ලංකාවේ පළමු ගුවන් යානයේ ඓතිහාසික ගුවන් ගමන

නුවරඑළියේ හේමපාල

සොබා දහමේ මූල්‍ය බලශක්‌තියක්‌ වූ වාතය, මිනිසා ගේ අවනතියට හසුවීමේ සදාතනික ජය සංකේතය, නුඹ, කුස සැරිසරන ගුවන් යානය යි කිව හොත් නිවැරැදි යි. විශ්ව ගමනාගමන ක්‍ෂේත්‍රයේ මහා පරිණාමයක්‌ ඇති කළ ඒ අද්විතීය නිර්මාණයේ උපත මීට වසර අසූහයකට පෙර 1903 දෙසැම්බර් 17 වැනි දින ඇමෙරිකාවේ කිටිහෝක්‌හි දී සිදු විය. එහි නිර්මාතෘවරු ඕවිල් රයිට්‌ සහ විල්බර් රයිට්‌ යන දෙසොහොයුරෝ වූහ.

සීතල උඳුවප් මහේ ඒ හිමිදිරි උදැසන ඇමෙරිකාවේ උතුරු කැරොලයිනාවේ කිටිහෝක්‌ පිටියේ දී යාන්ත්‍රික බලයෙන් අහස්‌ කුස ජයගන්නට කූඩාරමෙන් එළියට ගත් යානය රයිට්‌ ප්ලයර් නම් විය. රයිට්‌ සොහොයුරෝ කාසියක්‌ උඩ දමා තම හවුල් නිර්මාණය හාපුරා කියා පදවන නියමුවා තෝරාගත්හ. කාසියේ වාසිය දිනූ ඕර්විල් යානයට නැඟ එහි අසුන් ගත්තේ, ඔද තෙද නැංවුණ සිනා මුහුණෙනි. විල්බර් ඉදිරියට ගොස්‌ ප්‍රේරකය කරකවා යානය පණගැන්වීමට උදව් කළේ ය. සැණෙකින් ප්‍රාණවත් වූ යානය ඉදිරියට අදෙන්නට විය. රැහැණෙන් මිදුණු පක්‍ෂියෙකු මෙන් එය තව තවත් ඉදිරියට ම ඇදෙන්නට විය, තව ස්‌වල්ප දුරක්‌ ගොස්‌ එය මිහි පහසින් මිදී ඉහළ නඟිමින්, සුළං රැළි දෙබෑ කරමින් අහසේ සරන්නට වන. හරියට ම එසේ තත්පර දොළහක්‌ ගුවනේ සරන්නට වී යළි ඔබ්බෙන් මිහිමත රැඳිණ. ඒ අමරණීය තත්පර දොළහේ දී යානය අඩි එකසිය විස්‌සක්‌ දුර ගුවන් ගමනක යෙදී තිබිණ. එය ලොව මවිත කළ විස්‌මයජනක ප්‍රථම ගුවන් ගමන බවට ඉතිහාස ගත විණ.

ඉන් පසු ගුවන් යානා නිපදවීම කෙමෙන් කෙමෙන් දියුණු වී වෙනත් යුරෝපීය රටවලට ද පැතිර ගිය මුත්, ආසියාකරයේ ශ්‍රී ලංකාව වැනි රටවලට එය මහත් පුදුම උපදවනසුළු ආරංචි මාත්‍රයක්‌ පමණක්‌ විය.

ප්‍රථම වරට සිංහලයෙක්‌ විසින් දුටු ගුවන් ගමනක විස්‌තරයක්‌ සිංහල ප්‍රවෘත්ති පත්‍ර පාඨකයන් වෙත ඉදිරිපත් කරන ලද්දේ අසදෘශ ජාතික වීරවරයෙකු වූ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා විසිනි. ඉගෙනීමේ කටයුතු සඳහා එවකට එංගලන්තයට ගොස්‌ සිටි ශ්‍රීමත් ජයතිලක මහතා තම අත්දැකීම 1911 ජුනි 14 වැනි දින "දිනමිණ" පත්‍රයෙන් මෙසේ හෙළිදරව් කොට තිබේ.

