පුවත්පත් කලාවේ කවටයන්ගේ ඉතිහාසය

එස්‌. ගොඩගේ

අනාදිමත් කාලයක සිට මිනිසා විසින් ගත කරන ලද කාලය සහ අවකාශය අතර ලද ජීවන අත්දැකීම් සමුදායේ ප්‍රතිඵලයක්‌ වශයෙන් භාෂාව ඉපදී ඇත. ඒ බැවින් භාෂාව උපයෝගි කර ගනිමින් මානවයාට තනි පුද්ගලයකු වශයෙන් මෙන්ම සමූහ වශයෙන් ද විධිමත්ව ද අවිධිමත්ව ද බොහෝ ක්‍රියාකාරකම් කළ හැකිය.

මානවයා කවදා කෙලෙස කාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේ ද යන්නට පිළිතුරක්‌ නැතත් පූර්ව කොමියුනිස්‌ට්‌ යුගවලදී සිය ජීවන අත්දැකීම් ප්‍රකාශ කිරීම උදෙසා භාෂාව නම් මෙවලම උපයෝගි කර ගන්නට මානවයා නොපසුබටව කටයුතු කළේය. එකී අත්දැකීම් සමුදායේ යම් යම් සංසිද්ධි, කණ්‌ඩායම් නායකයා විසින් ගෝත්‍රයේ පරිවාර සාමාජිකයන්ට ඉදිරිපත් කිරීමේදී ගෝත්‍රික නායකයා විසින් ගෙන යන ලද සංදේශ, ග්‍රාහකයා තුළ උද්දීපනයක්‌ ප්‍රතිචාරයක්‌ ඇති කරවීමට සමත් විය. එය කලක්‌ මුළුල්ලේ වර්ධනය කර ගැනීමෙන් මිනිසා සෞන්දර්යාත්මක අවස්‌ථා නිර්මාණය කර ගන්නට ඇත.

18 වන සියවසේදී ලෝකයේ ඇති කළ ආර්ථික, සමාජීය, සංස්‌කෘතික සහ ආගමික පරිවර්තනයේ ප්‍රතිඵලයක්‌ හා බුද්ධි ප්‍රබෝධයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් ගුටෙම්බර් විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගන්නා ලදී. මුද්‍රණ යන්ත්‍රයේ අත්දැකීම් ලංකාව විඳ ගනු ලබන්නේ 19 වැනි සියවසේදී ය. එනම් ලන්දේසි පාලන සමයේදී ය. ලංකාවේ පුවත්පත් ආරම්භ වන්නේ ලංකාව යටත් විජිතයක්‌ බවට පත්වීමේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. කාලයාගේ ඇවෑමෙන් මුද්‍රිත සන්නිවේදනය ලංකාවේ ඇරඹෙන්නේ 1832 වසරේ විල්මට්‌ හෝටන් ආණ්‌ඩුකාරයාගේ කාලයේ සිට ය. එය 'කලම්බු ජර්නල්' පුවත්පතෙනි. එහෙත් සිංහල පුවත්පතක්‌ මෙරට සම්පාදනය වනුයේ 1860 වසරේදී ගාල්ලෙනි. එය 'ලංකා ලෝක' නම් විය. මුල් යුගයේ දී ආණ්‌ඩුවේ නිවේදන නිකුත් කරන්නට ඇරඹි පුවත්පත පසුකාලීනව මහජනතාවට කියවා, විනෝදාස්‌වාය ලැබීමට යෝග්‍ය පරිදි, හාස්‍ය රසයෙන් අනූනව ලියන ලද ලිපි, ලේඛන සහ කාව්‍යයන්ගෙන් නොඅඩු කවට පුවත්පත් නමින් වෙනමම පුවත්පත් පළ කරන්නට යෙදුණි. එම පුවත්පත් 'කවට' පුවත්පත් ලෙස හැඳින්වූ අතර, ලංකාවේ ප්‍රථම හාස්‌යෝaත්පාදක කවට පුවත්පත වශයෙන් එළිදක්‌වා ඇත්තේ පෑලියගොඩ පෑලිස්‌ අප්පුහාමි නම් අයකු විසින් පළ කරන ලද 'කවට කථිකයා' පුවත්පතිය. එය 1872 වසරේදී අරඹන ලදී.

