ඇෆ්ගන් ජනපතිවරණයට තලේබාන් තර්ජන

| එස්. නන්දලාල්

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණය එළැඹෙන 05දා පැවැත්වීමට නියමිතය. මෙවර ජනාධිපතිවරණය අර්බුදකාරී ස්වරූපයක් ගන්නා සෙයක් පෙනෙයි. මන්දයත් තලේබාන් සංවිධානය ජනාධිපති වරණයේ දී ඡුන්දය ප‍්‍රකාශ කරන්නට ඡුන්ද මධ්‍යස්ථාන වෙත නොයන ලෙස ඇෆ්ගන් ජනතාවට තර්ජනය කරන හෙයිනි.

මෙවර ජනාධිපති වරණයේදී හිටපු ජනාධිපති හමීඞ් කර්සායිට තරග කිරීමට අවකාශ නොමැත. ඒ ඔහු දෙවතාවක් ජනාධිපති ධුරයට පත් වූ හෙයිනි. මෙවර අපේක්‍ෂකයෝ 16ක් තරග බිමේ සිටිති. ඔවුන් අතුරින් ගියවර දෙවැනි ස්ථානයට ආ හිටපු විදේශාමාත්‍ය වරයකු වන වෛද්‍ය අබ්දුල්ලා අබ්දුල්ලා ප‍්‍රමුඛ ය.

2009 අගෝස්තු 20 දින පැවැති ඇෆ්ගන් ජනාධිපතිවරණයේදී කර්සායිට ලැබුණේ ඡුන්ද 49.67% පමණි. දෙවැනියාවූ දොස්තර අබ්දුල්ලාට 30.59%ක් හිමිවිය. මේ අනුව දෙවැනි වටයක් එම නොවැම්බර් 07දින පැවැත්වීමට නියමිතව තිබිණි. ඒ වැඩිම සහ දෙවැනියට ඡුන්ද ලබාගත් අපේක්‍ෂකයන් අතර ය. එහෙත් 02දා අබ්දුල්ලා තරගබිමෙන් බැහැර වූයෙන් කර්සායිට නිතරග ජයක් හිමිවිය. වංචා හා දූෂණවලින් ගහණ වූ එම ඡුන්දයේ දී ඉවතදමන ලද ඡුන්ද සංඛ්‍යාව මිලියන 1.26 පමණවූ බව වාර්තාවෙයි. මෙවර ජනාධිපතිවරණයේදී දොස්තර අබ්දුල්ලා ජයග‍්‍රහණය කරනු ඇතැයි ජනමත සමීක්‍ෂණ අනුව අනාවැකි පළවී තිබේ.

2014 පවත්වන්නට යන ජනාධිපතිවරණය බොරු වක් බවත් කොළේ වහලා ගැහිල්ලක් බවත් තාලේබාන් සංවිධානයේ අදහසයි. ඉදිරියේ පැවැත්වීමට නියමිත ඇෆ්ගන් ව්‍යාජ ඡුන්දය තමන්ට රිසි පරිදි උපරිම ශක්තිය යොදවා ව්‍යර්ථ කරන ලෙස අප විසින් අපගේ සියලූ මුජාහිදීන්වරුන් වෙත නියෝග නිකුත් කරනු ලැබ ඇත. සියලූ කි‍්‍රයාකාරිකයන් සහ කි‍්‍රයාධරයන්, කැඳවුම්කරුවන්, ආරක්ෂක යාන්ත‍්‍රණය සහ නිලධාරීන් ඉලක්කකොට ප‍්‍රහාර කි‍්‍රයාත්මක වනු ඇත. මේ ඡුන්දය ව්‍යර්ථ කිරීම සියලූ ඇෆ්ගනුවන්ගේ ආගමික අවනතභාව පරිපූර්ණ කිරීමේ අත්‍යවශ්‍ය සාධකයකි. මේ වනාහි ඡුන්දයක මුවාවෙන් එන ආක‍්‍රමණිකයන්ගේ කුමන් ත‍්‍රණයක් බව සැලකිය යුතු ය. පෙන්ටගනය සහ සීඅයිඒ විසින් මේ වන විට ජනාධිපතිවරයා තෝරා අවසන්ය.මෙහිදී එසේ තෝරාගන්නා ලද ජනාධිපතිවරයා කවුරුන්දයි ඔවුන් නමින් සඳහන් කොට නැත. ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ අවසන් දිනය වූ පසුගිය ඔක්තෝබර් 20 දිනට පසු තලේබානුන් විසින් සිදුකරන ලද ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සියයක් පමණ වාර්තා වූ බව සඳහන් ය. මේ නිසා ඡුන්දදායකයන් සිටින්නේ බියෙනි. දොස්තර අබ්දුල්ලාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත්වන උපජනාධිපති අපේක්‍ෂකයා මරාදැමීමට පසුගිය සතියේ ස්වයංඝාතක බෝම්බ කරුවකු යොදවා තිබුණු නමුත් එය අසාර්ථක වූයේය.

