" සත පහකට විශ්වාස කරන්න බැරි පොලිසියක් මේක "

වදහිංසාව පිලිබඳ ලාංකික ස්ත්‍රීන් - සම්මුඛ සාකච්චාව 01


ශ්‍රී ලංකාවේ පොලිසිය පිලිබඳ විනිවිදීමක් ලෙස මෙම සම්මුඛ සාකච්චා හැඳින්විය හැකිය. එහි පළමු කොටස මෙලස පල කිරීමට තීරණය කරණු ලැබුවේ මේ වන විට සමස්තයක් ලෙස දේශපාලන බලාධිකාරිය තුළ පොලිස් ප්‍රතිසංස්කරණයක් සිදු විය යුතු බවට මුලික අදහසක් පවතින බැවිනි. මහජනතාවට සාධාරණය ඉටු වන පොලිස් සේවයක් ලංකාවේ ක්‍රියාත්මක වීම සඳහා කෙතරම් කාලයක් ගත වන්නේදැයි අනුමාන කළ නොහැක්කේ පොලිස් ස්ථාන තුළ සිදුවන සාපරාධි අපරාධ තවමත් අඛණ්ඩව සිදු වන හෙයිණි.



ශ්‍රී ලංකා ගාර්ඩියන් විශේෂ වාර්තා කරුවෙකු විසිනි


ඩි. හේමන්ති මහත්මිය පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි හෙද නිළධාරිනියක් වන ඇය දැනට රජයේ ආයතනයක සේවයේ නියැලෙන බැවින් අන්‍යතාවය හෙළි කිරිමට අකමැති බව පවසන ලදි.


1 පොලිස් ක‍්‍රමවේදය ගැන කුමක් සිතන්නේද ?

සත පහකට විශ්වාස කරන්ට බෑ. අපේ රාජකරියත් සමඟ යම් යම් අවස්ථාවල පොලිසිය සමඟ අදහස් හුවමාරු කරගන්නට වන අවස්ථා තියෙනවා. උදාහරණ ලෙස කියනවා නම් වෛද්‍ය පරික්ෂණ සඳහා පොලිසියෙන් සැකකරුවන් රෝහලට රැගෙන එන අවස්ථාවේදි අපිත් ඔවුන් සමඟ කථා බස් කරනවා. නමුත් කිසිදු විශ්වාසයක් මාගේ නම් පොලිසිය කෙරේ නෑ.

උදාහරණයක් ලෙස පවසනවා නම්, දිනක් පොලිසියෙන් පොලිසිය තුළදී එල්ලිලා මැරුණු බවට සැක කරන පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් රැගෙන ආවා වෛද්‍ය පරික්ෂණයට. මෙහිදි මාගේ රාජකාරි කාලය තුල මෙවැනි අවස්ථා කිහිපයකට මට මුහුණ දිමට සිදු වෙලා තියෙනවා. නමුත් මෙදින එම මෘත ශරිරය රැගෙන ආ ආකාරය සැබැවින්ම සැක සහිතයි. එම පුද්ගලයාගේ ලණුව පොලිසිය තුළදීම ඉවත් තර තිබු අතර සාමාන්‍යයෙන් එල්ලිලා මැරෙන පුද්ගලයෙකු තූලින් දැකිය හැකි ශාරිරික වෙන්සකම් එම පුද්ගලයාගේ මෘත ශරීරය දැකිමේදි අප හට දැක ගැනිමට නොහැකි විය. සැබැවින්ම මෙවැනි දේ සැක සහිතයි. නමුත් කිසිවෙකු එවැනි දේ වලට විරුද්ධව හඬක් නැගිමට කැමති නැහැ. පොලිසිය කෙරෙහි ගමේ මිනිසුන් තුළ පවිතින අධික බිය නිසා මේ දේවල්ට මේ ප‍්‍රදේශයේ මිනිසුන් කෙරේ පවතින බිය නිසා මේ දේවලට මේ ප‍්‍රදේශයේ මිනිසුන් කෙරේ පවතින අඩු අධ්‍යාපනික මට්ටම හා නොදැනුවත්කම නිසා මේ දේවල ඉතා ලෙහෙසියෙන් යටපත් කිරිමට හා වෙනත් අතකට යොමු කිරිමට හේතු වෙලා තියෙනවා.

එසේම මේ ප‍්‍රදේශයට ආසන්න ප‍්‍රදේශයක සිදු වී ඇති සිද්ධියක් ගැන මා ජනමාධ්‍ය තුලින් තොරතුරු දැක්කා. ඒ අනුව නාවුල, ඇලහැර මාර්ගයේ ගමන් ගත් ටිපර් රථයක් මාර්ගය අයිනේ සිටි අවුරුදු 31 පමණ වන තරුණ පුද්ගලයෙකු යට කිරිම නිසා එතනදීම මිය ගොස් ඇති අතර එම ප‍්‍රදේශයේ පොලිසිය විසින් ඒ ස්ථානයට ගොස් අදාළ සාක්ෂි එනම් එම ටිපර් රථයේ රෝද සලකුණු මකා දැමිම හා වෙනස් කිරිම එම ප‍්‍රදේශවාසින් දැක ඇති බව අනාවරණය කරන ලදි. සැබැවින්ම මෙවැනි දේ ඉතාමත් කණගාටුවිය යුතු තත්වයන්. කුමන ආකාරයේ හෝ ධනය හා ධනය ඇති පුද්ගලයන් හමුවේ පොලිසියේ ක‍්‍රියා කලාපය මේ ආකාරයෙන් සිදු කිරිමට පොලිසිය පසුබට වන්නේ නෑ.

කෙටියෙන්ම කියනවා නම් ධනය, බලය, හමුවේ යුක්තිය, සාධාරනත්වය යට යන අතර අයුක්තිය, අසාධාරණය රජ කරනවා. අපිට ඇස් ඉදිරිපටම දැක ගත හැකි වෙලා තියෙනවා. මේ දේවල තුළින් මට කිසිවිටෙක පොලිසිය ශත පහකට විශ්වාස කරන්නේ නෑ.

2 පොලිසිය හා මහජනතාව අතර පවතින සබඳතාව..............

යහපත් සබඳතාවයක් පවතිනවා යැයි කියන්ට බෑ. පොලිසිය කෙරේ පවතින බිය නිසා කිසිවෙකු ඔවුන් තුළ පවතින සැබෑ අකැමැත්ත පෙන්නුම් කරන්නේ නැහැ. අප රෝහලට ප‍්‍රජා සේවයට යොමු කරන පුද්ගලයන් පවසන පරිදි බොරු නඩු පවරා ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන බව පවසනවා. වැඩිදුරටත් ඔවුන් ප‍්‍රකාශ කරන පරිදි පොලිසියට අධිකරණයට ගොනු කළ යුතු නඩු සංඛ්‍යාවක් පවතින බවත් එම ප‍්‍රමාණය කෙසේ හෝ සපුරා ගැනිමට පොලිසිය උත්සහ කරන නිසා මෙලෙස බොරු චෝදනා මත නඩු පැවරිම සිදු කරන බව පවසනවා.

තවත් උදාහරණයක් පවසනවා නම්, රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගත් කාන්තාවක් හිටියා ඇය පැවසු පරිදි ඇයට දරුවන් 04 දෙනෙකු සිටිනවා. බාල දරුවාට අවුරුදු1 1/2 යි. දිනක් ඇය සිටි නිවස කිසියම් පුද්ගලයන් පිරිසක් විසින් ගිණි තබා විනාශ කර ඇති අතර එහිදි පොලිසිය විසින් මෙම කාන්තාව විසින්ම තම නිවසට ගිනි තබා ගෙන ඇති බවට අප සමඟද පැවසුවා. පසුව එම කාන්තාවගෙන් තොරතුරු විමසා සිටිමේදි එම කාන්තාවගේ ඉඩමට යාබඳ ඉඩමේ වාසය කරන පුද්ගලයන් විසින්් මෙම කාන්තාව පන්නා ගැනිමට මෙලෙස ඇගේ නිවසට ගිණි තබා විනාශ කර ඇති බවත් ඇය ඒ සිද්ධිය වන විට රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගනිමින් සිටි බව අපිද දන්නා කරුණකි. නමුත් පොලිසියෙන් මෙලෙස බොරු චෝදනා නගන්නේ ඇගේ නිවසට යාබඳ ඉඩම් අයිතිකරුවන්ගේ බලපෑම නිසා බව ඇය පවසයි.

එසේම පොලිසියේ මම විසින් ඇයගේ දරුවන් බෝරු චෝදනා නගමින් පරිවාසයට භාරදි ඇති බවත් වයස 1 1/2 ක් වන කුඩා දරුවා ඉතා අපහසුවෙන් ඇය භරයට ගත් බවත් අනෙක් දරුවන් තවමත් පරිවාස භාරයේ සිටින බවත් ඒ සියල්ල ඇය එම ඉඩමෙන් පලවා හැරිම සඳහා සිදු කරන ලද බොරු චෝදනා බවත් ඇය පවසයි.

මේ සියළු දේ තුළින් පොලිසිය සහ මහජනතාව අතර මනා යහපත් සබඳතාවයක් දැක ගත නොහැකි බව සනාථ වේ.


03 පොලිස් වඳ හිංසාව ගැන ඔබ හිතන්නේ කුමක්ද ?

මේ තත්වය මේ ප‍්‍රදේශය තුළ බහුලව දැක ගත හැකියි. මම මුලින් ප‍්‍රකාශ කළ පරිදි ප‍්‍රජා සේවයට පැමිණෙන පුද්ගලයන් ප‍්‍රකාශ කර සිටින්නේ ඔවුන්ට බොරු චෝදනා නගමින් මෙලෙස උසාවියට නඩු ගොනු කරන බවයි. මේ තත්වයද සැබැවින් පොලිස් වද හිංසා යටතටම දැමිය හැකි තත්වයක් කියලා මට හිතෙනවා. එසේම තවත් පුද්ගලයන් පවසන පරිදි දඩ මස් ළඟ තබා ගෙන හසුවන ධනයෙන් බලයෙන් පොහොසත් පුද්ගලයන් හට එම වරදට විශාල දඩයක් ගැසිමට සිදුවන නිසා බීමතින් අශෝභන ලෙස හැසිරිම වැනි වරදක් සඳහා නඩු පවරන බවත් නමුත් නියම වරද සඟවා තැබීමට පොලිසිය උදවු කරන බවත් ප‍්‍රකාශ කර සිටි. එසේම මෙලෙස බීමතින් අශෝභන ලෙස හැසිරිම වැනි වැරදි සඳහා අත් අඩංගුවට ගන්නා පුද්ගලයින්ට පොලිසිය තුළදි නොයෙකුත් වද හිංසාවලට ලක්වීමට සිදුවන බව පවසයි. එවැනි පුද්ගලයට ප‍්‍රසිද්ධියේම දඩුවම් කරන බවත් ඔවුන් පවසයි.

මා දන්නා තරමින් පොලිස් නිළධාරින්ට පොලිස් වද හිසංවට එරෙහිව පනතක් පනවා තියෙනවා. මේ තූලින් හෝ මෙම වද හිංසාව අඩුවක් දැක ගත නොහැකි බව මාගේ හැගිමයි. කෙසේ හෝ මෙම පොලිස් වද හිංසාව තුරන් කිරිමට පියවර ගැනිම කාලින අවශ්‍යතාවයක් බවට පත් වී තියෙනවා. මේ හේතුව නිසා අත්‍යවශ්‍ය කරුණකට පවා පොලිසියට යෑමට බිය වන තත්වයක් උද්ගත වීම නොවැළැක්විය හැකියි.

එසේම පැමිණිල්ලක් කිරිමට යන පුද්ගලයන්ට සලකන ආකාරය කථා බස් කරන ආකාරය යනාදිය පවා මෙම පොලිස් වද හිංසාව යටතේ සාකච්ඡුා කළ හැකියි. මොකද කායික හා මානසික දෙයාකාරයෙන්ම මෙම වද හිංසාව යන්න පොලිසිය තුළදි සිදු වන බව අප දන්නා කරුණකි.

4 ඔබට ප‍්‍රශ්නයක් පවතිනවා නම් ඔබ පොලිසියේ සහන ලබා ගන්නවාද ?

පොලිසියේ මම අදුනන අය ඉන්නවා. ඔවුන් සමහර විට මට උදවු කරයි කියලා හිතෙනවා. හැබැයි මෙතෙක් මා හට පොලිසියට යෑමට සිදු වෙලා නැහැ. අදුනන අය සිටියට පොලිසිය තුළදි ඔවුන්ගේ ක‍්‍රියා කලාපය කෙසේ වේදැයි කියන්ට බෑ. ඒකයි මම මුලින්ම පැවසුවේ පොලිසිය කෙරේ මා තුළ ශත පහකවත් විශ්වාසයක් නැහැ කියලා. කොහොම නමුත් මට කියන්ට තියෙන්නේ පොලිසියකට උසාවියකට යෑමට නොවේවායි කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. මේ ආයතන දෙකේම අපි දන්නා පරිදි හිතාමතා මිනිසුන් රස්තියාදු කරන අතර මිනිසුන්ට කිසිදු පිළිගැනිමක් නැති ආයතන.

ඒඅනුව මට පෞද්ගලිකව කරදරයක් හානියක් සිදුවුවහොත් පාඩුව දරා ගන්නවා විනා පොලිසියකට යෑමට මාගේ කැමැත්තක් නැහැ.

6 ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනතක් පවතිනවාද ? ඒ පිළිබඳ අදහස

මෙවැනි පනතක් පවතිනවා කියා දන්නවා. රෝහලට ගෘහස්ථ හිංසනය නිසා පීඩාවට පත් කාන්තාවන් විශාල පිරිසක් පැමිණෙනවා ප‍්‍රතිකාර ගැනිම සඳහා. මේ ප‍්‍රදේශයේ වැඩි වශයෙන් මේ දේවල් සිදුවන්නේ බීමට ඇබ්බැහි වී ඇති ස්වාමි පුරුෂයන් නිසා විශේෂයෙන්ම කසිප්පු ජාවාරම මේ ප‍්‍රදේශයේ බහුලව සිදුවනවා. එලෙස බීමතින් පැමිණ සිදු කරන පහර දීම් හා ගිනි තැබීම් ප‍්‍රමුඛ ස්ථානයක් ගන්නවා.

උදාහරණයක් ලෙස එක් කාන්තාවකට ස්වාමියා බීමතින් පැමිණ කිහිපවිටත් ඇයට භූමිතෙල් තුමා ගිනි තැබීමට උත්සහ කරන ලද අතර ස්වාමියා ගිනි කූරු දල්වා ඇයගේ ඇගට ලං කරන විටම ඇය කෙසේ හෝ එය නිවා දමා බේරි ඇත. නමුත් දිගින් දිගටම මේ දේ සිදු කරන නිසා ඇය තම ස්වාමියා විසින් ඇය බිය වැද්දිමට පමණක් මේ දේ සිදුකරනවා යැයි සිතා ඇය විසින් ගිනි කූර නිවීමට උත්සහ දරා නැත. ඒ අනුව මෙදින ස්වාමියා විසින් පෙර පරිදිම භූමිතෙල් දමා ගිනි කූරක් ගසා ඇයට ගිනි තබා ඇත. එහිදි ප‍්‍රදේශවාසින් මැදිහත්වී වහාම රෝහල කරා රැගෙන ආ නිසා ඇයගේ ජිීවිතය බේරා ගැනිමට හැකි වු බවත් පසුව පොලිසියට රෝහල මගින් කරන ලද දැනුම් දිීමකින් පැමිණ පැමිණිල්ල සටහන් කර මෙම පනත යටතේ නඩු දැමීමට උත්සහ කළද ඇගේ ඉල්ලිමට නඩු දමා නැති අතර සමාදාන වී ඇත.

මේ දේ අනුව පෙනි යන්නේ ඔවුන්ගේ තිබෙන ආර්ථික අපහසුතා හා ස්වාමියා නොමැති වුවහොත් ඔවුන්ට ජිවත්වීමට හැකියාවක් නොමැති වන බව ඔවුන් දන්නා බැවින් මෙලෙස කෙසේ හෝ සමාදාන වීමට උත්සාහ කරන බවයි. මේ සිද්ධියට අදාළ පාර්ශවයන් අවුරුදු 19 පසුවන බවත් ඔවුන්ට මේ වන විටත් වයස අවුරුදු 1 1/2 දරුවෙකු ද සිටින බවත් ඇය පවසයි.

මේ දේවල් අනුව මේ ප‍්‍රදේශයේ පුද්ගලයන්ගේ පවතින අඩු අධ්‍යාපන තත්වය හා නොදැනුවත් භාවය මේ සියලූ දේ සඳහා බලපාන බවයි. ඉතා කුඩා වයසේදි ඔවුන් විවාහ වී දරුවන් බිහි කරන අතර, ටික කාලයක් යන විට සිදු කරන මෙවැනි පහරදීම් ගිනි තැබිම් සියල්ල තම දරුවන් නිසා හා දුප්පත්කම නිසා ඉවසා සිටිමට ඔවුන්ට සිදුවේ. මේ නිසා නීතින් කොතෙක් තිබුනද නීතියේ රැකවරණය ලබා ගැනිමට ගියහොත් ඔවුන්ගේ ආර්ථික තත්වය රැක ගැනිමට, පවුල රැකගැනිමට නොහැකි වේ යැයි යන බියෙන් ඔවුන් නීතිය ඉදිරියට යාමෙන් වැළකි සිටි. මේ නිසාම මේ ප‍්‍රදේශයේ කාන්තා හිංසනය ඉතා විශාල ලෙස සිදුවෙමින් පවති.

Tell a Friend