මුල් කාලීනව ආගමික සහ අධ්‍යාපනික අරමුණු පෙරදැරි කර ගැනීමේ අපේක්‍ෂාවෙන් ඇරඹි මෙම පුවත්පත් ආගමික සංස්‌ථාවක්‌ මගින් හෝ වෙනත් සිsවිල් සංවිධානයක්‌ මගින් හෝ ආර්ථික වශයෙන් යහපත් ස්‌ථාවරත්වයක්‌ ඇති ප්‍රභූවරයකුගේ මූලිකත්වයෙන් ඇරඹීම දක්‌නා ලැබේ.

මේ අනුව ප්‍රකාශයට පත් කළ කවට පුවත්පත් සමූහයට කවට කථිකයා, කවට දූතයා, ලංකා කවට පුත්‍රයා, කවට නරේJද්‍රයා, කවට රාළහාමි, කවටයා, දැනුමැති කවටයා, මොරටු නරේJද්‍රයා, කවට රාළ, සිංහල කවටයා, කවට තිලක, ලංකා කවටයා සහ කවට රාජ ආදී පුවත්පත් 20 කට ආසන්න සංඛ්‍යාවක්‌ 20 වන සියවසේ පළමු දශකය වන විට අරඹා තිබිණි.

පුවත්පත කර්තෘ හෝ ප්‍රකාශක වර්ෂය

කවට කථිකයා පෑලියගොඩ පෑලිස්‌

අප්පුහාමි 1872.01.01

කවට මිත්‍රයා පී. ෆොන්සේකා 1889.04.13

කවට දූතයා සී. එන් ද සිල්වා 1889.07.10

ලංකා කවට මිත්‍රයා 1890.08.10

කවට නරේJද්‍රයා ඩී. ඩී. බස්‌තියන් 1891.08.15

කවට රාළහාමි එම්. ඩබ්. සී. ධර්මවර්ධන 1893.09.15

කවටයා පේදුරු සිල්වා 1894.09.15

දැනුමැති කවටයා ඒ. ඡේ. පෙරේරා 1895.07.12

මොරටු නරේJද්‍රයා ඩබ්. එච්. ප්‍රනාන්දු 1899

කවට රාළ 1910.01

සිංහල කවටයා බී. එම්. ප්‍රේරා 1912.12.14

කවට අඟන 1914

කවට තිලක ඩබ්. එම්. පෙරේරා -

ලංකා කවටයා 1916

කවට රාජ ඩී. ඊ. එස්‌. ජයසූරිය 1918



ලංකාවේ ප්‍රථම වරට කවට පුවත්පතක්‌ ඇරඹෙන්නේ 1872.01.01 දිනය. එවකට ලංකාව යටත් විජිතයක්‌ ලෙස පැවතීම හේතු කොට ගෙන අහිමිව ගිය ජාතික ආගමික නිදහස යළි අත්පත් කර ගැනීමේ අරමුණින් අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කළ, මෙහෙකම් කළ ස්‌වදේශිකයන් මෙන්ම දුර්වලයන් ලෙස කටයුතු කළ අයවලුන් එමගින් මුදාගෙන ඔවුන්ට මානසික උත්තේජනයක්‌ ලබා දීමත් කවට පුවත්පත්වල පරමාර්ථයක්‌ විය.

කවට කථිකයා පුවත්පතේ පළමු පිටපත රාජ්‍ය ලේඛනාගාරයේ නැතත් එහි දෙවන කලාපයේ සඳහන් පහත කවියෙන් එහි අරමුණු පැහැදිලි කර ගැනීමට හැක.



