළිණය) නමැති කවියෙහි අවසානය සිහියට නැඟෙයි.

 "නත්තල් සමයෙහිදී 
ඔබ දුන්නෙහිය
 මට දින පොතක්‌ 
නව වසර 
මහලු වී යන්නටත් පෙර... 
එද එහි සුදොa සුදු පැහැති හිස්‌ පිටු විලස
 මමද මළ ගිය අයෙක්‌ වෙමි.