"දවස්‌ තුනකට පෙර ප්‍රථම වරට අහස්‌ නැවක්‌ දිටිමි. ගිය බ්‍රහස්‌පතින්දා උදය ටැතැම් නම් ප්‍රසිද්ධ අහස්‌නැවියා ලන්ඩන් නුවර පටන් ඔක්‌ස්‌පෝර්ඩ් නගරය දක්‌වා හැතැක්‌ම 63 පමණ දුර ප්‍රමාණය පැය බාගයකින් ගමන් කළේ ය. දවල් කාලයෙහි මෙහි නැවතී සිට පස්‌වරුවේ ලොන්ඩන් නුවර යන්නට පිටත් විය. මොහු ගේ නිකුත්වීම බැලීමට මහත් සමූහයක්‌ නගරයෙහි විශාල පිට්‌ටනියට රැස්‌ විය. නියම වේලාවට නැවියා යන්ත්‍රයට නැඟී සූත්‍රය කරකැවූ විට පක්‍ෂි රූපාකාර වූ නැව ක්‍රමයෙන් පණ පිහිටියාක්‌ මෙන් සලිත ව මඳක්‌ දුර බිම දිගේ ගොස්‌ ටිකෙන් ටික අහසට නැඟෙන්නට පටන් ගත්තේ ය. විනාඩි ගණනකින් නැව නොපෙනී ගියේ ය. මෙය ආශ්චර්යවත් දර්ශනයක්‌ විය. නැව අහසේ ගමන් කරන විට පියාඹන පක්‍ෂියකු ගේ ස්‌වභාවය උසුලයි".

(1911 මැයි 21 දින දී ය).

අනතුරුව හාපුරා කියා "ආකාශ යාත්‍රාව ලංකාවට පැමිණීම" සම්බන්ධයෙන් වරින් වර වාර්තා පළ වූ අයුරු මෙසේ ය. 1911 සැප්තැම්බර් 13 වැනි දා (දිනමිණ)

"ආකාශ යාත්‍රාව ලංකාවට පැමිණීම"

බ්‍රවුන් උන්නැහේ ගේ පාවිච්චිය පිණිස ගෙනෙන්ට යෙදෙන බැව් කියන ලද බ්ලැරියට්‌ වර්ගයේ ආකාශ යාත්‍රාව ඊයේ මෙහි පැමිණි රැවන්පැලස්‌ නැවෙන් ගෙනා බවත්, එය අද කොල්ලුපිටියට ගෙන යන බවත් කියා තිබේ. මෙය යාත්‍රා කොට පෙන්වන්නේ කවදා දැයි තව ම නියමයක්‌ නැත.

1911 සැප්තැම්බර් 21 වැනි දා

"ආකාශ යාත්‍රාව"

කොලින් බ්‍රවුන් උන්නැහේ විසින් කොළඹට ගෙනා ආකාශ යාත්‍රාව තවමත් වැල්ලේ තිබේ. බලාපොරොත්තු වූ ආධාර මුදල් බ්‍රවුන් උන්නැහේට නොලැබුණු බැවින් ආකාශ යාත්‍රාව පෙන්වන්නේවත් ගමන් කරන්නේවත් නැතැයි කියා තිබේ. නමුත් උන්නැහේ බලා පොරොත්තු වන පවුම් දාහ ලබා දීමට යම් යම් අය පොරොන්දු වන්නේ නම් අහසින් යැම ගැන නැවතත් කල්පනා කරන බවත් කියා තිබේ.

1911 ඔක්‌තෝබර් 27 වැනිදා

"කොළඹ තිබෙන ආකාශ යාත්‍රාව"

කොලින් බ්‍රවුන් උන්නැහේ විසින් ගෙන්වන ලද ආකාශ යාත්‍රාවෙන් අහසට යැමට රු. 10,000 ක්‌ ලැබුණොත් කල්පනා කරන බැව් කියා තිබුණේ ය. දැනට රුපියල් 8000 ක්‌ තරම් පොරොන්දු වී තිබෙන බවත් අනෙක්‌ රු. 2000 ක්‌ ලැබුණ විගස යාත්‍රාවෙන් ගමන් ආරම්භ කරන බවත් කියා තිබේ.

