මීලඟ මැතිවරණයේදී ඡන්දදායකයෙකු වන ඔබේ වගකීම


සිරිසේන මහතාගේ අධිපතිකාරී දේශපාලන රටාව විසින් සිංහලයින් තවදුරටත් අනාථ කිරීම පමණක් නොව, සමස්ථ ප්‍රජාව යළිත් ගොඩ නොඑන මට්ටමට හෑල්ලුවට ලක්කොට තිබේ. බරපතළ රැවටිලිකාරයෙකු විසින් රටේ අනාගතය අකුලේ හෙළා ඇත.







කතු වැකිය

මෙරට විධායක ජනාධිපතිවරයා කිසිම වගකීමකින් තොරව තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා සමස්ථ රාජ්‍යය ව්‍යාකූලත්වයකට තල්ලු කොට ඇත. රටේ ව්‍යවස්ථාව ඔහුට තම සිතැඟියාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා වූ හුදු ලියවිල්ලක් පමණක් බවට පත් කරගෙන ඇත. මීට සුළු මොහොතකට පෙර හෙතම ජාතිය අමතමින් තම දේශපාලන ව්‍යාකූලතාව වසා ගැනීම සඳහා පුහු තර්ක ඉදිරිපත් කරමින් අදහස් දක්වනු ලැබීය. ඔහුගේ අගමැති වරයා ලෙස පත්කොට ඇති රාජපක්ෂ මහතා මේ වන විටත් ඔහුට මදි නොකීමට සරිලන සේ හොඳ පාඩමක් උගන්වා ඇත. තවත් දෑ ඉදිරි මාස කිහිපය තුළ මුහුණ දීමට සිදුවනු ඇත.

සිරිසේන මහතාගේ අධිපතිකාරී දේශපාලන රටාව විසින් සිංහලයින් තවදුරටත් අනාථ කිරීම පමණක් නොව, සමස්ථ ප්‍රජාව යළිත් ගොඩ නොඑන මට්ටමට හෑල්ලුවට ලක්කොට තිබේ. බරපතළ රැවටිලිකාරයෙකු විසින් රටේ අනාගතය අකුලේ හෙළා ඇත. මේ සියල්ල සිදුකර ඇත්තේ තනි පුද්ගලයෙකුගේ පෞද්ගලික අසමත්භාවය වසා ගැනීම සඳහා රටේ නීතිය තමන්ගේ බූදලයක් බවට පත් කර ගැනීමෙනි. මේ සියල්ලම පෞද්ගලික වුවමණාවන් මිස මේ කිසිවෙකුට රට ගැන හැඟීමක් නැත.

ජනාධිපති සිරිසේන විසින් නිර්මාණය කොට ඇති මෙම සංකීර්ණ දේශපාලන අර්බුදය විසඳා ගැනීමේ වගකීම ජනතාව සතු මූලික වගකීමකි. එබැවින් මෙම ඉතාම සංවේදී ජනක අවස්ථාවේදී ජනතාව සතු මූලික වගකීම සහ යුතුකම හඳුනා ගැනීම වැදගත් වේ. මෙරට ඉතිහාසය දෙස බැලූ විට, බලයට කෑදර වූ අයවලුන් විසින් සිදුකරණ අපහරණයන් නිසා සාමන්‍යය ජනතාව ප්‍රචණ්ඩත්වය දෙසට තල්ලු කරනු ලැබීය. ජනාධිපති සිරිසේන විසින් තම දේශපාලන බලය ඔහුට අවශ්‍යය ආකාරයෙන් භාවිතා කරමින් රටට සිදුකොට ඇති මෙම අඩත්තේට්ටම අවසානයේ විශාල ප්‍රචණ්ඩත්වයක් දෙසට තල්ලු වීමේ අවදානමක් තිබේ.

