නීතිය යනු කන්‍යාවක් නොව ලොම් හැලී ගිය මැහැල්ලකි



රාමචන්ද්‍ර

පසුගියදා තුම්මුල්ල හංදියට මදක් ඔබ්බෙන් පැවැති රජගහේ නාඩගමේ වඩාත්ම නීරස කොටස වීරවංශගේ උපවාසය බවට සැකයක් නැහැ.මනමේ නාට්‍යය නාට්‍යමය බවින් පොහොසත් කියල අපි කියන්නෙ සිදු වෙන දේ හා සිදුවන්නට යන දේ නාට්‍යකරු ප්‍රේක්ෂකයාගෙන් වසන් කරන නිසා.මනමේ කුමරිය මනමේ රජුට කඩුව දෙයිද?නැද්ද?කඩුව නොදුන්නේ ස්වේච්ඡාවෙන්ද නැත්නම් එය හුදු අහම්බයක්ද?මේ ගැන අවිනිශ්චිතතාවයක් නාට්‍යය පුරා රජයන නිසා නාට්‍යය බලන අයෙක් තුල අපූර්වත්වයක් ඇති වෙනවා.ඊලගට මොනවා වෙයිද කියන නිරන්තර කුතුහලය සිතේ පවතිනවා.
වීරවංශගේ රජගහේ නාඩගම ඉවර වෙන්නෙ කොහොමද කියන එක ගැන කවුරු කවුරුත් දැනගෙන සිටි නිසා නාඩගමේ වීරවංශගේ පාට් එක කිසි නාට්‍යයමය රසයක් නැති බොල් පාට් එකක් වී අවසන් උනා.උපවාසය දින දෙක තුනකින් නිමවන බවත්,ජනාධිපති ඇවිත් ඔලුව අත ගා වීරවංශව නැගිට්ටවන බවත් නුවර පාර ලියන දේශපාලන බබා වැනි නොදරුවන් හැර සිහි කලදක් තිබෙන ඕනෑම අයෙක් පූර්වේක්ෂනය කල කරුනක්.

කෙසේ නමුත් මෙම ලේඛකයාට නාඩගමේ වඩාත්ම රසවත් කොටස වූයේ වීරවංශගේ උපවාසය නොව ගෝඨාභය රාජපක්ෂගේ භූමිකාවයි.ගෝඨාභය මුලු කතන්දරයේම රගපෑවේ එක ජවනිකාවක පමනයි.ඒත් ඒ ජවනිකාව නාට්‍යයේ ප්‍රබලම ජවනිකාව බව ලේඛකයාගේ විශ්වාසයයි.

දැනටමත් මුලු රටම දන්නා ගෝඨාභයගේ එම කෙටි භූමිකාව පහත පරිදියි.
එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්යාල පරිශ්‍රය වට කරමින් කාර්ය මන්ඩලයට එලියට එන්නට නොදී හිර කරගෙන සිටින ඇමති වීරවංශගේ ආධාරකරුවන් පාලනය කරන්න පොලිසිය පැමිනෙනවා.අධි ආරක්ෂිත කලාපයක උද්ඝෝෂන පාලනය කරන "සාමාන්‍ය" විදිහට වඩා වෙනස් වුනත් කලහකාරීන් මැඩපවත්වන්න පොලිස් ලොක්කා දරන අසරන උත්සාහය දෙනෝ දාහක් මැද කිච වන්නේ ආරක්ෂක ලේකම් විසින් ලබාදෙන එක දුරකතන ඇමතුමකින්.දෙස් විදෙස් මාධ්‍ය වේදීන්,ජනී ජනයා දෙනෝ දාහක් මැද හැමෝටම ඇහෙන ලෙස පොලිස් ලොක්කාගේ ඇගට කඩා පනින ආරක්ෂක ලේකම් වහාම උද්ඝෝෂන පාලක පොලිස් හමුදාව Withdraw කරන්න කියල ලොක්කාට කෑ ගහනවා.හිස දෙකට සහ කොන්ද හතරට නවා ගන්න පොලිස් ලොක්කා යර්ස් සර් කියල අවනත වෙනවා.අවනත වෙන ලොක්කාට ගොනා ඇන්නා සේ රැස්ව සිටින දේශහිතෛශින් විසින් පහර දීමක් කරන අතර දේශප්‍රේමී පහරක් වැදී පොලිස් ලොක්කාගේ තොප්පිය අහසට විසි වෙනවා.නීතිය රකින්න ඉන්නවා යැයි කියන පොලිස් නිලධාරියා සමහරවිට තමන්ගේ වෘත්තිය ජීවිතයේ මුහුන දෙන ලද ලජ්ජාසහගතම සහ වඩාත්ම නින්දා සහගත සිදුවීම මෙය විය හැකියි.ආරක්ෂක ලේකම්ගෙන් කිච වුනා මදිවාට නීතිය "කඩන" නිසා නීතිය රකින්න පැමින නීතිය කඩනවා යැයි සැලකුන උද්ඝෝෂකයන්ගෙන් පහර කෑමට සිදුවීම අපි නම් ගගේ පනිනවා පන්නයේ සිදුවීමක් මිස අනෙකක් නෙමෙයි.