1911 නොවැම්බර් 2 වැනි දා

"ආකාශ යාත්‍රාව"

කොලින් බ්‍රවුන් උන්නැහේ විසින් කොළඹට ගෙන්වන ලද ආකාශ යාත්‍රාව ලබන සතියේ මැද හරියේ දී පිටකොටුවේ මල්වත්තේ සිට අහසට නැඟීමට නියම කරගෙන තිබේ. සති කීපයක්‌ මේ යාත්‍රාව මහජනයාට පෙන්වීමට ද නියම කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් මල්වත්තේ විශාල මඩුවක්‌ තැනීමට ද නාගරික සභාවෙන් අවසර ඉල්ලා තිබේ. යාත්‍රාවේ යන්ත්‍ර සූත්‍රාදිය හා අහස්‌ නැඟීමට පිළියෙල කරන අන්දම පෙන්වීම පිණිස මුදලක්‌ අය කරනු ලැබේ.

1911 නොවැම්බර් 4 වැනි දා

"ආකාශ යාත්‍රාව"

කොළඹ මල්වත්තේ තිබෙන ආකාස යාත්‍රාව අද රාත්‍රි පටන් මහජනයාට පෙන්වනු ලැබේ. මේ සඳහා මුදලක්‌ අය කරනු ලැබේ. දැනට මඩුකූඩම් බැඳ ඉවර ය. යාත්‍රාව ඉහළ නැඟීමට යන්ත්‍ර සූත්‍ර කරකවා පෙන්වනු ලැබේ. නමුත් ඉහළ නොයන බැව් සැලයි.

1911 නොවැම්බර් 23 වැනි දා

"ආකාශ යාත්‍රාවක්‌"

පසුගිය දින කොලින් බ්‍රවුන් මහත්මයා විසින් ලංකාවට ගෙනෙන ලද ආකාශ යාත්‍රාව දැනට කොළඹ මල් වත්තේ මහජනයාට දක්‌වනු ලැබේ. පෙර දින පැවතුණේ යයි කියන දඬු මොණර යන්ත්‍රය මොණරකු ගේ ආකාරයකින් සාදන ලදැයි සඳහන් ව තිබේ. මේ යන්ත්‍රය වනාහි මාළු කූරියෙකු ගේ ආකාරයෙන් පෙනේ. මෙහි ගමන ආරම්භයෙහි ගන්නා වාත වේගය මඳ තරමකින් දක්‌වයි. එහි වේගවත් ආකාරය බිය උපදවන තරම් ය. මේ යාත්‍රාව අඩි 17,000 ක්‌ ඉහළට ගෙන යා හැකි යයි කියති. විනාඩියකට හැතැප්ම 4 ක්‌ ගමන් කරවිය හැකි බැව් ද ඇසීමු. මෙය විස්‌මයජනක කර්මාන්තයකි.

මෙසේ කොලින් බ්‍රවුන් විසින් ලංකාවට ගෙනා ප්‍රථම අහස්‌ යානය ගුවන් ගත නොකොට බිම තබාගෙන "සැරදමා" පෙන්වමින් මහජනයාගේ මුදල් අයකරගනු ලබන උපායක්‌ බවට පත් වී තිබිය දී ලංකාවේ සිටි හර් ඔස්‌ටර් නමැති ජර්මන් ජාතිකයකු තවත් ගුවන් යානයක්‌ මෙහි ගෙනාවේ ය.

1911 දෙසැම්බර් 22 වැනි දා

"ආකාශ යාත්‍රාව"

ඔස්‌ටර් නම් ජර්මන්කාරයා ගෙනා ආකාශ යාග්‍රාව ඊයේ වැල්ලෙන් ගෙන යන ලදී. මෙය කොල්ලුපිටිය පිට්‌ටනියේ සිට කුරුඳුවත්තට අහසින් යාත්‍රා කරන බවත් අහසට යන්ට ප්‍රථම කොල්ලුපිටියේ පිට්‌ටනියේ බිම දුවවා පෙන්වන බවත්, කියා තිබේ. මෙය අහසේ යාත්‍රා කරවීමට රුපියල් 5000 ක්‌ ඇප තබා ආණ්‌ඩුවෙන් අවසර ගන්නා ලදී.

1911 දෙසැම්බර් 23 වැනි දා

"ආකාශ යාත්‍රාව"

ඔස්‌ටර් නම් ජර්මන්කාරයා විසින් කොළඹට ගෙනත් තිබෙන ආකාශ යාත්‍රාව අහසේ ගමන් කරන දිනය තවම දන්වා නැත. ඉහළ යන්නේ කොළඹ කුරුඳුවත්තේ රේස්‌ පිට්‌ටනියේ සිට ය.