එළැඹෙන ජනාධිපති වරණයේ ආරක්ෂාව තර්ජනවලට යටත් බව එරට ස්වාධීන මැතිවරණ කොමිසමේ ප‍්‍රධානී සියාඋල්හක් අමර්ඛිල් දෙස් විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබිණි. යොදා ඇති ඡුන්ද මධ්‍යස්ථාන 95%කම ආරක්ෂාව සහතික කළ හැකි බව අභ්‍යන්තර ආරක්‍ෂක අමාත්‍යංශය පවසා ඇත. ඒ අනුව මැතිවරණ ප‍්‍රධානියා පවසන්නේ ආරක්‍ෂාව පිළිබඳව රජයේ තහවුරුව පිළිගන්නට තමාට සිදුවන බවයි. එහෙත් ඡුන්දපොළ ආශි‍්‍රත ව ත‍්‍රස්ත කල්ලි සහ හමුදා රජයේ සහ නැටෝ අතර ගැටුම් ඇතිවිය හැකියි.රජයට සැලසුම් කළ පරිදි ඡුන්දය පවත්වනවා විනා විකල්පයක් නොමැති බව මැතිවරණ ප‍්‍රධානියා පවසයි. ආරක්ෂාව යථා තත්ත්වයට පත්වන්නට තව මාස කිහිපයක් ගතවනු ඇත. මේ රටේ දේශපාලන බලය මාරුවීමට මැතිවරණ හැර වෙනත් විකල්ප නොමැති අතර ඇෆ්ගන් ජනයා දැන් සිය නායකයන් ඡුන්දය මගින් තෝරාගැනීමේ ක‍්‍රමයට හුරුව සිටිති. ඊට විකල්ප නොමැත.
එහෙත් දුරස්ථ පෙදෙස්වල වැසියන්ට මේ ඡුන්දය ගැන අවබෝධයක් නැත්තේයැයි වොෂින්ටන් පෝස්ට් වාර්තාවක දැක්වේ. පළමුව ඔවුහු ඡුන්දය ගැන කිසිවක් නොදනිති. දැනුවත්වී ඇත්තේ තලේබාන් තර්ජනය නිසාය. තලේබානුන් තමන් වළක්වන්නේ කුමකින්ද යන්න දන්නා කියන අයගෙන්, විශේෂයෙන්ම හමුදාවේ අයගෙන් විමසීමෙන් ඔවුන් අවබෝධයක් ලබා ඇත. දෙවනුව ඔවුහු තමන්ගේ ඡුන්දයෙන් ජනාධිපතිවරයා පත්කැරගැනීමේ ඇති වැදගත්කම ගැන මෙලෝ හසරක් නොදනිති. ඔවුන්ට රජයෙන් ලැබෙන කිසිදෙයක් නොමැති බැවිනි. නබහාර් නමැති පළාත අළලා ඉදිරිපත් කෙරෙන ඔවුන්ගේ වාර්තාවක දැක්වෙන පරිදි ඒ පළාතේ පාසල් ඇත්තේම නැත. රෝහලක් නොමැති අතර තිබෙන මාතෘ සායනයේ කාර්ය මණ්ඩලයක් නොමැත. පරිපාලනයට රජයෙන් පත් කරන ලද ආණ්ඩුකාරයා එහි වෙසෙන්නට බියෙන් පසුගිය අවුරුද්දටම එහි පැමිණ ඇත්තේ අවස්ථා කිහිපයකදී හෙලිකොප්ටර යකිනි. ඒ විසිත්තු පවා පැය කිහිපයකට සීමාවූ ඒවාය. මේ අවුරුද්දේ මෙතෙක් ඔහු එපරිද්දෙන්වත් පැමිණ නැත. සන්නිවේදන කුලූනු කිසිවක් නොමැති ඒ පළාතේ රේඩියෝ ඇත්තේ අතලොස්සකි. රූපවාහිනි නැති තරම්ය. බොහෝ දුරස්ථ දුෂ්කර පළාත්වල තත්ත්වය මෙපරිදිය.
බි‍්‍රතාන්‍ය හමුදාව දැනටමත් එරටින් පිටවයමින් සිටිති. ඇමරිකානු හමුදාව මේ වසර අවසානයේ ඉවත්ව යනු ඇති බවට නිල වශයෙන් නිවේදනය කොට ඇත. මේ නිසා ඇෆ්ගන් හමුදාව දැන් සිටම ඔවුන්ගේ සහභාගිත්වයෙන් තොර ස්වාධීන මෙහෙයුම්වල නිරත වෙයි. ඒ සමහරවිට දේශීය හමුදාවේ ආධිපත්‍යය තහවුරු කරන්නට විය යුතුය. එහෙත් වොෂිංන්ටන් පෝස්ට් මෙය ගැන තබන සටහන අවඥාසහගත එකකි. තුන් දින මෙහෙයුම පුරාම ඇෆ්ගන් හමුදාව සිය කුසලතා ප‍්‍රදර්ශනය කරන්නට සමත්විය. ඒ මෙහෙයුමට ඔවුහු සිය හෙලිකොප්ටර් යොදා ගත්හ. ඒවා ඔවුන් හැසිරවූයේ පුදුමාකාර අන්දමිනි. සමහරවිට ප‍්‍රමෝදවත්ද විය. ඔවුහු කරෙම්ඛිල් ග‍්‍රාමයේ උක්කුටිකයෙන් හිඳගන්නට තරම් පමණ උස් මැටි බිත්තිවලින් නිර්මිත ගෙපැල් අවුස්සා බලමින් පසුගිය මාසවල කළාට වඩා සාර්ථක මෙහෙයුම්වල නිරතවූහ. මෙහිදී ඇමරිකානු සහායකයන්ට කිසිවක් නොදන්වන ලද අතර උපදෙස්ද නොපතන ලදි. ඇෆ්ගන් සොල්දාදුවන්ට අවශ්‍ය වූයේ ත‍්‍රස්ත කි‍්‍රයාවලට ඉහළින් තමන්ගේ සුපිරිත්වය පවත්නා බව පෙන්වන්නට විය යුතුය. එහෙත් මේ වනාහි තාවකාලික ප‍්‍රසංගයක් බව ගම්මු දත්හ. එබැවින් ඔවුන්ට එතරම් පිළිගැනීමක් නොවීය. ඒ කාරණය ඇෆ්ගන් හමුදා අණදෙන නිලධාරීන් දුර්මුඛ කරවන්නට හේතු වී තිබේ.

