13 වෙනුවෙන් විමුක්ති විජය ධජය අතට ගනීද?

 උපුල් ජෝශප් ප්‍රනාන්දු

"විමුක්ති දේශපාලනයට එනවා....."

මේ පසුගිය කාලයේ වෙබ් අඩවි පත්තු කරපු ගින්නක්ය.

"විමුක්ති දේශපාලනයට එන්න තීරණයක් අරන් නැහැ. එනවා නම් එන්නෙ මේ දේශපාලන පරිසරය වෙනස් වුණාමයි...."


මේ චන්ද්‍රිකා විමුක්ති දේශපාලනයට එනවාද නැද්ද යන්න ගැන 'මව්බිම' අහපු ප්‍රශ්නයකට දුන්න උත්තරයක්ය.

"විමුක්තිට දේශපාලනයට එන්න මෙයිටත් වඩා සුදුසු පරිසරයක් තියෙනවද..."

මේ වාමාංශික පක්ෂයක ජේ‍යෂ්ඨ දේශපාලනඥයෙක් මාධ්‍යවේදියකුට කී කතාවක්ය.


"ඇයි එහෙම කියන්නේ.....?"

මාධ්‍යවේදියා ඇසුවේය.

"විමුක්තිගෙ තාත්තා විජය ජීවිතය පූජා කළේ මොකක් වෙනුවෙන්ද? දමිළ ජනතාවට සාධාරණය ඉටුවෙන පළාත් සභා වෙනුවෙන්. අද ඒ පළාත් සභා අහෝසි කරන්න යන්නේ. විජයගේ ලේ තැවරුණු විජය ධජය ඉස්සරහට ගෙන යන්න මේක තමයි වෙලාව...."

එම ජේ‍යෂ්ඨ දේශපාලනඥයා කීවේය.


ඔහු කී කතාව ඇත්තය. විජය කියන්නේ ජේ.ආර්.ගේ ආණ්ඩුවෙන් හොඳට බැට කාපු නායකයෙකි. ඔහු හිරේ විලංගුවේ දැම්මේ ජේ.ආර්.ය. ඒත් ජේ.ආර්. ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කර පළාත් සභා ගේනකොට විජය එයට සහාය දෙන්න ඉදිරිපත් විය. විජය පළාත් සභාවලට සහාය දෙන්න ඉදිරිපත් වූයේ හේතු දෙකක් උඩය. එකක් නම් ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ජාතිවාදය පරාජය කොට රටට සාමය උදා කරන්නටය. අනෙක ඉන්දු-ලංකා ගිවිසුම සහ පළාත් සභා උඩ ජේ.ආර්. සහ ආණ්ඩුව කඩාගෙන වැටෙන බව විජය දැන සිටියේය. ඉන්දියාව උතුරේ මෙහෙයුම් නතර කරන්න කියද්දී ජේ.ආර්. ඉන්දියාවට කිව්වේ "මකබෑවියන් මම මට ඕනෑ දේ කරනවා" යැයි කියාය. ඉන්පසු ජේ.ආර්. රට පුරා ඉන්දීය විරෝධයක් ඇවිළුවේය. විජය සහ වාමාංශික පක්ෂ ගණන් හදල බැලුවේ ජේ.ආර්. මොන සිංහ පාට් දැම්මත් අන්තිමේදී ඉන්දියාව ඉදිරියේ බලු වෙන හැටිය. ඉන්දියාව ලව්වා ජේ.ආර්.ව බලු කරවලා හතර ගාතෙන් වට්ටවන්න නම් පළාත් සභාවලට සහාය දිය යුතු යැයි විජය හිතුවේය. විජය වරක් මෙසේ කීවේ එම නිසාය.