හර් ඔස්‌ටර් ගේ ගුවන් ගමන පිළිබඳ තතු මෙසේ පළවෙද්දී ඔහු තම හිතවතුන් අතලොස්‌සක්‌ හමුවේ අත්හදා බැලීමක්‌ විදහා දැක්‌වීම සඳහා රහසේ කටයුතු සංවිධානය කළේ ය.

1911 උඳුවප් මස නත්තල් දින අලුයම ශ්‍රී ලංකා මිහිතල මත සිට ප්‍රථම වරට ගුවන් යානයක්‌ යාත්‍රා කරනු දැකගැනීම සඳහා මුලින් ම එහි පැමිණ සිටි "සිලෝන් ඕවර්ලන්ඩ් ඔබ්සවර්" පත්‍රයේ නියෝජිතයා ඒ ඓතිහාසික අවස්‌ථාව කදිමට විස්‌තර කර ඇත.

"මේ හිමිදිරි උදැසන හිරු ඈත සිතිජයෙන් එබිකම් කරද්දී ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් ගමන සිදු කරන ලදී. දේශගුණය ඉතා හිතකර වූයේ ය. දැඩි හිරු එළියක්‌ නොතිබුණත් වැස්‌සක්‌ ද නොවිණි. මඳ සීතලක්‌ ද දැනිණ. එහෙත් වේගයෙන් හමන සුළඟක්‌ නො වී ය. එය ගුවන් නාවිකයාට පහසු ව පිණිස ම වූවා විය හැක. තවමත් පැවැති මඳ අඳුර ඔස්‌සේ පොලිස්‌ නිලධාරීන්, කාර්මිකයන් හා කුලීකාරයන් කිහිප දෙනෙක්‌ ද මේ මංගල ගුවන් ගමන පිළිබඳ පෙරමඟ කටයුතු සූදානම් කරමින් සිටියහ. ඒ. ජී. වී. හයිඩ් මහතා හා එතැනට පැමිණි එක ම කාන්තාව වූ ඒ මහත්විය ද හර් ඔස්‌ටර් ගේ ජර්මන් ජාතික හිතවතුන් පිරිසක්‌ ද ඇතුළු ව විස්‌සක්‌ පමණ දෙනා කුරුඳුවත්තේ රේස්‌ පිටියට එවිට රොක්‌ වී සිටියහ. හරියට ම 6.00 පසු වී මිනිත්තු දහයකින් හර් ඔස්‌ටර් එහි පැමිණියේ ය. ඔහුට ගමන් මඟ වැරැදීයැම පමාවට හේතු වී තිබිණ.

තුරඟ තරග පිටියේ ග්‍රෑන්ඩ් ස්‌ටෑන්ඩ් දර්ශන පථයට යාබද කූඩාරමක රඳවා තිබූ ගුවන් යානය දැකුම්කලු එකක්‌ විය. මූලික කටයුතු පිළියෙල කොට හමාර කිරීමට වැඩි වේලාවක්‌ ගත නොවිණ. හර් ඔස්‌ටර් හිස්‌ ආවරණය සහිත ගුවන් නියමු ඇඳුමෙන් සැරසී පැමිණ යානයේ වයර් ආදිය අතගා බලා, තෙල් ද යෙදුවේ ය. සුක්‌කානම ද දෙතුන් වරක්‌ කරකවා බැලීමෙන් පසු ඔහු නියමු අසුනෙහි හිඳ ගති. ඊට පසු ප්‍රේරක ක්‍රියාකාරිත්වය ද අත්හදා පරීක්‍ෂා කළේ ය. ඒ. ලුඩෙක්‌ නමැත්තා ඉතා ප්‍රවේසමෙන් ප්‍රේරකය තුන් වරක්‌ කරකවා එය ක්‍රියාත්මක වූ පසු සැණෙකින් පසෙකට පැනගත්තේ ය. ප්‍රේරකය ඉතා වේගයෙන් කරකැවෙන්නට වී එය මැෂින් තුවක්‌කුවකින් නැඟෙන හඬක්‌ වැනි ශබ්දයක්‌ නොනවත්වා පිට කළේ ය. ඉන් නැංවුණු සුළං ප්‍රවාහය ගලා හැළෙන ජලධාරාවක්‌ සේ වේගවත් විය. අවට වැසී තිබූ තණ කොළ ගස්‌ මිහිමත සමතලා වුණි. යානයේ සිටි නියමුවා සිටගත්තෙන් ඔහු ගේ ඇඟලුම් ඉරා දැමීමට තරම් සමත් සුළං පහරකට හේ ගොදුරු විය.

යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය අත්හදා බැලීමෙන් පසු යානය බැඳ තිබූ රැහැනින් එය මුදා හරින ලදී. ප්‍රේරකය කෙමෙන් වේගයෙන් කරකැවිණ. එදෙස බලා සිටි අය එහි සැඩ සුළං පහරට අසු නොවීම පිණිස සැණෙන් ඈත් මෑත් වූහ. කූඩුවකින් එළියට පිවිසි පක්‍ෂියෙකු මෙන් යානය කූඩාරමෙන් එළියට ඇදිණ. මුල දී සෙමින් ගමන් කළ එය ග්‍රෑන්ඩ් ස්‌ටෑන්ඩ් පථය පසුකොට ඒමට යාර දෙතුන් සියයක්‌ පමණ බිම දිගේ ගොස්‌ ආපසු හැරී නියම ගමන්මඟට පිවිස යාත්‍රා කරන්නට විය. සැඩ සුළඟක්‌ මෙන් පැයට සැතපුම් 30 ක පමණ වේගයකින් ඉදිරිය බලා එය යද්දී වැඩුනු රැවුලකින් යුතු වූ නියමුවා ගේ මුහුණේ රැඳී තිබූ ඉරියව් එය සෙල්ලම් ගමනක්‌ නොවන බැව් මොනවට පැහැදිලි කළේ ය. අවට සිටි නරඹන්නන් විස්‌මයෙන් මුසපත් ව සිටිය දී ගුවන් යානය ඉහළ අවකාශය බලා පියාසර කරන්නට විය. එය ඉතා දැකුම්කලු අපූර්වතම දර්ශනයක්‌ විය. යානය අඩි 50 ක්‌ පමණ ඉහළ ගොස්‌ තරමක්‌ පහළ බස්‌සන්නට වී යළි උඩ නැංගේ ය.

මෙසේ එය ගුවන සිසාරා යත් ම බලාපොරොත්තු රහිත ව එහි පිටුපස වේගයෙන් ගැස්‌සී අඩි 15 ක්‌ පමණ පාත්වීමෙන් පසු මුළු යානය ම වෙවුලීමකට බඳුන් වී එක්‌ පසෙකට ඇලවී පාත්වන්නට විය. තුවාල වූ කුරුල්ලකු මෙන් ඇල වී කඩා වැටෙන්නට වූ එය "තඩ්" යන අනුකරණයෙන් මඩ ගොහොරුවකට පතිත විණ. එය එසේ වැටීමට නිමේශයකට පෙර රවුමට කරකැවී ග්‍රෑන්ඩ් ස්‌ටෑන්ඩ් දර්ශන පථයට මුහුණ ලා වැද හොත්තේ ය.

බලාසිටියවුන් නැඟූ කෑ කෝ ගැසීම් හා විලාප හඬ තුනී වී ගියේ කඩා වැටුණ යානයෙන් හර් ඔස්‌ටර් නිරුපද්‍රිත ව බිමට බැස එහි අත්තටු යනාදිය පිරික්‌සන්නට වූ විට ය. හර් ඔස්‌ටර්ට මෙහිදී කිසි දු අනතුරක්‌ වූ බැව් නොපෙනුණු අතර, යානයේ යන්ත්‍රයට ද හානි වී නොතිබිණ. එහි අත්තටු සවිකර තිබූ යකඩ කම්බි බුරුල් වී තිබුණු අතර, විශාලතම හානිය වූයේ යානයේ යන්ත්‍රයට යටින් තිබූ තහඩුව දරුණු ලෙස පොඩිපට්‌ටම් වී තිබීමෙනි. එහි පිටුපස රෝද දෙක ද බකල් ගැසී තිබිණි. තවද යානයට සවි කළ ලී තට්‌ටුවක්‌ ද දෙදරා ගොස්‌ තිබිණි.