සිතට පිරිය බස්‌ ලියුමට පෑන අතට ගත්තා

පවට ඔබින දුසිරිත් දුරලෑම නිතර යුත්තා

කවට කමක්‌ ලැබුණොත් අත නාරින එක සත්තා

ලකට පහළ වූ මම වද කවට කථික මුත්තා



අද මෙන්ම එකල ද කුසීතව ජීවත්වූ පිරිස්‌ විසූ බවත් මෙම පුවත්පත මගින් එම පිරිස දැඩි උපහාසයට ලක්‌කළ බවත් පහත කවියෙන් ගම්‍ය වේ.

කම්මැළිsකම පිට බුදියා ගන්නේ

කොච්චි මිරිස්‌ තුන් කලදක්‌ ගන්නේ

අඹරා පස්‌සට වස්‌ති කරන්නේ

කම්මැළිකම් ඒකෙන් දුරු වන්නේ


1872 වසරේ සිට 1910 දක්‌වා දශක 3 කට අධික කාලයක්‌ පවත්වා ගෙන ගිය කවට කථිකයා පුවත්පතට පහර එල්ල කිරීමට හෝ විහිළු තහළු කිරීමට තරාතිරමක්‌ නොවීය.

එක්‌ අවස්‌ථාවකදී පෑලිස්‌ අප්පුහාමි විසින් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට ද සිය පුවත්පතින් කවටකම් කළ බවට තොරතුරු පවතී. ඒ උන්වහන්සේගේ අතක තිබිණැයි කියන සුදු කබර (අල්ලේ) පිළිබඳවය.

ගිහි සමාජය පමණක්‌ නොව, ගිහි සමාජයේ ප්‍රභූන් පවා අප්පුහාමි විසින් විවේචනය කරන ලදී. ඊට සම්බන්ධව ද රසවත් කතාවක්‌ තිබේ. එනම් අධිකරණය හමුවේ සිය නිර්දොaෂී භාවය ඔප්පු කිරීමට අවශ්‍ය වූ කිසියම් පුද්ගලයකුට අවශ්‍ය චරිත සහතිකයක්‌, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා විසින් ලබා දීම සිදු කළ අවස්‌ථාවක්‌ පිළිබඳ සැල වූ කවට කථිකයා පුවත්පත පහත සඳහන් කවියෙන් ඩී. බී. ජයතිලක මහතාගේ ක්‍රියා කලාපය විවේචනය කළේලු. ඊට අදාළ කවිය මෙසේයි.

දඩි බිඩි ජයතිලක දුර දිග නොබලා

දඩි බිඩි ගා දුනි කැරැට්‌ටු ලියලා


බොහෝ අවස්‌ථා සහ සිද්ධි සම්බන්ධව කවට කථිකයා සිය අදහස පුවත්පත මගින් නොපැකිලිව ඉදිරිපත් කර ඇති බව සුරාවට ලොල් වූ පුද්ගලයන් හා එහි ආදීනව, ප්‍රතිවිපාක පිළිබඳව සඳහන් කරමින් පළ කළ පහත සඳහන් ශ්ලෝකයෙන් අවබෝධ කර ගත හැකිය.

ඒකෝ ගුඩුස්‌ සනීපංච

දුතීයේ අසනීප කෘත්

තෘතියේ සිහනාදං ච

චතුර්ථෙ ඌරු වෛශ්‍යඃ


'කවට දූතයා' සහ 'කවට කථිකයා' පුවත්පත් ඉහත පුවත්පත ඇරඹි කාල පරිච්ඡේදයේදීම ආරම්භ කළ සමකාලීන පුවත්පත් දෙකකි. එය 1889 වසරේදී ඇරඹිණි. මෙලක පැවැති කවට පුවත්පත් සියල්ලම පාහේ කාව්‍යාත්මක රස බසකින් සිය වාර්තාකරණය කිරීම ප්‍රධාන ලක්‍ෂණයකි. කවට දූතයා ද එවැන්නෙකි. මෙම පුවත්පත සතිපතා පළ කළ අතර එහි හිමිකරුවා මෙන්ම ප්‍රකාශකයා වූයේ සී. ඇන්. ද සිල්වා නමැත්තෙකු විසිනි. එම පුවත්පත ද ආරම්භ වන්නේ කවියකිනි.