"ජේ.ආර්. ජයවර්ධන ජාතිවාදය ඉදිරියට දාල ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන කොට හා පොලිසියෙ රාලහාමිල දවසට දහ පහළොව මැරෙන කොට සොල්දාදුවෝ මැරුම් කාල පාර්සල්වලින් ගෙදර ගේන කොට මැරිච්ච රාලහාමිලට, සොල්දාදුවන්ට ප්‍රමෝෂන් දෙන මේ රටේ ඒ රාලහාමිලගේ ඒ සොල්දාදුවන්ගේ ජීවිත වෙනුවෙන් කල්පනා කරල ජාතිවාදී යුද්ධය - මිනීමරල නවත්වන්න බැරි මේ ජාතිවාදී යුද්ධය, දේශපාලන විසඳුමකින් විසඳමු කියල යෝජනා කරල ජේ.ආර්. ජයවර්ධන - එයාගේ අනිත් ඇමැතිවරුනුත් බෑ කියද්දී, දේශපාලන විසඳුම් නෑ කියල, දෙසැම්බර් 31න් ඉස්සෙල්ල ඉවර කරනව කියල, සිංහල අලුත් අවුරුද්දට ඉස්සෙල්ල ඉවර කරනවා කියලා, බොරු පොරොන්දු දීල අපේ රාලහාමිලාව, සොල්දාදුවන්ව මරන්න දාල, රටේ ධනය කෝටි 100ක් නඩත්තු කරල නොදිනන යුද්ධෙකට වියදම් කරන කාලෙ, දේශපාලන විසඳුමක් යෝජනාකරල, ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව අපේ විසඳුමට, අපේ වැඩපිළිවෙළට එකඟ කර ගත්තේ හරියට පිස්සු බල්ලෙක්ව නාවන්න අරන් යනව වගේ අකැමැත්තෙන්, අද ලොක්කට පිහිට කැබිනට් එක නෙවේ: මන්ත්‍රිල 143 පිහිට නෙවේ: සිරිකොතේ පිහිට නොවේ: ඡන්දෙ දීපු යූ.ඇන්.පී. තිස්දෙලක්‍ෂයේ පිහිට නෙවේ: උදේ, දවල්, රෑ රජීව් ගාන්ධිගේ පිහිට විතරයි.


සහෝදරවරුනේ, අපි තමුන්නාන්සෙලට කියන්නේ, ආසන 143ක් දිනල, අවුරුදු 10ක් බලයේ ඉඳල සියලු මහා අපරාධ කරපු මේ ආණ්ඩුව අද ජනතාවගේ පයට පෑගිලා දූවිලි වෙලා. අද යූ.එන්.පී.කාරයෝ පෝස්ටර් ගහල, බැනර් ගහලයි අස්වෙන්නේ. යූ.ඇන්.පී. කාරයෝ ගෙවල් ඉදිරියේ තොරණ ගහලයි අස්වෙන්නේ. සියලු නිලතලවලින් අස්වූ බව කාරුණිකව දැනුම් දෙමි. එහෙමයි ශත 75 වටිනාකමේ ලියුමක් කරන්නේ. අවුරුදු

10 කට පස්සේ එදා කිව්ව කතා අද නෑ."


ජේ.ආර්. ඉන්දියාව ළඟ දණින් වැටී ගිවිසුම අස්සන් කොට පළාත් සභා පිළිගනිද්දී ජේ.ආර්.ගේ ආණ්ඩුව තුළ විශාල පිපිරීමක් ඇති විය. ජේ.ආර්.ට තෙවැනි වරට ජනාධිපතිවරණයට තරග කළ හැකි සේ ව්‍යවස්ථාව වෙනස් කරගන්න නොහැකි වූයේ එම පිපිරීම නිසාය. අනෙක ගිවිසුමට සහ පළාත් සභාවලට එරෙහිව ශ්‍රී ල.නි.ප., ම.එ.පෙ. සහ ජ.වි.පෙ. රට ගිනි තිබ්බ නිසා ජේ.ආර්.ගේ ප්‍රතිරූපය පිච්චී දැවී අළු විය.