කලහකාරී උද්ඝෝෂනයක් පාලනය කරන්න පැමිනි පොලිස් නිලධාරියෙක්ට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විසින් දෙනෝ දාහක් ඉදිරියේ මේ විදිහට කෑ ගැසීම නාඩගමේ වඩාත්ම දේශපාලනික සිදුවීමය කියල කියන්නේ ඇයි?
හේතු කිහිපයක් මේ නිගමනයට පාදක වෙනවා.

පලමුව මේ සිදුවීමෙන් වර්තමාන ලංකාවේ නීතිය යනු මොනතරම් ජෝක් එකක්ද යන්න පැහැදිලි වෙනවා.නීතිය ගැන කෙරෙන සම්භාව්‍ය ඉගැන්වීම් වලදී නීතියේ විධානය (Rule of law) පරම සංකල්පයක් විදිහටයි පිලිගැනෙන්නෙ.ඒ කියන්නෙ පාලකයාද පාලිතයාද ඇතුලු සියල්ලෝ සමාජයක නීතියට අවනත විය යුතුයි කියන එක නවීන ප්‍රජාතන්ත්‍රවාදයේ වගේම සීලාචාර පොදු මනසටත් සාධාරන අදහසක්.අධි ආරක්ෂිත කලාපයක් කියල රජයම නම් කල කලාපයක කලහකාරී ලෙස ආයතනයක සේවකයන්ට එලියට එන්නට ඉඩ නොදී සිරකර තැබීමක් කැබිනට් ඇමතිවරයෙක්ගේ නායකත්වයෙන් සිදු වෙනව.කලහය මැඩපවත්වන්න තමාට නීතියෙන් බලයක් පැවරුන බව සද්භාවයෙන් විශ්වාස කරමින් පොලිස් නිලධාරියෙක් සිදුවීම පාලනය කරන්න මැදිහත් වෙනවා.පොලිස් නිලධාරින්ව අපිට හදුන්වලා දීල තියෙන්නෙ සමාජයේ "නීතිය හා සාමය" රකින්න ඉන්න නිලධාරින් විශේෂයක් ලෙස.මහජනයාගේ බදු වලින් මේ නිලධාරින්ව නඩත්තු කරන්නේ නීතියයි සාමයයි රකින්න කියලයි දෙකේ පන්තියේ ඉදලම අපට උගන්වන පාඩම.නීතිය රකින්න ඉන්නවය කියන පොලිස් නිලධාරියා තම රාජකාරිය සදහා මැදිහත් වන විට ආරක්ෂක ලේකම් ඔහුට පලු යන්න බැන වදිනවා.
ගමක කසිප්පු තිප්පොලවල් වටලන පොලිස් නිලධාරින්ට ප්‍රදේශයේ මන්ත්‍රී හෝ ආසන සංවිධායක මැදිහත්වෙලා තග දැමීම ප්‍රාදේශීයව අප අත් දැක තිබෙන සුලබ සිදුවීමක්.අදාල පොලිස් නිලධාරින් ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ තග දැමීමට හෝ ස්ථාන මාරුවට ලක්වෙන්නේ සිය රාජකාරිය හරියට ඉටු කරන්නට උත්සාහ කරන නිසා.කසිප්පු පොලක් වටලන ප්‍රාදේශීය පොලිස් නිලධරයෙක්ගේ ඇගට කඩා පනින චන්ඩි දේශපාලකයෙක් සහ නීතිය ක්‍රියාවේ යෙදවීමට තැත් කරන පොලිස් ලොක්කාට බුරා හැලෙන රාජ්‍ය ආරක්ෂක ලේකම් අතර පවතින වෙනස කවරේද?මෙය සුබ අනාගතයක් හා ආසියාවේ ආශ්චර්යක් පතන කවුරු කවුරුත් ගෙදර වැඩ සදහා ලියාගත යුතු ප්‍රශ්නයකි.