කවට කමට ඔබින යමක්‌ දුටු දුටු තැන අල්ලා

කවට කමින් දුදනන් එඩි බිඳලන කර මෙල්ලා

කවට කමට හිතැති සුමිත් මහතුගවද ඉල්ලා

ලකට පැමිණි 'කවට දූත' මම බව දැන ගල්ලා




1891 වසරේ අගෝස්‌තු මස 10 වැනි දා ඇරඹි කවට මිත්‍රයා පුවත්පත සී. ෆොන්සේකා මහතා විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර එයද අනිකුත් පුවත්පත් මෙන් ආදර්ශ කවියකින් අරඹා ඇත.

සතුටින ලොව ඇතිවන යස කවට වදන් ඉදුරා

පතුරන මෙන සියදනතුර සිතට ගනිමු මෙවරා

සුදුදන හිත වෙහෙස කරන සුදනන්හට හතුරා

ලකඟන පුතු බව දනු මම තරුණ කවට මිතුරා


එම වසරේ සැප්තැම්බර් මාසයේදී 'ලංකා කවට මිත්‍රයා' නමින් තවත් කවට පුවත්පතක්‌ ආරම්භ වන බව 1891.07.25 ලක්‌මිණි පහන පුවත්පතේ පූර්ව නිවේදනයක්‌ කර තිබෙන බව සඳහන් කරන සිංහල පුවත්පත් සඟරා ඉතිහාසය කර්තෘවර පූජ්‍ය කළුකොඳයාවේ පCඳ්C¹සේකර හිමියෝ සඳහන් කරති. 'කවට නරේJද්‍රයා' පුවත්පත 1891 වසරේ අගෝස්‌තු මස 15 වන දින ආරම්භ කිරීමට නියමිත බව 1891.08.07 දින පළ කළ සරසවි සඳරැස පුවත්පතේ පහත පරිදි සටහන් වේ.

"මේ නමින් පත්‍රයක්‌ මේ මස 15 වන සෙනසුරාදා පටන් ලක්‌දිව් යන්ත්‍රාලයේ අච්චු ගස්‌වන බව දන්වමි. පළමු වෙනි පත්‍රය බැලීමට සතුටු ඇත්තෝ ශත දෙකේ මුද්දරයක්‌ සමඟ ඉල්ලුම් කරනු" යෑයි සඳහන් කර තිබීමෙන් පැහැදිලි වේ.

1893 වසරේ සැප්තැම්බර් මස 15 වන දින එළිදක්‌වන ලද තවත් කවට පුවත්පතක්‌ ලෙස 'කවට රාළහාමි' හඳුන්වා දිය හැක. කවට රාළහාමි පුවත්පත බ්‍රින්ඩියාවත්තේ විද්‍යාසාගර නම් මුද්‍රණාලයක අච්චු ගස්‌වා ප්‍රසිද්ධ කරන ලද්දේ මහනුවර එම්. ඩබ්ලිව්. ඒ. ධර්මවර්ධන මහතා විසිනි. මේ පිළිබඳව ද පූර්ව නිවේදනයක්‌ 1893.08.10 දින දිනකර ප්‍රකාශනයෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.

"මෙලකට තුෂ්ටිදායක පත්‍රයක්‌ තිබෙන්නට ඕනෑ එකක්‌ නිසාත්, වැදගත් බොහෝ දෙනකුගේ ඉල්ලීම පිටත් මේ වැඩේ මෙසේ ආරම්භ කරන ලදී..."

එම පුවත්පත ද සෙසු කවට පුවත්පත් මෙන් ආරම්භ කර ඇත්තේ කවියකිනි.

ලොවට වැඩැති බස්‌ කීමෙහි රුසිවරයෙකු ලී ලේ

පවට පහර දෙවනා කල යමයෙකු වැනි ලී ලේ

අවට දනන් පිනවීමෙහි බොළඳ යහළු ලී ලේ

කවට රාළහාමි මෙලොව කාටත් එක ලී ලේ



මෙවැනි පුවත්පතක්‌ ඇරඹීම පිළිබඳව ප්‍රශංසා කළ පුවත්පත් අතර 'ලක්‌රිවි කිරණ' 'සරසවි සඳරැස්‌ සහ 'කල්‍යාණෝදය' වැනි පුවත්පත් විශේෂ වේ.