විජය එක් අතකින් රටට සාමය උදාකරදී තමාට දස වධ දුන් ජේ.ආර්.ට පාඩම් උගැන්වූයේ එලෙසය. සමහරු විජයගේ මේ උපාය තේරුම් ගත්තේ නැත. ඔවුන් කීවේ විජය ජේ.ආර්.ට කඩේ යනවාය කියාය.
ඇත්තටම විජය ජේ.ආර්.ට කඩේ ගියා නොව ජේ.ආර්.ව කඩේ යැව්වේය. විජය හිතපු දේ හරියට හරි බව පසු කලක ඉන්දීය මහ කොමසාරිස් ඩික්සිත් ලියපු කොළඹ භූමිකාව නමැති පොත කියවද්දී පැහැදිලි වේ. ඩික්සිත් එහි කියන්නේ ගිවිසුම සහ පළාත් සභා තම පරාජයක් ලෙස සිතා එය කඩාකප්පල් කිරීමට ජේ.ආර්. යටින් ක්‍රියා කළ බවය.


මේ ටික ඔළුවේ තියාගෙන විජය ගිය ගමනට ජ.වි.පෙ. බය විය. ජේ.ආර්. ද විජය, පළාත් සභා ගිවිසුම කරේ තියාගෙන යෑම ගැන එතරම් කැමැත්තක් තිබුණේ නැත. ජ.වි.පෙ. සහ ශ්‍රී ල.නි.ප.ය විජයට කෙළින්ම හොරිකඩ ලේබලය ඇලවීය. ඒත් විජය සැලුණේ නැත. ජ.වි.පෙ. විසින් විජයව ඝාතනය කරන්නේ හොරිකඩ ලේබලය ගහල විජයව ඉවර කරන්න බැරි බව තේරුම් ගෙනය. විජයට ගිවිසුම සහ පළාත් සභා වෙනුවෙන් ජීවිතය පූජා කරන්න වෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය.

විජය ඝාතනයේ රස ජේ.ආර්. පමණක් නොව ප්‍රභාකරන්ද බැලුවේය. හේතුව පළාත් සභා ක්‍රමයේ අංක එකේ හතුරා ප්‍රභාකරන්ය. ඔහු රජීව් ගාන්ධිව මරන්නේ පළාත් සභා ක්‍රමය අවසන් කරන්නටය.
පළාත් සභා සහ ගිවිසුම දමිළ ජනයා මත බලෙන් පටවපු එකක් යැයි ඔහු කීවේ වරක් දෙවරක් නොවේ.

"කිසියම් ජනතාවකගේ කැමැත්තට එරෙහිව ඔබට ඔවුන් මත බලහත්කාරයෙන් කිසිවක් පැටවිය නොහැකිය....."
ප්‍රභාකරන් දුරවබෝධ මනසක ඇතුළාන්තය ග්‍රන්ථය

පුදුමය නම් අද මහින්දගේ ආණ්ඩුවත් මේ කතාවම කීමය.

සාමය වෙනුවෙන් ජීවිතය පූජා කළ විජය ධජය යළි ඔසවන්න විමුක්ති කුමාරතුංගට කාලය පැමිණ ඇතැයි කියන්නේ එහෙයිනි. හිර ගෙදර අපා දුක් විඳිද්දී විජය විමුක්තිට ලිපි ලීවේය. අද විමුක්ති ළඟ එම ලිපි තියෙනවාද දන්නේ නැත. මේ එම ලිපියකින් උපුටා ගත්තකි.