නමුත් ඒ වීර නියමුවා කිසි දු පසුතැවීමකින් හෝ කලබලයකින් තොර ව වහා කූඩාරම තුළට වැදී එහි තිබූ අතිරේක රෝදයක්‌ ගෙනැවිත් අනෙකුත් කාර්මිකයන් ගේ ද සහායෙන් අබලන් වූ රෝද දෙක වෙනුවට ඒවා යානයට සවි කළේ ය. ඊට පසු කුලීකාරයන් පිරිස ලවා උණ බටවල ආධාරයෙන් යානය සමබර වන සේ තනි රෝදය මත තබා තල්ලු කරගෙන ගොස්‌ ආපසු එය කූඩාරමේ ගාල් කොට තැබුවේ ය. අනතුරුව එය පිළිසකර කිරීමේ හැකියාව ගැන සලකා බැලූ ඔස්‌ටර් තව දින දෙක තුනකින් තමා යළිත් ඒ යානය පදවන බැව් අනාවරණය කළේ අප්‍රතිහත ධෛර්යකිනි. සිදු වූ අනතුරට හේතු සොයා බැලීමේ දී තුරඟ තරග පිටිය හරහා ඉහළින් ඇද තිබූ යකඩ කම්බිය ගැන නොසලකා යානය පැදවීම ඊට බාධක වූ බැව් හෙළි විය. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිදු වූ ඒ ගුවන් ගමන හා ඒ සමඟ එළැඹි අනතුර ජීවිත හානියකින් තොරව කෙළවර වූයේ හර් ඔස්‌ටර් ගේ දක්‍ෂකම නිසා බැව් එහි සිටි පිරිසට අමුතුවෙන් අවබෝධ කළ යුතු නොවිණි."

හර් ඔස්‌ටර් ගේ ඒ ඓතිහාසික ගුවන් ගමන හා ඉන් පසු සිදු වූ සිද්ධීන් ද එදා මෙසේ වාර්තා විණි.

1912 ජනවාරි 12 වැනි දා

"ආකාශ යාත්‍රාව"

"දැනට කොළඹ තිබෙන ආකාශ යාත්‍රාව පසුගිය දා කුරුඳුවත්තේ දී සිදු වූ තුවාල හරි ගස්‌සා නිමකර තිබෙන බැවින්, නැවතත් අහසේ යැමට හර් ඔස්‌ටර් මහත්මා ගේ කල්පනාව ය. ලබන සතියේ දිනක යාත්‍රාවෙන් ඉහළ යනවා ඇත".

1912 ජනවාරි 13 වැනි දා

"ආකාශ යාත්‍රාව"

බ්ලැරියට්‌ මොනෝ ප්ලේන් නම් ආකාශ යාත්‍රාව පසුගිය දා අහසේ ගමන් කරන්නට ගොස්‌ තුවාල ලැබූ නමුත් ඒ සියල්ල හරි ගස්‌සා නැවතත් ලබන සෙනසුරාදා කොළඹ කුරුඳුවත්තේ සිට අහසට නැඟීමට යාන්ත්‍රික ඔස්‌ටර් උන්නැහේ ගේ කල්පනාව බව කියා තිබේ. මේ යාත්‍රාව පසුගිය බදාදා අප්‍රසිද්ධ වශයෙන් කොළඹ කොල්ලුපිටියේ දී අහසට නැඟී ස්‌වල්ප වේලාවක්‌ සතුටුදායක ලෙස අහසේ ඔබ මොබ ගමන් කළ බවත් දන්වා තිබේ.

1912 ජනවාරි 22 වැනි දා

"අහස්‌ යාත්‍රාකරු"

දැනට කොළඹ තිබෙන බ්ලැරියට්‌ නම් අහස්‌ යාත්‍රාව පසුගිය දා ඉහළ යන්නට ගොස්‌ බිම වැටී සිදු වූ තුවාල හරි ගස්‌සා නැවතත් ප්‍රසිද්ධියේ ඉහළ යන්නට පෙර නැවතත් පසුගිය බදාදා ඉහළ ගොස්‌ අඩි 80 ක්‌ පමණ අවකාශයේ ගොස්‌ යාන්ත්‍රික ඔස්‌ටරුත් සමඟ බිම වැටී නැවතත් තුවාල ලැබුවේ ය. ඔස්‌ටර් උන්නැහේ තද බල තුවාල ලැබ දැනට ප්‍රතිකාර ලබයි. නැවත වරක්‌ ඉහළ යැමට ඔස්‌ටර් උන්නැහේ ගේ කල්පනාව යෑයි දැන ගන්නට තිබේ.

(උපුටා ගැනීම ලේඛකයාගේ අශ්ව කෝච්චියෙන් ආකාශ යාත්‍රාවට නමැති ග්‍රන්ථයෙනි)