යමක් තම පාලනය තුළ තිබෙන තාක් දුරට එය කළමනාකරණය කිරීම සඳහා අවස්ථාවක් ලැබේ. නමුත් එය තම පරිපාලනයෙන් තොර වූ විට එමඟින් සිදු කරන විනාශය සුළුපටු නොවේ. මීට කදිම නිදසුන ශ්‍රී ලංකාවේ සරල ඉතිහාසයයි. තම බල තණ්හාව මුදුන් පමුණුවා ගැනීමට ගොස් රටේ ජනතාව ලෝකය හමුවේ අපකීර්තිය පත් වූ එක් අවස්ථාවක් වූයේ 1983 කළු ජූලියයි. එවැනිම ආකරයෙන් සිදුවීම්, අලුත්ගම, අම්පාර සහ මහනුවර- දිගන ආදී ප්‍රදේශ වලදී මෑත කාලීනව වාර්තා විය. එම සිදුවීම සියල්ලම මැදිහත්ව ගෙන විමසීමේදී පෙනී යන්නේ, මෙරට සාමන්‍යය ජනතාව ප්‍රචණ්ඩත්වය දෙසට තල්ලු කිරීමේ පහසු තත්වයයි.

වසර ගණනාවක් තිස්සේ ගැටුම් පැවති රාජ්‍යයන් සහ පරිපාලන කලාපයන් වල අත්දැකීම් වලින් උගන්වා ඇති මූලික යථාර්ථයක් තිබේ. එනම්, ගැටුම් සඳහා හේතූ වූ කාරණා වලට නිසි පිළිතුරක් ලබා නොදුන් සෑම සමාජයක්ම වසර දහයක් වැනි කාලයක් තුළ යළිත් ප්‍රචණ්ඩත්වය තම විරෝධය ප්‍රකාශ කිරීමේ අවිය ලෙස භාවිතා කරන බවයි.

ජනාධිපති සිරිසේන, අනෙකාට චෝදනා කරමින් කාලය ගත කොට තමන් සුදනා වීම සඳහා තමන්ට අතදුන් දේශපාලන බලවේගයට පයින් ගසා තම පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට යාමේදී අමතකකර ඇති මූලික කාරණය මෙයයි. ඔහුට ඔහු පාලනය කර ගැනීමේ කුසලතාවයක් නොමැති බව, පසුගිය දින කිහිපය තුළදී සිදු කරනු ලැබූ කටයුතු වලින් පැහැදිලිවම ඔප්පු වේ. විශේෂයෙන් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 වන තෙක් කල් දැමු ඔහු, පසුව එය නොවැම්බර් 14ට වෙනස් කළේය. ඉන්පසු විශාල පරිශ්‍රමයක් දරමින් පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට උත්සහ කළ හෙතම එය නොහැකි බව වැටහුණු තැන පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. මෙය වසා ගැනීම සඳහා ඔහු විසින් තමන්ගේ සමීපයට ගත් පිරිස විවිධ කතා ගෙතුවද සියලුම දෙනාට මුහුණ දීමට ඇති සත්‍යය තත්වයක් තිබේ. මන්ද මෙම ජනාධිපතිවරයා රටකට සහ එහි ජනතාවට කළ හැකි උපරිම විනාශය සිදුකොට ඇති බැවිනි.

මෙවැනි වටපිටාවක් හමුවේ, ජනවාරි මාසයේදී පවත්වනු ලබන මැතිවරණයේදී රටේ ජනතාවගේ වගකීම වන්නේ කුමක්ද? මෙම මැතිවරණය 2015 පැවති මැතිවරණයට වඩා තීරනාත්මක මැතිවරණයක් වන මෙහි, දැනටමත් ජයග්‍රහණය සමරන කණඩායමක් සිටිති. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමයි. පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව යමින් ඒ හා සමාන හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ජනතා කැමැත්ත ලබා ගැනීමේ හැකියාවක් තමන්ට ඇතැයි ඔවුහු විශ්වාසයෙන් පසුවෙති.

