එෆ්.ආර්. ජයසූරියගේ සිට තිලීපන් හරහා විමල් වීරවංශ දක්වා...

සිරිසේන

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් පත් කළ උපදේශක මණ්ඩලයට එරෙහිව නිවාස හා ඉංජිනේරු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මාරාන්තික උපවාසය පසුගියදා කිසිවකු ‘ගෝල’ නොලබා කෙළවර වීමත් සමඟ ‘මාරාන්තික’ සහ ‘උපවාසය’ යන වචන වලට නව අරුත් රාශියක් එක්ව තිබේ. මේ හේතුව නිසා ම ලංකාවේ අතීත ‘මාරාන්තික උපවාස’ පිළිබඳව ආවර්ජනයක් කිරීමට නිමිත්තක් පහළව ඇත.

නිදහසෙන් පසු ලංකාවේ මාරාන්තික උපවාසයක් වාර්තා වන පළමු අවස්ථාව වන්නේ 1958 දී පමණ ප‍්‍රකට අධ්‍යාපනඥයකු, සිංහල භාෂා පේ‍්‍රමියෙකු සහ ලංකා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙකු වූ මහාචාර්ය එෆ්.ආර් ජයසූරිය මහතා විසින් දියත් කළ මාරාන්තික උපවාසයයි. එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතාගේ රජය 1956 මහමැතිවරණයේදී බලයට පත්වූයේ සිංහලය රජ බස කරන බවට පොරොන්දු වෙමිනි. එ් සඳහා ඉදිරිපත් කළ රාජ්‍ය භාෂා පනත් කෙටුම්පතෙහි දෙමළ භාෂාව සාධාරණ ලෙස භාවිතා කිරීම පිළිබඳ විධි විධානයක්ද ඇතුළත් කිරීමට ඔහුට සිදුවිය. එහෙත් මුළු දිවයින මුළුල්ලේම සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කළ යුතු බවත් වෙනත් කිසිදු භාෂාවකට කිසිදු සහනයක් ලබා නොදිය යුතු බවත් ප‍්‍රකාශ කරමින් එෆ්.ආර්.ජයසූරිය මහතා 1958 මැයි 24 වනදා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී මාරාන්තික උපවාසයක් ඇරඹීය. මෙම උපවාසයට කේ.එම්.පී.රාජරත්න මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිසක්ද සහභාගී විය. කවදත් වැනෙන සුළු දේශපාලන ප‍්‍රතිපත්ති අනුගමනය කළ බණ්ඩාරනායක මහතා දෙමළ භාෂාව සාධාරණ ලෙස භාවිතා කිරීම පිළිබඳ විධි විධාන රාජ්‍ය භාෂා පනතෙන් ඉවත් කළේය. මින් පසුව බණ්ඩාරනායක මහතා විසින් ම ජයසූරිය මහතාට ෙදාඩම් යුෂ වීදුරුවක් පෙවීමෙන් මාරාන්තික උපවාසය කෙළවර විය. කෙසේ වුවද ජයසූරිය මහතාගේ උපවාසයේ අරමුණ ඉටුකර ගැනීමට ඔහු සමත් විය. නමුත් උපවාසය නිසා ඇති වූ අතුරු ප‍්‍රතිඵලයක් ලෙස හටගත් රෝගාබාධ නිසා පසුකලකදී හේ මිය ගියේය.

එසේම බණ්ඩාරනායක පාලන සමයේදී ම කාලතුවක්කු රෙජිමේන්තුවේ සෙබලූන් 18 දෙනෙකු විසින් මාරාන්තික උපවාසයක් ඇරඹුවේ සිය අණදෙන නිළධාරියා විසින් ඔවුන්ට රැුකියා පුහුණුවක් ලැබීමට ඉඩ නොදීම හේතුවෙනි. හෙලිකොප්ටරයෙන් මන්නාරම වෙත ගිය බණ්ඩාරනායක මහතා සෙබලූන්ට ෙදාඩම් යුෂ වීදුරුවක් බීමට ලබා දී ප‍්‍රශ්නය සමථ කළේය. මෙහිදී ද උපවාසය නවතන ලද්දේ ඉල්ලීම් ලබා දෙන බවට අගමැතිවරයා එකඟ වූ පසුව ය.