"එදා සිය ගණනක් පොලිසියෙන් හමුදාවෙන් ඇවිල්ලා මාව අරගෙන යනවා උඹ දන්නෙවත් නැහැ. මම එන විට උඹ කාමරයට ගිහින් බැලුවා. උඹ අත කටේ ඔබා ගෙන තනියම ඉන්නව. මම උඹව වඩා ගත්තෙවත්, උඹ ඉම්ඹෙවත් තැත්තෙ මට දුක හිතෙයි කියලා. නැතිව ආදරය නැති නිසා නෙවෙයි. මම අහක බලාගෙනම උඹේ මූණ අතගාගෙන එතැනින් ඇවිත් අර හමුදාවත් එක්ක පිට වුණා. අදට මම හිරගෙදරට ඇවිත් මාසෙකුත් දවස් දෙකක් ගත වුණා. දැන් උඹ ඉපදිලා මාස හතරකුත් දවස් 16යි.
උඹ ඉපදෙන්න ඉන්න කාලේ මට කිසිම නිවාඩුවක් තිබුණේ නැහැ. මේ රට පුරාම දුක්විඳින පීඩිත ජනතාව වෙනුවෙන් මහා සටනක් කරනවා. උඹ උපන්නා කියලා මට කිව්වේ මඟදී හමුවුණ හඳුනන මිනිහෙක්. ඒ මිනිහගෙන් පුතෙක්ද, දුවෙක්ද උඹේ අම්මට ලැබුණේ කියලා මට අහන්න ලැජ්ජා හිතුණා. මම කෙළින්ම ගියේ උඹ හම්බවෙලා තිබුණ ඉස්පිරිතාලෙට. මට ලැබිලා තියෙන්නේ පුතෙක් කියලා මට දැන ගන්නට ලැබුණා. මට හරි ආඩම්බරයක් ඇති වුණා. ඒ උඹ ගැන නොවේ, මා ගැනයි. පුතෙක් ඉන්න තාත්ත කෙනෙක්. මම උඹ දිහා බලාගෙන වුන්නේ හරිම ආඩම්බරෙන්. මම දැනගත්තා මේ ජීවිතයේදී මට උඹ හමුවෙනවා කියල. උඹව ලැබෙන්න හුඟ කාලයකට උඩදීම මමයි උඹේ අම්මයි උඹට නමක් හොයා ගෙනයි තිබුණේ. අපි දෙන්නම බලාපොරොත්තු වුණා අපේ පුතාට විමුක්ති කියලා නම තබන්න. උඹයි අපේ විමුක්ති.


උඹ ලොකු මිනිහෙක් වුණදාට උඹට වැටහෙයි උඹේ නමේ තියෙන තේරුම, විමුක්ති කියන්නේ දුකින් මිදීම, නමුත් තමන් විතරක් දුකින් මිදී, ජීවත්වීම කිසිම පලක් නැති දෙයක්. උඹට විමුක්ති කියලා නම දැම්මේ, උඹට කිසි දුකක් නැතිව ඉන්න ලැබෙනවා කියල බලාපොරොත්තුවෙන් නෙවෙයි. උඹ කවදා හරි දවසක දැන ගනීවි, මේ පුංචි රටේ පරම්පරා ගණනාවක් තිස්සේ කිසිම කෙනකුගේ සරණක් නැතිව සදාකාලිකවම දුක් විඳින ලක්‍ෂ ගණන් දුප්පත් ජනතාව ඉන්න බව. උන් ඔක්කොම එකම පන්තියක මිනිස්සු, උඹේ තාත්තාත් අන්න ඒ පන්තියේ මිනිහෙක්. ඒක මතක තියා ගනින් පුතේ. කිසිම දවසක අමතක කරන්න එපා, උඹේ ඇඟේ දුවන්නේ ඒ තාත්තාගේ ලේ බව. දුක් වේදනා, කරදර අමාරුකම්, නැති බැරිකම්වලින් පිරිච්ච ජීවිතයක් ගතකරපු මිනිහෙක් උඹේ තාත්තා.