තොරතුරු කෙසේ වෙතත්, ඕනෑම අයෙකු අමතක නොකළ යුතු මූලික කාරණයක් තිබේ. එනම්, ජයග්‍රහණය බලෙන් ලබා ගත නොහැකි බවයි. 2019 මැතිවරණයද සිරිසේන, සහ රාජපක්ෂ නොහිතන අන්දමේ ප්‍රතිඵලයක් ජනතාව විසින් ලබා දෙනු ලැබුවහොත් පුදුම විය යුතු නැත.

මෙවැනි තත්වයක් යටතේ රටේ ජනතාව හමුවේ ඇති මූලික වගකීම කුමක්ද? ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පෞද්ගලික අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා විවිධ ස්වරූපයෙන් අවභාවිතා කරන කණඩායමක් සමස්ථ ජනතාවගේ මූලික අයිතීන් කප්පාදු කොට තිබේ. ඇතැමෙකු දේශප්‍රේමී වෙශයෙන්ද; තවකෙකු බටහිර ගැත්තෙකුගේ ස්වරූපයෙන්ද සිදු කරමින් සිටින්නේ එකම කටයුත්තය.

මෙවර මැතිවරණය තවත් එක් තීරණාත්මක මැතිවරණයක් වන අතර එහිදී ජනතාව තම අපේක්ෂයා තෝරා ගැනීමේදී මූලික කාරණා කිහිපයකට අවධානය යොමු කරන්නේ නම් වැදගත් වේ . එවැනි මූලික කාරණා කිහිපයක් පහත පරිදි සඳහන් කළ හැකි වේ.

01. අපේක්ෂයාගේ සැබෑ අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කොට ඇත්තේද යන වග?
02. අපේක්ෂකයාගේ සහ ඔහුගේ පවුලේ ළඟම ඥාතීන්ගේ වත්කම් සහ බැරකම් සම්බන්ධයෙන් රජයේ පිළිගත් ආයතනයක් විසින් සිදු කරනු ලැබූ විඝණන වාර්තා ඔහු ඉදිරිපත් කිරීමට සමත් වී තිබේද යන වග?
03. අපේක්ෂකයා සම්බන්ධයෙන් කුමන හෝ අධිකරණයක් හමුවේ නඩු පවරා ඇත්තේද? ඒ කුමන කාරණයක් වෙනුවෙන්ද යන වග?
04. එලෙස නඩු පවරා ඇති කාරණා සම්බන්ධයෙන් අදාළ අපේක්ෂකයා කටයුතු කොට ඇති ආකාරය කුමක්ද යන වග?
05. අපේක්ෂකයා මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිටියේ නම් ඒ සිටි කාලයේදී කළ කටයුතු සම්බන්ධයෙන් ඇති තක්සේරුව?
06. අපේක්ෂකයාගේ පවුලේ සාමාජිකයින් විසින් අදාළ අපේක්ෂකයාගේ දේශපාලන බලය අයුතු ලෙස භාවිතා කරමින් මෙරට නීතිය අවභාවිතා කොට ඇත්තේ යන වග?
07. අපේක්‍ෂකයාට ජාතික වශයෙන් රට මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ඇති අවබෝධය සහ එම ගැටලු විසඳීම සඳහා ඔහු විසින් සකස් කරනු ලබන ලිඛීත ප්‍රතිපත්තියක් තිබේද යන වග?
08. ඔබේ ජීවිත වල සහ ඔබේ දරුවන්ගේ ජීවිත වල වගකීම ලබා දීමේ විශ්වාසයක් අදාළ අපේක්‍ෂකයාට තිබේද යන වග?
09. අපේක්‍ෂකයාට ඔබ ජීවත් වන පළාත ගැන ඇති අවබෝධය සහ පළාතේ වෙසෙන ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා සාධනීය වැඩපිළිවෙලක් තිබේද යන වග?
10. ඔබේ මනාපය ඔබේ හදවතට එකඟව අදාළ අපේක්‍ෂකයාට ලබා දීම සඳහා ඔහු ඔබේ විශ්වාසය දිනාගෙන තිබේද යන වග?


