යුද හමුදාව සිරකරුවන් මරාදමයි

ශ‍්‍රී ලංකා යුද හමුදාව සිරකරුවන් මරාදැමූ බව සාක්කිකරුවෝ තහවුරු කරති

ෆ‍්‍රාන්සස් හැරිසන්

2009 වසරේ දිවයිනේ සිවිල් යුද්ධයේ අවසානයේ දී සුදුකොඩි රැගෙන විත් භාර වූ දෙමළ කොටි කැරලි නායකයන් දෙදෙනකු ශ‍්‍රී ලංකාවේ යුද හමුදාවන් විසින් ඝාතනය කරන ලද බවට ඇති චෝදනා තහවුරු කිරීමට පළමු වතාවට ඇසින් දුටු සාක්ෂ්‍යකරුවෝ දෙදෙනෙක් ඉදිරිපත් වී සිටිති. 

මෙම සාක්කිකරුවන් ගේ ප‍්‍රකාශයන්, කැරලිකරුවන් ඔවුන්ගේ ම ආධාරකරුවන් විසින් මරාදැමූ බවට ශ‍්‍රී ලංකා ආණ්ඩුව කරන ප‍්‍රකාශය අලූත් වටයකින් සැකයට බඳුන් කරන අතර යුද්ධය අතරතුර ශ‍්‍රී ලංකා හමුදාවන් විසින් කරන ලදැයි චෝදනා එල්ලවන යුද අපාරාධ පිළිබඳ වර්ධනය වෙමින් එන සාක්ෂ්‍ය සමූහයට තවත් එකතුකිරීමක් සිදුකරයි.

දෙමළ කොටි නායකයාගේ 12 හැවිරිදි පුතු ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් අල්ලාගැනීමෙන් පසු කිසියම් සුළු ආහාරයක් ගනිමින් සිටින අයුරු දැක්වෙන ඡයාරූප ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්’ පුවත්පත් පසුගිය සතියේ පළකළා ය. එයින් සුළු මොහොතකට පසු ඔහු ගේ පපුවට පස් වතාවක් වෙඩිතබා තිබූ අතර අධිකරණ වෛද්‍ය විශේෂඥයකුට අනුව වෙඩිතැබීම ඉතා ම ළඟ සිට කරන ලද්දක් සේ පෙනිණි.

‘‘සුදුකොඩි සිද්ධිය’’ ලෙසින් ප‍්‍රකට සිදුවීමේ දී දෙමළ කොටි නායකයන් දෙදෙනා ශ‍්‍රී ලංකා හමුදාවන් විසින් සිය අත්අඩංගුවට බාරගත් බවත්, ඉදිරි ආරක්ෂක සීමාවේ සිට ඔවුන් පණපිටින් රැගෙන ගිය බවත්, තමන් වෙන වෙන ම උස් ස්ථාන දෙකක සිට දුටු බවට  මෙම නව සාක්කිකරුවන් දෙ දෙනාට සාක්කි දිය හැකි ය.

ශ‍්‍රී ලංකාවේ වෙසෙන සිය පවුලට අනිසි පලවිපාක විඳින්නට සිදුවේය යන බිය නිසා සිය නම හෙළිකිරීමට අකැමැති එක් සාක්කිකරුවෙක්, කොටි දේශපාලන අංශ නායකයන් ගේ ආරක්ෂකයකු ලෙස සේවය කළ අයෙකි. යුද්ධයේ අවසන් මාසවල දී දරුණු ලෙස තුවාල ලැබූ ඔහු ජීවිතය බේරාගැනීම සඳහා යටත් වූ අතර තමන් අකමැත්තෙන් ශ‍්‍රී ලංකා යුදහමුදාවේ ඔත්තුකරුවකු බවට පත්වූ බව පවසයි.

ශ‍්‍රී ලංකා හමුදාව 2009 මැයි 18 වැනිදා උදේ තමන් යුද පෙරමුණට රැගෙන ගොස් පස් ගොඩැල්ලක් පසුපස ස්ථානයක රැඳවූ බව දැනට ලන්ඩනයේ වෙසෙන ඔහු පවසයි. ඔහුට පැවරුණු රාජකාරිය වූයේ සුදුකොඩි රැගෙන හමුදාව වෙතට ඇවිදගෙන ආ දෙමළ දේශපාලන නායකයන් ගේ අනන්‍යතා සනාථ කිරීම යි. එය ආරක්ෂකයන් පිරිවරා සිටි ජ්‍යෙෂඨ නිලධාරීන් ඇතුළු සියගණනක් සොල්දාදුවන්ගෙන් සැදුම් ලත්, මැනවින් සංවිධානය කරන ලද යටත්වීමේ අවස්ථාවක් ලෙස පෙනුණු බව ඔහු කියයි.