ඡුන්දයට පූර්වගාමී වශයෙන් මේ ආකාරයේ මෙහෙයුම් දැන් රට පුරාම කි‍්‍රයාත්මක වෙයි. ඇතැම් ගමක පෙර සඳහන් පරිදි ඇෆ්ගන් හමුදාව තනිවමත්, බොහෝ තැන්වල ඇමරිකානු හමුදාව සමුගත් මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙරේ. ඒ අවස්ථාවල ම ජනාධිපතිවරණයේ වැදගත් කම ගැනද ජනතාව දැනුවත් කෙරේ. මෙහෙයුමකට සහභාගි වූ ස්සාබුල් පළාත් ආණ්ඩුකාර අශ්රෆ් නාසිරි රැුස්වීම් පවත්වමින් ජනතාවට කරුණු අවබෝධ කොට ඇත. ඔබට කරස්සායි පන්නා දමන්නට වුවමනා නම් ඔබ කළ යුත්තේ ඡුන්දයට ගොස් වෙනත් කෙනෙකු පත් කැර ගැනීමයි.ඔහු පවසා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා නැවතත් ඡුන්දය නොඉල්ලන නමුත් තේරෙන භාෂාවෙන් මිනිසුන් ඇමතිය යුතු නිසා වන්නට ඇත.

සෑම සතියකම පාහේ ලොව රටරටවල මැතිවරණ, ජනාධිපතිවරණ යනාදිය පැවැත්වෙයි. ඒවායේදී ප‍්‍රතිපාක්ෂිකයන් අතර ගැටුම්ද විශාල වශයෙන් සිදුවේ. එහෙත් මේ ඡුන්දය ඒ අතුරින් විශේෂ එකක් වනුයේ ලොව මාරාන්තික ත‍්‍රස්ත කල්ලියක් ඡුන්දය දීමෙන් වැළැකී සිටින ලෙස අහිංසක ජනතාවට තර්ජනය කරන හෙයිනි.