මෙම ගැටලු වලට නිසි පිළිතුරු ලබා ගැනීමට ඔබ අපොහොසත් වුවහොත්, ඒ සඳහා සහය වීමට රාජ්‍යය ආයතන තිබේ. විශේෂයෙන් තොරතුරු දැන ගැනීමේ පනත ආදීය ඔස්සේ මෙවැනි දෑ වලට අවශ්‍යය මූලික තොරතුරු විමසා දැන ගත හැකිය. රට පුරාම ක්‍රියාත්මක වන බෞද්ධ පන්සල්, තරුණ සමාජ මෙන්ම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතන සහ කණඩායම් වලට මේ සම්බන්ධයෙන් රටේ ජනතාව ගම්බිම් වලට ගොස් දැනුවත් කළ හැකිය.

විශේෂයෙන් තරුණ සහ ලෝකය ගැන දැන උගත් ඡන්දදායකන්ගේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමින් වර්ධනය වී ඇති තත්වයක් හමුවේ වඩාත් වැදගත් තෝරාගැනීමක් අපේක්ෂා කළ හැකිය. එසේම, මෙරට මූලික ජනමාධ්‍යය ආයතන ඔස්සේ රටේ ජනතාව මුලාවේ හෙලීමට කරන උත්සහයන් වලට නිසි පිළිතුර මෙවැනි තීරණාත්මක අවස්ථාවන් වලදී ලබා දීමට හැකිය.

අවාසනාවට මෙන් රටේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යය ආයතන කිසිවක් රටේ ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින බවත් ඔවුහු බිලියන ගණනක මුදලට විවිධ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින කල්ලි බවට පත් වී තෙබෙන බවත් රටේ ජනතාවගෙන් බහුතරය දනිති. මැතිවරණය නිදහස් සහ සාමකාමී මෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් තොර වුවහොත් මෙවර මැතිවරණයේ ප්‍රතිඵලය ඉතාම වෙනස් ස්වරූපයක් ගැනීමට ඉඩ තිබේ.

විශේෂයෙන්, 2015 දී පැවති මැතිවරණයටත් වඩා මෙවර මැතිවරණය දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් විශාල අවධානයක් යොමු කර ඇති මැතිවරණයකි. මන්ද, ජනාධිපති සිරිසේන මහතා තම බලය අයුතු ලෙස භාවිතා කරමින් තමන් විසින් තෝරාගත් පිරිසට කෙසේ හෝ ජයග්‍රහණය ලබා ගැනීමට පහසුවන අකාරයෙන් සමස්ථ රාජ්‍යය සංස්ථාවම ව්‍යාකූල කොට ජනතාවගේ ඔළුගෙඩි මත බලෙන් පැටවූ මැතිවරණයක් ලෙස මෙය හැඳින්වීමේ වරදක් නැත.

මැතිවරණයට වැයවන මුදල මහජන දේපල මිස, සිරිසේන මහතාගේ ගෙවත්තේ හැදෙන පළතුරු විකුණමින් හෝ ඔහුගේ සහෝදරයාගේ සහල් වෙළඳාමෙන් උපයන ලාභෙන් හෝ ඔහුගේ දියණියගේ මහල් නිවාස සහ අනෙකුත් සම්පත් වලින් උපයන කෝටි ගණනක ලාභය යොදා පවත්වනු ලබන මැතිවරණයක් නොවේ.

මෙය රටේ සෑම පුරුවැසියෙකුගේම ඔලුව මත බලෙන් තැබූ මැතිවරණයක් වන හෙයින් ඊට ප්‍රතිචාර දැක්වීම හැඟීම් වලට වහල් නොවී තමන්ගේ සිහිබුද්ධිය භාවිතා කොට සිදුකළ යුතුව ඇත.