රජයේ ගුරු වෘත්තිකයකු වූ, දැනට ලන්ඩනයේ පදිංචි දෙවැනි සාක්කිකරුවා පවසන්නේ තමන් යුද්ධයේ අවසන් කාලයේ දී කොටි සංවිධානය විසින් බලහත්කාරීව ශ‍්‍රමය සැපයීමට බඳවාගත් බව යි. යුද්ධය අවසන් බවත්, එය සිය ජීවිතය බේරාගැනීමට ඇති එක ම අවස්ථාව බවත් තේරුම්ගත් තමන්, මෙම සුදුකොඩි සිද්ධියට පැය කිහිපයකට පෙර හමුදාවට බාරවූ බව ඔහු කියයි. පරීක්ෂා කිරීම්වලින් අනතුරුව තමන් ද සෙසු අය සමඟ යුද පෙරමුණ ආසන්නයේ පිහිටි අත්හැරදමන ලද ගොඩනැගිල්ලක් අසළ රඳවා තැබූ බව ද ඔහු පවසයි. දෙමළ කොටි නායකයන් සහ ඔවුන්ගේ ඥාතීන් කණ්ඩායම් කිහිපයක් සුදුකොඩි රැගෙන යුද කලාපයෙන් එළියට පැමිණ ශ‍්‍රී ලංකා හමුදාව දෙසට ඇවිදගෙන එනු එම ස්ථානයේ සිට ඔහු නිරීක්ෂණය කර ඇත.

දෙමළ දේශපාලන අංශයේ නායක නඬේසන්, ඔහු ගේ සිංහල ජාතික බිරිය සහ කොටි සාමලේකම් කාර්යාලයේ ප‍්‍රධානී පුලිදේවන් එහි පළමු කණ්ඩායමේ සිටිනු දැකීමෙන් තමන් පුදුම වූ බව ඔහු පවසයි. හමුදාවන්ට භාරවීම කොටි නිල වශයෙන් අනුමත නොකළ අතර සිය හමුදාවට බඳවාගත්තවුන්ට හසුවීමට යන අවස්ථාවක දී එසේ හසු නොවී සියදිවි නසාගැනීම සඳහා බෙල්ලේ එල්ලාගැනීමට සයනයිඞ් කරලක් ලබාදී තිබිණි.

යටත්වීමට පැමිණි කැරලිකාර කණ්ඩායම් කිහිපයක් ම පිළිගැනීමට ශ‍්‍රී ලංකා සොල්දාදුවන් ඉදිරියට ගිය බවත්, භාරවූවන් රැගෙන යාම සඳහා කලපුවෙන් අනෙක් පස නවතා තිබූ වාහන කරා එම පිරිස් කලපුව හරහා වූ පාලමක් මතින් එම සොල්දාදුවන් විසින් කැඳවාගෙන යනලද බවත් සාක්කිකරුවෝ දෙදෙනා ම පවසති.

සොල්දාදුවන් විසින් තමන් පිකප් රථයක පසුපසට දමාගෙන ඉවත රැගෙන යනතුරු කොටි දේශපාලන නායකයන් ගේ හිටපු ආරක්ෂකයා මෙම යටත්වීමේ අවස්ථාවෙන් පැයකට වැඩි කාලයක් එහි රැඳී සිට ඇත. එසේ රැගෙන යන අතර, සිය ජංගම දුරකතනවලින් බිම වැටී තිබූ මළ සිරුරුවල ඡයාරූප ගන්නා සොල්දාදුවන් ඔහු මගදිගට ම දැක තිබේ. එසේ බිම හෙවුණු මළසිරුරු පසුකරමින් යන අතර ඔහු පුලිදේවන් ගේ හා නඬේසන් ගේ මළසිරුරු හඳුනාගෙන තිබේ. පපු ප‍්‍රදේශවල පිළිස්සුම් සලකුණ සහ වෙඩි පහරවලින් ඇතිවූ තුවාල සහිතව කොටි නායකයන් දෙදෙනාගේ අඩ නිරුවත් මළසිරුරුවල ඡයාරූප එතැන් පටන් විදෙස් වෙබ් අඩවි වල පළවිය.