දෙවනුව ආරක්ෂක ලේකම් කියන ධූරයේ විෂය පරාසය ගැන සිතා බැලිය යුතු පෙලඹවීමක් මේ සිදුවීමෙන් ඇතිකරනවා.මහනුවර නගරයට කොළඹ සිට යන අයෙක්ට පැනිදෙනිය ආසන්නයේදී ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් අටවා තිබෙන බෝඩ් ලෑල්ලක් දකින්න පුලුවන්.රාජපක්ෂ ට්‍රොයිකාවේ මුහුනු තුන මෙම කටවුටයේ ඇද තිබෙන අතර නුවරට පිවිසෙන ජනී ජනයා දෙස රාජපක්ෂ ට්‍රොයිකාව විමර්ශනශීලිව කටවුටයට වෙලා බලාගෙන ඉන්නවා.
බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂගේ රූප ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ කටවුටයක තිබීම ස්වභාවිකයි කියල උපකල්පනය කරන්න පුලුවන්.මේ අය දේශපාලකයන් වන අතර දේශපාලක කටවුට් වන්දනාව බුදු දහම ගාවට වඩාත්ම ප්‍රචලිත ඇදහිල්ල වී තිබෙන රටක එහි ඇති අරුමයක්ද නැහැ.නමුත් ගැටලුව වන්නේ මේ මුහුනු දෙක අතරට හුදු රාජ්‍ය නිලධාරියෙක් වන ගෝඨාභය රාජපක්ෂගේ මුහුන පැමිනියේ කෙසේද යන්නයි.
ආරක්ෂක ලේකම් ධූරය යනු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධූරයයි.එනම් ආරක්ෂක ලේකම් කියන්නෙ අමාත්‍යංශ ලේකම්වරයෙක්.අමාත්‍යංශ ලේකම්වරයෙක් වූ කලී පරිපාලන නීතියෙන් පාලනය වන සීමාසහිත බලයක් සහිත වූවෙක් යන්න ගැන විවාදයක් තිබිය නොහැකියි.
නමුත් අනෙත් අමාත්‍යංශ ලේකම් වරු මෙන් නොව ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ රූපය දේශපාලන කටවුට් වල පින්තාරු වෙනවා.දේශපාලන රැස්වීම් ඇමතීම රාජ්‍ය නිලධාරින් සදහා තහනම් දෙයක්.නමුත් ජනාධිපතිවරනයේදි ආරක්ෂක ලේකම්වරයා පමනක් ආන්ඩුවේ අපේක්ෂකයා වෙනුවෙන් ප්‍රසිද්ධියේ කැන්වසින් යනවා.සම්මන්ත්‍රන පවත්වනවා.
එපමනකුදු නොව තමාට අදාල නොවන බොහෝ දේවලට මෙම ධූරය හොබවන නිලධාරියා ඇගිලි ගසන ස්වරූපයක් දක්නට තිබෙනවා.සති කිහිපයකට පෙර ජවිපෙ නියෝජිතයන් පිරිසක් උතුරේ කල සංචාරය ගැන ආරක්ෂක ලේකම් අයිලන්ඩ් පුවත්පතට කර තිබූ ප්‍රකාශය මේ පිලිබද කදිම නිදසුනක්.එම පක්ෂය උතුරේ "කලබල ඇතිකරන්න" යන බවට ආරක්ෂක ලේකම් එහිදි පවසා තිබුනා.දේශපාලන පක්ෂයක දේශපාලන ස්වරූපී ක්‍රියාවක් ගැන කෙරෙන දේශපාලන විවේචනයක් වන මෙවැන්නක් කිරීම අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ විෂය පථයට අයත් වන්නක් නොවන බවට තර්කයක් නැහැ.
සරලවම ගතහොත් වත්මන් ආරක්ෂක ලේකම්වරයා යනු නාමිකව ආරක්ෂක ලේකම් වූවාට යථාර්තවත්ව ඉන් එහා ගිය භූමිකාවක් සහිත අයෙක් බව පැහැදිලියි.නාගරික සංවර්ධනය භාර කොට තිබෙන්නේ ඒ සදහා මහජන චන්දයෙන් පත්වූ ඇමැත්තාට නොව මෙම රාජ්‍ය නිලධාරියාටයි.රාජ්‍ය ආරක්ෂාව සේම ඇපලෝ රෝහලේ අධ්‍යක්ෂක මන්ඩල කලමනාකරන වගකීමද ඔහු සතු වනවා.පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊට අවහිර කරමින් ඔහු ලබාදෙන තීන්දුව පැහැදිලිවම දේශපාලන තීන්දුවක්.මහජන චන්දයෙන් නොතේරුන හුදු රාජ්‍ය නිලධාරියෙක් පාලන තන්ත්‍රයෙහි අතිශය බලවත් බලධාරියාගේ තත්වයට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදය කියල අපිට කියල දීල තියන සංකල්පයට හෝ කොයිතරම් දුරට එකගද යන්න ගැන කෙටි සටහනක් පිලියෙල කරගැනීම හෘද සාක්ෂියක් තියන සුබ අනාගත පතන්නන් කල යුතු අනෙත් හෝම් වර්ක් එකයි.