'කවට රාළහාමි' පුවත්පතට පසුව ආරම්භ කළ කවට පුවත්පත 1894.01.01 දින පළ වූ 'කවටයා' පුවත්පතයි. මෙය සතියකට වරක්‌ පළ කළ පුවත්පතකි. සෙසු පුවත්පත් මෙන් කවටයා පුවත්පත ද පහත කවිය යොදා ආරම්භ කර ඇත.

සතට වැඩටයා - හිත බස

සැමට සතුටයා

පවට නිවටයා මමවද

ලකට කවටයා

'කවටයා' පුවත්පත කොළඹ පිටකොටුවේ කුමාර වීදියේ පේදුරු සිල්වා නමැති අයකු විසින් ප්‍රකාශයට පත් කර ඇති අතර මංගල කලාපයේ දීර්ඝ හැඳින්වීමේ සටහනක්‌ තබා ඇත.

"ඉතින් දැනට ඉස්‌සරට වඩා බොහොම සීලාචාර වී තිබෙන අප ලංකාද්වීපයෙත් නිසි කවට පත්‍රයක්‌ නැත්නම් වනචර රටවලට වඩා වෙනසක්‌ නොවේ. මේවා කොහොම කිව්වත් කවටකම් දන්නේ නැති අයත් සිටින බව හැබැයි. කවටකම් දන්නේ නැති අය සිටින්නේ අප සිංහලයන් අතරේ පමණක්‌ නොව ලෝකයේ දැනට බොහෝ උතුම් බවට පැමිණ සිටින ඉංගී්‍රසීන් අතුරෙත් සිටින බව නොබෝදා පාර්ලිමේන්තුවේදී සිද්ධවුණ ගුටි කෙළිය ගැන ඇසූ කවුරුත් දන්නවා ඇති."

කවටයා පුවත්පත පිළිබඳව වූ අදහසක්‌ 1894.01.20 දින 'ලක්‌මිණි පහන' පුවත්පතේ මෙසේ සඳහන් කර ඇත.

සතියට වරක්‌ සඳු දින පහළව මෙල ක

සුදනට කරමි මම දැන් සුබ වැඩ නොයෙ ක

බලනට විදිය රිසිනම් මගෙ යම් කෙනෙ ක

එවනට හොඳය මුද්දරයක්‌ සත දෙක ක




ආගමික මතවාදයන්ට තුඩු දෙන හෝ ආගම්වලට විරුද්ධව කිසිදු ලිපියක්‌ කවටයා පුවත්පතේ පළ නොකරන බව එම පුවත්පතේ විශේෂ සටහනකින් දක්‌වා තිබීම ද විශේෂත්වයකි. ඒ බව 1894.01.01 දින පළ කළ දිනකර පුවත්පතේ විශේෂ සටහනක්‌ තබා ඇත.

එවකට ආර්ථික වශයෙන් යම් ස්‌ථාවරත්වයක සිටි අයවලුන් විසින් පෞද්ගලිකවම පුවත්පත් ඇරඹි බව මෙයට පෙර සඳහන් කළෙමි. 1895 ජූලි මස 12 වැනි දා ඩබ්ලිව්. ජෝන් පෙරේරාගේ හිමිකාරත්වයෙන් ඇරඹි 'දැනුමැති කවටයා' කොළඹ පිටකොටුවේ පස්‌වැනි හරස්‌ වීදියේ අංක 9 හි පිහිටි ප්‍රබෝදා මුද්‍රණාලයෙහි මුද්‍රණය කරවා ප්‍රසිද්ධ කර ඇත. සෙසු කවට පුවත්පත් මෙන් දැනුමැති කවටයා පුවත්පතෙහි ද ආරම්භය කවියකිනි.