බාරවීම සඳහා ශ‍්‍රී ලංකා ආණ්ඩුව සමඟ එකඟතාවකට පැමිණි බවට විශ්වාස කැරෙන තවත් 40කට ආසන්න කැරලිකාර පිරිසක් ‘සුදුකොඩි’ සිද්ධිය සමඟ ඈඳී සිටිති. එතැන් පටන් ඒ කිසිවකුත් නැවත වතාවක් දැකගන්නට ලැබී නැත.

ජනාධිපතිවරයකු හා ඉන්දීය අගමැතිවරයකු ද ඇතුළු දේශපාලනඥයන් විශාල පිරිසක් සහ සිවිල් වැසියන් ද ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද යොදාගනිමින්, දෙමළ කොටි කැරලිකරුවෝ වෙනම රාජ්‍යයක් සඳහා දශක ගණනාවක් තිස්සේ කෲර ත‍්‍රස්ත ව්‍යාපාරයක් ගෙන ගියහ. 

පුලිදේවන් හා නඬේසන් යනු ශ‍්‍රී ලංකා හමුදාවන්ට භාරවූ කැරලිකරුවන් අතරින් වඩාත් ම ජ්‍යෙෂ්ඨයෝ දෙ දෙනෙකි. සිය අවි බිමතැබීමට ඇති කැමැත්ත ජනාධිපතිවරයා ඇතුළු ශ‍්‍රී ලංකාවේ ඉහළම බලධාරීන්ට දැනගන්නට සැලැස්වීම තහවුරුකරගැනීම සඳහා, භාරවීමට පැය ගණනකට පෙර ඔවුහු රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ට, ජනමාධ්‍යවේදීන්ට හා සාම මැදිහත්කරුවන්ට පණිවුඩ යැවීමට සැටලයිට් දුරකතන භාවිතා කර තිබුණහ. සුදු කොඩියක් ඔසවාගෙන පැමිණෙන්නේ නම් ඔවුන් ගේ යටත්වීම පිළිගනු ඇති බවට ඔවුන්ට සහතික වී තිබිණි.

කෙසේවෙතත් පුලිදේවන් හා නඬේසන් 2009 මැයි 18 වැනිදා 58වැනි බලසේනාවේ භටයන් විසින් මරාදැමූවන් ලෙස ශ‍්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය ලයිස්තු ගතකරයි.

කොටි නායකයන්ට ඔවුන්ගේ ම පාර්ශ්වකරුවන් විසින් පසුපස සිට වෙඩිතැබූ බව ශ‍්‍රී ලංකා ආණ්ඩුව අවධාරණය කරන අතර, යුද හමුදාව කිසිදු තනි පුද්ගලයකු ඝාතනය නොකළ බව ද කියා සිටී.

කුරිරු යුද්ධයේ අවසන් භාගයේ දී ශ‍්‍රී ලංකා හමුදාව සහ කොටි සංවිධානය විසින් යුද අපරාධ සිදුකරන ලද බවට වන චෝදනා බෙහෙවින් ප‍්‍රචලිත ය. එක්සත් ජාතීන් ගේ විමර්ෂකයන්ට අනුව, යුද්ධයේ අවසන් මාස කිහිපයේ දී රෝහල්, ආහාර පෝලිම් හා සිවිල් වැසියන් සඳහා වූ ආරක්ෂිත කලාප වෙත හිතාමතා එල්ල කරන ලද ආණ්ඩුවේ ෂෙල් ප‍්‍රහාර නොකඩවා පතිත වී තිබිණි

............................................................


ලන්ඩනයේ පළවන 'දි ඉන්ඩිපෙන්ඩන්ට්' පුවත්පතට ෆ්‍රාන්සස් හැරිසන් විසින් 'Witnesses support claim that Sri Lanka army shot prisoners' මැයෙන් 2013 පෙබරවාරි 24 වෙනිදා ලියන ලද ලිපියේ සිංහල අනුවාදයයි.