මෑත කාලයේදී නැවත වරක් මාරාන්තික උපවාසයක් පිළිබඳව වාර්තා වන්නේ බණ්ඩාරනායක මහතාගේ දියණිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ පාලන සමයේදීය. ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඕමල්පේ සෝභිත හිමියන් විසින් මහනුවර දළදා මාළිගා පරිශ‍්‍රයේදී 2005 ජුනි 07 වන දින මාරාන්තික උපවාසයක් අරඹන ලද්දේ චන්ද්‍රිකා ජනාධිපතිනිය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩලය හෙවත් එ්කාබද්ධ යාන්ත‍්‍රණය ඇතිකර ගැනීමට විරුද්ධවය. මෙහිදී ජනපතිනියගේ අතින් ෙදාඩම් යුෂ බීමට වාසනාව සෝභිත හිමියන්ට අහිමි වුවත් උපවාසය සමථයකට පත් විය. එ්කාබද්ධ යාන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවන ලදී.

දකුණේ ඉතිහාසයේ මෙවැනි මාරාන්තික උපවාස බොහොමයක් ඇතත් එ්වායින් කිසිවෙකු මිය නොයාම විශේෂත්වයකි. එමෙන්ම එම උපවාස අතරින් බොහොමයක් ක‍්‍රියාත්මක කොට ඇත්තේ මෙරටෙහි ජීවත්වන දෙමළ ජනතාව ඇතුළු සුළු ජාතීන්ට කිසියම් හෝ සහනයක් ලබාදෙන දේශපාලන තීරණයකට විරුද්ධව වීමද තවත් විශේෂ ලක්ෂණයකි.

මාරාන්තික උපවාසයක් සඳහා ලංකාවේ ඇති ප‍්‍රකටම නිදර්ශනය තිලීපන් ගේ උපවාසයයි. 1987 සැප්තැම්බර් 15 වන දින යාපනයේ නල්ලූර්හි කන්දසාමි කෝවිල් පරිශ‍්‍රයේදී කොටි නායකයෙකු වන තිලීපන් මාරාන්තික උපවාසයක් අරඹන ලද්දේ ලංකාවේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට ඉන්දියාව ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත්වීම කෙරෙහි විරෝධය පළ කිරීමටය. සිය නායකයා වූ වේලූපිල්ලේ ප‍්‍රභාකරන් වෙත රජීව් ගාන්ධි විසින් ලබා දී තිබූ පොරොන්දු ඉටු නොකිරීම මෙම උපවාසය සමඟින් ඔහු හෙළාදුටුවේය. උපවාසය ඇරඹීමෙන් දින දෙක තුනක් ගතවද්දී තිලීපන්ගේ කටහඬ බාල විය. ඉන්පසුව ඔහුගේ ඇස් පෙනීම ද දුර්වල වන්නට ගත්තේය. උපවාසය ඇරඹීමෙන් දින කීපයකට පසුව ඇන්ටන් බාලසිංහම් එම ස්ථානයට පැමිණි විට තිලීපන් අමාරුවෙන් කොඳුරමින් ඔහුගෙන් විමසා ඇත්තේ රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව ය.

උපවාසය ඇරඹීමෙන් අට වන දිනය වද්දී ඉන්දියානු මහ කොමසාරිස් ඩික්සිත් මහතා ට යාපනයට ගොස් ප‍්‍රභාකරන් හා බාලසිංහම් බැහැ දැකීමට සිදුවිය. එ් වන විට ලංකාවේ ආණ්ඩුවට පමණක් නොව ඉන්දීය රජයට ද උපවාසය පිළිබඳව බැ?රුම් ලෙස සළකන්නට සිදුවී තිබිණ. කෙසේ වුවද ඩික්සිත් මෙම උපවාසය අනුමත නොකළ අතර ඔහු එය සැළකූයේ දෙමළ ජනතාව ඉන්දීය රජයට විරුද්ධව උසිගැන්වීමේ උපායක් වශයෙනි.