"ප්‍රජාතන්ත්‍රවාදය" කියල අපි ඉගෙන ගෙන තියන සංකල්පයට කිව යුතු ඇත්ත නම වූ කලී ධනපති ප්‍රජාතන්ත්‍රවාදයයි.යුරෝපයේ රාජාන්ඩු ක්‍රමයට විරුද්ධවයි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ඉතිහාසයේ බිහිවුනේ.න්‍යායාත්මක මෙතනදී සියලු දෙනාට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රදානය කෙරෙනවා වුනත් සමාජයක් පංතිවලට කැඩිල ගිය සන්දර්භයක එම අයිතීන් පූර්න ලෙස භුක්ති විදින්න පුලුවන් වෙන්නෙ සමාජ ආධිපත්‍යය දරන පංතීන්ට පමනයි.ලෝකයේ ඉතාම දියුනු රටවල් කියල සැලකෙන බ්‍රිතාන්‍යය හෝ එක්සත් ජනපදය වගේ රටවලටත් මෙම කරුන පොදුයි.මේ රටවලදීත් "ප්‍රජාතන්ත්‍රවාදය" යන්න ක්‍රියාත්මක වෙන්නෙ සුපිරි ධනවත් පංතීන් හා සමාජ ස්ථරයන්ට වැඩි වාසි ගෙන දෙන ආකාරයකට.
නමුත් බටහිර යුරෝපය හා අමරිකාව වගේ රටවල ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය ‍විසින් රකින අවම සීමාවන් තියනවා."නීතියේ බලය" වැනි සංකල්ප මෙම අවම සීමාවන්ට උදාහරන.අධිකරනය ස්වාධීන විය යුතුයි,රජය විසින් සිදුකරන පුරවැසි අයිතීන් උල්ලංඝනයන්ට සාධාරනය ඉටු කිරීමට නීතියේ විධානය ක්‍රියාත්මක කරන ස්වාධීන නෛතික යාන්ත්‍රනයක් තිබිය යුතුයි ආදී අදහස් එම රටවල වර්ධනය වෙන්නෙ එම සීමාවන් විදිහට.

උතුරු අර්ධ ගෝලයේ රටවලට වෙනස්ව ලංකාව වගේ තුන්වන ලෝකයේ රටවල ක්‍රියාත්මක වෙන්නෙ පාදඩ ධනවාදයක්.මේ පාදඩ ධනවාදය විසින් නිපදවාගෙන තිබෙන දේශපාලන ක්‍රමය පාදඩ ප්‍රජාතන්ත්‍රවාදයක්.ඉහත කී රටවල ඇති අවම සීමාවන් පවා ලංකාව වගේ රටවල දකින්න ලැබෙන්නෙ නැත්තෙ මේ නිසා.

