‘‘රටේ අධ්‍යාපනය ගොඩනගන දියුණු සැලැස්මක් ජාතික ජන බලවේගය සතුයි‘‘ - හරිනි අමරසූරිය





රට ඉදිරියේ තිබෙන අභියෝග ජය ගැනීමට නම් මාලිමාව දිනවිය යුතු බව කැළණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන අබේරත්න අද (8) ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු පෙන්වාදුන්නේ, 

එම්.සී.සී ගැන සෘජු උත්තරයක් නොදෙන පාලකයෝ වටේ කැරකෙනවා

‘‘රට ඉදිරියේ පවතින අභියෝග සහ මේ මහ මැතිවරණයේදී අප කළ යුත්තේ කුමක්ද පිළිබඳව සාකච්ඡා කරන්න තමයි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. මේ වනවිට එම්.සී.සී. ගිවිසුම ගැන ලලිතසිරි ගුණරුවන් කමිටු වාර්තාව ඇවිත් තිබෙනවා. ඉන් ශ්‍රී ලංකාවට බරපතළ හානිකර තත්වයක් උදාවන බව පෙන්වාදී තිබෙනවා. පාලකයෝ දැන් සