පාසල් වල ආරක්ෂාව ගැන අසත්‍ය ප්‍රචාර පතුරුවන අය සම්බන්ධ දැඩි පියවර


පාසල්වල අධ්‍යාපන කටයුතු මේ වනවිට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ඊයේ සහ පෙරේදා දිනයට සාපේක්ෂව අද (8) දිනයේ දී පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ ගොස් ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ වාර්තා පෙන්වා දේ. 

මේ අතර රාමසාන් උපවාසය වෙනුවෙන් සියලුම මුස්ලිම් පාසල් මේ වන විට නිවාඩු ලබා දී ඇති අතර සිසුන් පැමිණීමේ සමස්ත ප්‍රතිශතයට එයද බලපා තිබේ.

කෙසේවුවත්, අධ්‍යාපන අමාත්‍යංශය අද නිකුත් කළ නිවේදනයක දක්වා තිබෙන්නේ, පාසල් වල ආරක්ෂාව සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පතුරුවන අය සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවයි. 

මෙහි වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ, 

‘‘පාසල් තුළ සහ ඒ අවට ආරක්ෂක තත්ත්වයන් තහවුරු වී ඇති බව ආරක්ෂක මණ්ඩලය ප්‍රමුඛ ආරක්ෂක අංශ දැනුම් දීමෙන් පසු පසුගිය සඳුදා පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබුවා.

ඒ අනුව මේ වන විට පාසල් වෙත සිසුන්ගේ පැමිණීම ඉහළ යමින් පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් ඇති අතර අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වීමට පියවර ගන්නා ලෙසද අධ්‍යාපනය අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානින් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් යම් කණ්ඩායම් පාසල් කටයුතු අඩාල වන අන්දමින් ප්‍රකාශ සිදුකරමින් සිටින බවට පැමිණිලි රැසක් අධ්‍යාපනය අමාත්‍යාංශය වෙත ලැබී ඇති අතර ඇතැම් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ද, දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස බලපෑම් කරන බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

විවිධ දේශපාලන පටු අරමුණු සහ අවස්ථාවාදී මතවාද සහ පුද්ගලික කරුණු මත පදනම්ව කටයුතු කරන එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීමට අධ්‍යාපනය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එමෙන්ම එවැනි පුද්ගලයන් සහ කණ්ඩායම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ලබාදීමට කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා'' යන්නයි.


සිසුන්ගේ පැමිණීම