උඹ ඒ ගැන ලැජ්ජා වෙන්න එපා. ආඩම්බර වෙයන්. කවදාහරි දවසක උඹට මේ ලෝකයටම හඬගා කියන්න ඉතිරිවන එකම සුදුසුකම අන්න ඒකයි. මගේ ලෙයින් උඹ ලැබූ ඒ අයිතිය රැක ගනින් පුතේ. කවදාහරි දවසක මේ නිර්ධන පන්තිය දුකින් මුදා ගන්නට කරන මහා අරගලයකදී, මගේ ලේ උරුමයෙන් උඹට ලැබූ ඒ අයිතිය බලවත් ආයුධයක් කර ගනින්. හදවතට එකඟවම කරන දෙයක් කිසිදාක වරදින්නේ නෑ. උඹේ තාත්තා ජීවිතයේ දෙතුන් වතාවක පැරැදිලා තියෙනවා. නමුත් වැරැදිලා නැහැ. අද මම මේ සිර කූඩුවේ ඉන්නේ වැරැදිලා නොවේ. පැරැදුණු නිසා. මේ හිරබත් කන එක මට මදිකමක්, ලැජ්ජාවක් නෙවේ. මට නම්බුවක්. මම මෙතැන හිරේ ඉන්නේ ලක්‍ෂ ගණනක් මගේ පන්තියේ මිනිස්සු වෙනුවෙන්. ආයේ මම මේ හිර ගෙදරින් පාරට බසින්නෙත් ඒ අතරමංවෙලා ඉන්න පීඩිත ජනතාව වෙනුවෙන්. මේක මට ලොකු අත්දැකීමක්. ලොකු ධෛර්යයක්. මේ හිර ගෙවල් හදලා තියෙන්නේ උඹ අපි ඔක්කොටමයි. මම මේ හිර ගෙදරට එන්න ඉස්සෙල්ලා මේ රට පරසුද්දන්ගෙන් බේරගන්න සටන් කරලා හිරේ වැටුණ ශේ‍ර්ෂ්ඨ පුද්ගලයෝ හිටියා. ඒ උදවිය එදා ආඩම්බරයෙන් කරපු අරගලයේ කොටසක්මයි අද අපි ඉදිරියට ගෙනියන්නේ. කවදා හරි දවසක උඹත් ඒ අරගලයට පංගුකාරයෙක් වෙයන්. එදාට උඹටත් මේ හිර ගෙදරට එන්න සිද්ධ වුණොත් අන්න එදාට මේ හිර ගෙදර ඇතුළේ මම උන්න සුවඳ නුඹට දැනේවි. උඹව බලන්න එන්න මම ජීවතුන් අතර නොසිටින්න පුළුවන්. ඒත් කමක් නෑ. උඹේ තාත්තා මතක් කර ගෙන ඒ තාත්තා නියෝජනය කළ පීඩිත පන්තිය දුකින් මුදා ගන්න සටන් කරපන්. මම උඹෙන් ඉල්ලන එකම ඉල්ලීම එපමණයි.


අද මම සිර කූඩුවේ ඉඳගෙන උඹගේ හැඩහුරුව මතක් කරන්න හුඟක් උත්සාහ ගත්තා. ඒත් මට නොහොමටවත් උඹේ මූණේ හැටි හරි හැටි මතක් කරන්න අමාරුයි. මම සිර ගෙදර එන්න ඉස්සෙල්ලාත් උඹව හරි හැටි දැක්කේ එක දවසයි. උඹ දැන් තවත් වෙනස් වෙලා ඇති. කවදාහරි දවසක මේ හිර ගෙදරින් නිදහස් වෙලා, මම උඹව බලන්න එනවා. උඹ මොනතරම් හැඩරුවෙන් වෙනස් වුණත් උඹ මට වඩා වෙනස් මනුස්සයෙක් වෙන්න බැහැ. මේ හිර ගෙදරින් නිදහස් වෙලා ආ දවසට මට උඹට මොනවා උගන්වන්න බැරි වුණත් මනුස්සකම කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්නම්; මම දැකපු දේවල්, මම ඇසූ දේවල් මම උඹට කියලා දෙන්නම්, දුක වේදනාව කියන්නේ මොකක්ද කියලා මම උඹට කියලා දෙන්නම්, ඒ අත්දැකීම්වලින් ඔය පාඩම් ඉගෙනගෙන කවදා හරි දවසක හොඳ මනුස්සයෙන් වුණොත් මට ඒ ඇති."