නිදසුනක් ලෙස අධිකරනය ස්වාධීන හා ගෞරවනීය එකක්ව පැවතීමේ වැදගත්කමක් ලාංකීය සමාජය දකින්නෙ නැහැ.ඉහල අධිකරන වල සියලු තනතුරු පත්කෙරෙන්නේ ජනාධිපතිවරයා ගේ තනි කැමැත්ත මත.අධිකරනයට අපහාස කිරීමක් ලෙස සලකා ක්‍රියාත්මක වීමට ඉඩ ඇති නිසා බොහෝ අය ප්‍රසිද්ධියේ කතා නොකලත් මෙම ක්‍රමවේදය අතිශය ගැටලු සහගත බවට විවාදයක් තිබිය නොහැකියි.1987 දහතුන්වන ආන්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ආන්ඩුවේ නිල මතයට ප‍ටහැනි තීන්දුවක් දුන් විනිශ්චයකාරවරයෙකුට එතුමාට හිමිවිය යුතුව තිබූ අග විනිසුරු තනතුර අහිමි වූ බවත් ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු අයෙක් ඒ වෙනුවට එවකට අගවිනිසුරු ලෙස පත්වූ බවත් ප්‍රසිද්ධ රහසක්.අමරිකාව වැනි රටක ඉහල අධිකරන පත්වීම් ජනාධිපති විසින් කල යුත්තේ සෙනෙට් සභාවේ අනුමැතිය සහිතවයි.ඒ හරහා ජනාධිපතිට දේශපාලන පත්වීම් කරන්න තිබෙන ඉඩ සදහා අවම සීමාවක් පැනවී තිබෙනවා.
එවැනි සීමාවන් හෝ ගනන් නොගන්නා ක්‍රමයක් පැවතීම ලංකාවේ පාදඩ ධනවාදය තුල තිබෙන පාදඩ ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය පිලිබද පැහැදිලි නිදර්ශනයක්.

දැන් මහින්ද රාජපක්ෂ විරෝධී යූඇන්පී හිතවාදී ලිබරල් ගුරුකුල මෙතනදී මැදිහත් වෙන්න ඉඩ තියනවා.නීතියේ විධානය ජෝක් එකක් වීම මහින්ද රාජපක්ෂ පාලනයේ ආවේනික ගැටලුවක් බවත් රාජපක්ෂගේ පාදඩ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට තමන් සිවිල් හා ශිෂ්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නියෝජනය කරන බව යූඇන්පී ලිබරල්වාදීන් බොහෝවිට පවසනු අප දැක තිබෙනවා.
නව ලිබරල් ප්‍රතිසංස්කරන වල "පියා" ලෙස සැලකෙන්නේ ජූනියස් රිචඩ් ජයවර්ධන මහතායි.ඉංග්‍රීසි අධ්‍යාපනයෙහි කෙල පැමිනි හෙතෙම අති චතුර ලෙස ඉංග්‍රීසි බස වහරන්නෙක්.විශ්ව සාහිත්‍ය පිලිබද ප්‍රාමානික දැනුමක් ආදී ශිෂ්ට සම්පන්න සිවිල් මහත්මයෙකු සතු යැයි සම්මත සියලු ලක්ෂන ජේ ආර් ජයවර්ධන තුල නොඅඩුව පැවතුනා.ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ අතර එකම වෙනස සමහරවිට පලමුවැන්නා තරම් දෙවැන්නා ශූර හා උපායෙහි දක්ෂ නොවීම පමනක් විය හැකියි.ඒ හැරුනාම මේ දෙපලම එකම කවයක් හා එකම සමාජ තලයක් නියෝජනය කරනවා.