දින 11කට පසුව, සැප්තැම්බර් 26 දින වන විට ද තිලීපන්ගේ ඉල්ලීම් ඉටුවන බවක් නොපෙනුනි. මරණය අත ලඟ පවතිද්දී වුවද තිලීපන් ‘ෙදාඩම් යුෂ‘ බී රෝහල් ගතවීම වෙනුවට මරණය තෝරාගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නායක බෑන් කී මූන් ගේ උපදේශන කමිටුවට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ විසින් අරඹන ලද මාරාන්තික උපවාසය අප විමසිය යුත්තේ මේ පසුබිම සම`ග ය. ජූලි 08 වන දින මෙම මාරාන්තික උපවාසය අරඹන ලද්දේ බෑන් කී මූන් විසින් ලංකා රජය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව කළ යුද්ධයේ අවසන් මාස කිහිපය තුළ මානව හිමිකම් උල්ලංඝනය කරන ලද්දේද යන්න පිළිබඳව ඔහුට උපදෙස් ලබාගැනීම සඳහා උපදේශක මණ්ඩලයක් පත්කරගැනීම හේතුවෙනි.
මෙම මණ්ඩලය අහෝසි කරන තෙක් මාරාන්තික උපවාසයේ නිරත වන බව පැවසූ අමාත්‍ය වීරවංශ උපවාසය අතරතුරදී පැවසුවේ එම කමිටුව අහෝසි නොකළහොත් මෙම උපවාසය තමාගේ මරණයෙන් කෙළවර වනු ඇති බවත් එ් සඳහා වගකිව යුත්තේ බෑන් කී මූන් සහ කොළඹ එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානියා බවත්ය. එසේම ඔහු විසින් තවදුරටත් පවසන ලද්දේ කිසිවෙකු බලහත්කාරයෙන් මෙම උපවාසය නවත්වා තමන්ව රෝහලට රැුගෙන නොයා යුතු බවයි. කෙසේ වුවද අමාත්‍යවරයා සිය මුඛ මාර්ගය ඔස්සේ ජලය පානය කිරීම නවතා තිබුණු හෙයින් ප්ලාස්ටික් නළ ඔස්සේ සිරුරට සේලයින් දියර ලබාදෙන බවක් ද දැකිය හැකි විය.

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට දී පවත්වන ලද මෙම මාරාන්තික උපවාසය කෙළවර වනු ඇති ආකාරය බොහෝ දෙනා කල්තබා ම අනුමාන කළහ. බොහෝ දෙනා අනුමාන කළ පරිදි ඉන් දින දෙකකට පසුව එනම් උපවාසයේ තුන්වන දිනයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගිලන් රථයක් ද සමඟ එම ස්ථානයට පැමිණියේය. මෙය අනපේක්ෂිත සිදුවීමක් බව පැවසිය නොහැක්කේ එ් සමඟ ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිත් සජ්ඣායනා කිරීමත්, අසල සිටි භික්ෂුවක් ක්ෂණිකව තැඹිලි වතුර වීදුරුවක් ජනාධිපතිතුමාගේ අතට ලබා දීමත් නිසා ය. අමාත්‍යතුමාද ඉතා කැමැත්තෙන් ම තැඹිලි වතුර වීදුරුව පානය කරන ආකාරය රූපවාහිනී නාලිකා ඔස්සේ දැකගත හැකි විය. මාරාන්තික උපවාසය නිමා වන්නේ වීරවංශ මහතා ගිලන් රියෙන් හමුදා රෝහල වෙත ගෙනයන දර්ශනයෙනි.

ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රකාශකයන් විසින් මෙම උපවාසය අත්හැරීමට දිනපතා ම විවිධ හේතු දක්වන ලදී. පළමු දිනයේදී පවසන ලද්දේ යුද සෙබලූන් ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාමට ඉඩ නොදෙන බවද ජනාධිපතිතුමා පොරොන්දු වී ඇති බවයි. දෙවන දිනයේ පවසන ලද්දේ බෑන් කී මූන් සිය කමිටුව උපදෙස් ලබාගැනීමට පත්කළ කමිටුවක් බවට පවසා ඇති බවයි. මෙම කරුණු දෙක ම උපවාසයට පෙර සිට ම පැවති තත්ත්වයක් මිස උපවාසයේ ප‍්‍රතිඵලයක් නොවේ. බෑන් කී මූන්ගේ කමිටුව ද තවමත් එසේ ම පවතී.

එහෙත් මේ සියල්ල බලා සිටි ජනතාවට ‘මාරාන්තික’ සහ ‘උපවාසය’ යන වචන වල සිංහල තේරුම පිළිබඳව බරපතල ගැටළු මතුව තිබේ.

(රාවය පුවත්පතේ ‘සමබිම’අතිරේකයෙන් උපුටා ගන්නා ලදි.)