සිත ඇති සව්සතට නෙසුබ වැඩ සලසන ලෙසටා

රුති රුති වන කවට බසින් වඩවන දන සතු ටා

සත නිති යාපත මඟ හෙළි කරනා නිසි රඟටා

දැනුමැති කවටයා මමවද පත් සිරි ලක ටා



දැනුමැති කවටයා පිළිබඳ වූ අදහස්‌ සමකාලීන පුවත්පත් කීපයකින් දැක ගත හැක. පුවත්පතට ප්‍රශංසා කළ පුවත්පත් අතර 'සරසවි සඳරැස්‌ 'ශ්‍රී ලංකෝත්තංසය', 'දිනපතා ප්‍රවෘත්ති' සහ 'සත්‍ය ප්‍රදීපය' ද වේ.

මොරටු නරේJද්‍රයා ආරම්භ කර ඇත්තේ 1899 වසරේදී ය. කවට නරේJද්‍රයා නමින්ද සීදොන් බස්‌තියන් මහතා විසින් ආරම්භ කිරීමට නියමිත බවත්, එය 1891.08.15 වන දින සිට මිලදී ගත හැකි බවත් 1891 අගෝස්‌තු මාසයේම 'සරසවි සඳරැස්‌ පුවත්පතේ පූර්ව නිවේදනයක්‌ කර ඇත.

එවකට පුවත්පත් අතර 'නඩු' මඟට යොමුවීමේ සිද්ධියක්‌ ද වාර්තා වේ. එය ලක්‌මිණි පහන සහ කවට නරේJද්‍රයා පුවත්පත අතරය. මේ වෙනුවෙන් ම කියෑවෙන විශේෂ ලිපියක්‌ 1891.10.24 දින ලක්‌මිණි පහන පුවත්පතේ පළකර ඇත. එහි මෙසේ සඳහන් වේ.

"එහෙයින් කවරෙකුටවත් කොයි පක්‍ෂයකටවත් අපහාස පළ කරන පත්‍ර පොදු ජනයා විසින් නොපිළිගත යුතුයි. ඉතා කීකරුව සිට සොරුන්ගේ කතාබස්‌ නිතර ඇසීමෙන් කුළු ඇතෙක්‌ වූවා මෙන් අනුන්ට ගරහන පත්‍ර කියවන්නෝ ද ඒ ධර්මය අනුව යන්නාහු වෙති."

ලක්‌මිණි පහන

මෙකල කවට පුවත්පත් කොතෙක්‌ ජනතාව අතර ප්‍රබෝධයක්‌ ඇති කළෝද යත් සෑම වසරකට හෝ දෙවසරකට වරක්‌ කවට පුවත්පතක්‌ පාඨකයා වෙනුවෙන් පළකර ඇති බවට පහත සඳහන් පුවත්පත් හා කාල වකවානු දෙස බැලීමෙන් අවබෝධ කර ගත හැකිය. එනම් 1910 කවට රාළ, 1912 'සිංහල කවටයා', 1914 කවට අඟන, 1912 කවට තිලක, 1916 ලංකා කවටයා ආදිය එම පුවත්පත් ය.

මෙම පුවත්පත්වලද ආරම්භක පිටුව කවියකින් පටන් ගෙන ඇත.

සුදනට මෙත්සිත නිතරම පතුරමු

දුදනට අසු උන උන තැන බැට දෙමු

සදනට ලොව සුසිරිත නිති සැර සෙමු

අද මට බල නොදෙනා බව දන් වමු



දොරටු සුදන පැමිණ පිරිස බස්‌ පවසමි දුල්වා

අරිටු කුදිටු අදමිටු සැම දුසිරි නසමි අල්වා

පෙරටු සතුරු පිය නොව යුද කරමි දිනන කල්වා

මොරටු නිරිඳු මමය මෙසිරිලක සුරකින ලොල්වා




මොරටු නරේJද්‍රයා පිළිබඳ 'කවි කළඹ' කර්තෘ ඩී. ඇම්. සිල්වා මහතා හිතෛශීවන්තයකු වශයෙන් සිය පුවත්පතෙහි මෙවැනි අදහසක්‌ පළ කර තිබේ.