ප්‍රාග්ධනයේ දොරටු ලංකාව විවෘත කලා යැයි කියන,නව ලිබරල් ප්‍රතිසංස්කරන වල පියා යැයි කියන ජේ ආර් ජයවර්ධන නීතියේ විධානය හා ප්‍රජාතන්ත්‍රවාදය ගැන දැරූ ආකල්පය කෙබදු ස්වරූපයේ එකක්ද?
අධිකරනය විසින් වරදකරු කරනු ලැබූ ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දානය කිරීම,ස්වාධීනව අධිකරන තීරන දුන් විනිසුරන්ගේ නිවෙස්වලට ගල් ගැසීම වැනි අතිශය කුප්‍රකට ක්‍රියා මෙම ශිෂ්ට,ලිබරල් ,ඉංග්‍රීසි උගත්,පොෂ් නායකයාගේ කාලය තුල ඉතාම ප්‍රසිද්ධියේ සිදුකරනු ලැබුනා.අධිකරන හා නීතියේ ස්වාධීනත්වය දෙකයි පනහේ විහිලුවක් කරන වත්මන් අර්ධ ඒකාධිපති ව්‍යවස්ථාව කුරුදුවත්ත වාසී "නාගරික" ධනපති නායකයන් වන ජයවර්ධනලා විසින් සම්පාදනය කරන ලද්දක් බව මතක තබා ගැනීම වැදගත්.ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අවම හතර මායිම නොසලකා සාදන ලද ආඥාදායක ව්‍යවස්ථාව,හදිසි නීති නියෝග යනාදිය ඉතිහාසයේ බිහිවුනේ මැදමුලනින් නෙමෙයි කුරුදුවත්තෙන්.
පාදඩ ප්‍රජාතන්ත්‍රවාදය මහින්ද රාජපක්ෂගේ මැදමුලන ගැමිකමට ඌනනය කරන්න යන බොහෝ දෙනෙක් කොර වෙන්නෙ ගැමි නොවන පොෂ් යූඇන්පී ලිබරල් මොලකාරයන් විසින් බලය හෙබවූ රෙජිමයන්ගේ දේශපාලන භාවිතය වූයේත් පාදඩ ප්‍රජාතන්ත්‍රවාදයක්මැ වීම නිසයි.

නිදසුනක් ලෙස "ලංකාවේ පුවත්පත් මෙල්ලකිරීම" නැමැති කෘතියේ ගුනදාස ලියනගේ එවකට සිටි ප්‍රබලතම කැබිනට් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් තමාට දේශපාලන විරුද්ධතා තිබෙන උපාලි විජේවර්ධන ගැන ප්‍රසිද්ධ රැස්වීමක පැවසූ යමක් පහත ආකාරයට සටහන් කර තිබෙනවා.

පොල්ගොඩ හන්දියේදී රැස්වීමේදී බලවත් කෝපයෙන් යුතුව වේගවත් කතාවක් කල රොනී ද මැල් මහතා තමාගේ ආසනය තුල කිසිවකු දිවයින ඇතුලු උපාලිගේ පත්තර මිලදී ගැනීම හෝ කියවීම මේ මොහොතේ සිට නතර කල යුතු බවත් කිසිම වෙලෙන්දෙකු උපාලිගේ පුවත්පත් විකුනා අසුවූවහොත් ඔවුනට පාඩමක් උගන්වන බවටත් කියා සිටියේය.එපමනක් නොව උපාලිගේ පත්තර එකතුකර ගිනිබත්කිරීමේ මහා වැඩපිලිවෙලක් ඉදිරි දින කීපය තුල බුලත්සිංහල ආසනයෙන් ආරම්භ කරන බවද මැල් මහතා කීවේ අත්පොලසන් හඩ මැදය.
( ගුනදාස ලියනගේ - ලංකාවේ පුවත්පත් මෙල්ල කිරීම 121 පිට )

නීතියේ ආධිපත්‍යය ජෝක් එකක් කරන ලංකාවේ පාදඩ ප්‍රජාතන්ත්‍රවාදය මේ අනුව ග්‍රාමීය විඥානයක් තිබෙනවා යැයි කියන මහින්ද රාජපක්ෂ රෙජිමයට මෙන්ම නාගරික විඥානයක් තිබෙනවා කියන එක්සත් ජාතික පක්ෂ රෙජිමයන්ටද එක ලෙස පොදු ලක්ෂනයක් කියන එක පැහැදිලියි.මේ නිසා වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදයේ අවුල රාජපක්ෂගේ ගැමිකමට ලඝු කරන්න වෑයම් කරන අය සදහාද මෙහිදී හෝම්වර්ක් එකක් පැවරෙනවා.ශ්‍රීලනිපය වගේම එජාපයත් ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ අවම සීමාවන් රැකීමට බරපතල ලෙස අසමර්ථ වෙලා තිබෙන්නෙ ඇයි?
මෙම පක්ෂ දෙකම අනුදකින පාදඩ ධනවාදය සමග ගැටලුවට පිලිතුර සම්බන්ධ වන බව හෝම්වර්ක් එක සදහා ඉගියක් ලෙස සටහන් කර තැබිය හැකියි.

නැවත අපි රජගහේ නාඩගමට පිවිසෙමු.එක්සත් ජාතින්ගේ පරිශ්‍රය අසල රගදැක්වූ නාඩගමෙන් පෙනෙනුයේ රජය "සාමකාමී" විරෝධතා වලට ඉඩ දෙන ආකාරය බව මේ පිලිබද නිවේදනයක් නිකුත් කරන රජය ප්‍රකාශ කොට තිබුනා.සාමකාමී ලෙස රැස්වීම පුරවැසියන්ගේ මූලික අයිතියක් කියල වර්තමාන ව්‍යවස්ථාවේ 14 වගන්තියේ දක්වලා තියනවා.ඒ වගන්තියට තරමක් ඉහලින් 12 වගන්තියේ තවත් දෙයක් ගැන සදහන් වෙනවා.ඒ නීතිය ඉදිරියේ සර්ව සාධාරනත්වය ගැන අයිතිය.එනම් සෑම දෙනාට ම නීතිය ක්‍රියාත්මක වීම සමාන විය යුතු බව 12 වගන්තියෙන් දක්වනවා.

දැන් අපිට කියන්න තියෙන්නෙ සරල දෙයක්.

හදිසි නීතිය ක්‍රියාත්මක වන කාලයක එක්සත් ජාතින්ගේ මූලස්ථානය වැනි ආරක්ෂාව අතින් අතිශය සංවේදී ස්ථානයක හා අධි ආරක්ෂිත කලාපයක දුම්මල ගෙන,පිරිස් ඒකරාශී කරමින්,පෙට්‍රල් සහිත බෝතල් හා ගිනිපෙට්ටි රැස්කරගනිමින් "සාමකාමී " විරෝධතා පැවැත්වීමට රජය ඉඩ දෙන එක ගැන අපි බොහොම සන්තෝස වෙනවා.ඒ මගින් ව්‍යවස්ථාවේ 14 වගන්තිය රජය පිලිගෙන තිබීම සතුටට කරුනක්.

‍මේ සතුට පරිපූර්න වීමට රජය කල යුත්තේ තව එක දෙයයි.14 වගන්තිය පිලිගත්තා මෙන්ම 12 වගන්තියද එක ලෙස ක්‍රියාත්මක කරනු මැන!

එජා සංවිධානය ඉදිරියේ ඩෙගා නැටීමට වීරවංශට ප්‍රදානය කෙරුන අයිතිය සෙසු පුරවැසියන්ටත් සමානව ලබා දෙන්න.වැටුප් ඉල්ලීම් ගෙන එන වෘත්තිය සමිතිවලට පාර්ලිමේන්තුව වෙත දුම්මල ගෙන පාගමන් ඒමට අවසර ලබාදෙන්න.විශ්ව විද්‍යාල පෙලපාලිවලට පහර නොදෙන්න.පෙට්‍රල් බෝතල් කැටුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ රැස්වීමට සිසුන්ට අවසර දෙන්න.උතුරේ අවතැන් වුවන්ට අධිආරක්ෂිත කලාප වල දොරටු හැර තබන්න.එම ජනයාට පාගමනින් පැමින අධි ආරක්ෂිත කලාපයන්හි පෙලපාලි දැක්වීමට සමාන අවස්ථාවක් ලබාදෙන්න.

ඇත්තටම මෙය කිරීම අමාරු නොවේ.ලෝකයේ දරුනුම ත්‍රස්තවාදය ජයගත් ආන්ඩුවකට,සාමකාමී විරෝධතා දැක්වීම පිලිගනිමින් වීරවංශට එජා මූලස්ථානය වට කිරීමට පවා ඉඩ දෙන තරමට ප්‍රජාතන්ත්‍රවාදී වූ ආන්ඩුවකට,නීතිය ඉදිරියේ සර්ව සාධාරනත්වය පිලිබද වගන්තිය පිලිගැනීම එතරම් කජ්ජක් විය හැකිද?