තවද පත්‍රයකට ඇතිවිය යුතු අංග ප්‍රත්‍යාංගයන්ගෙන් අනූනයි. මෙය පවත්වන පටිපාටිය ප්‍රශංසනීයයි. අසභ්‍ය වාක්‌ ලීලායෙන් විරන වාග් සමුදායෙන් ද සමන්විත කොට හාස්‍ය රසානුගාමීව මෙය පළ කරන අස්‌මත් සුමිත්‍ර ඩබ්. එච්. ප්‍රනාන්දු මහත්මාට අස්‌මදියාදර අවංක ස්‌තුතිය මෙයින් පිරිනමමු" (කවිකළඹ කර්තෘ)

පුවත්පත් කලාවේ රසමුසු තැන් පිරික්‌සීමේදී එවකට මාධ්‍යවේදීන්ට ද නොයෙකුත් අභියෝගාදියට මුහුණ පෑමට සිදුව ඇති බව නොරහසකි. පෑලියගොඩ පෑලිස්‌ අප්පුහාමි මහතා විසින් ආරම්භ කළ ලංකාවේ ප්‍රථම කවට පුවත්පත වන 'කවට කථිකයා' පුවත්පතේ යම් යම් ප්‍රවෘත්ති පිළිබඳව ද රසවත් කතා ඇත. ඒ කතා අතර පෑලිස්‌ අප්පුහාමි විසින් පළකළ 'ඉංග්‍රීසි රජ පවුල අමුඩෙට ගිහිං' යන හිසින් පළ කරන ලද ලිපිය හේතුවෙන් පෑලිස්‌ අප්පුහාමිට විරුද්ධව නඩු පැවරූ බව ප්‍රකට කථාවකි. මෙම නඩුව සඳහා විත්ති පාර්ශ්වය වන අප්පුහාමි වෙනුවෙන් කිසිදු නීතිඥයෙක්‌ ඉදිරිපත් නොවන තරමට එය බරපතළ විය. තත්ත්වය කොතෙක්‌ උග්‍රවීද යත් අවසානයේ විත්තිය වෙනුවෙන් පෙරකදොaරුකම කරගන්ට වූයේ ද පෑලිස්‌ අප්පුහාමි මහතාටම ය. නඩු දිනය එළැඹිණි. තමාගේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමේ අවස්‌ථාව පැමිණි පසු පෑලිස්‌ අප්පුහාමි සිය ඇඳුම් එකිනෙක උනා දැම්මේලු. අවසන ඉතිරි වූ අමුඩයේ කෙළවරක මුද්‍රණය කර තිබූ 'රජ පවුලේ ලාංඡනය' පෙන්වීය. සියල්ලෝ මවිතයට පත් වූහ. සැබැවින් ම රජ පවුලේ ලාංඡනය අමුඩයේ මුද්‍රණය කර තිබුණේ එවකට අමුඩ ලේන්සු නිෂ්පාදනය කරන ආයතනයක්‌ මගිනි. මෙම ආයතනය මගින් රජ පවුලේ ලාංඡනය අමුඩයේ මුද්‍රණය කරන්නට ඇත්තේ අලෙවි ප්‍රවර්ධනය කර ගැනීමේ අදහසින් විය යුතුය.

කෙසේ වෙතත් මෙලෙස සිය නිර්දොaශි භාවය වෙනුවෙන් කරුණු, සාක්‍ෂි ඉදිරිපත් කිරීම හේතු කොට ගෙන පෑලිස්‌ අප්පුහාමි නිදහස්‌ වූ බව කියෑවේ. මේ අනුව ගත් කල එවකට පුවත්පත් කලාව පිරික්‌සීමේදී විවිධ සංසිද්ධීන්ට අදාළ හරබර, රසබර, දුක්‌බර කතා රැසක්‌ සොයා ගැනීමට හැකිය.

ස්‌තුතිය - සිංහල පුවත්පත් සඟරා ඉතිහාස කර්තෘවර අපවත්වී වදාළ පූජ්‍යපාද ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය පණ්‌ඩිත කළුකොඳයාවේ පඤ්ඤාසේකර හිමියන්ට.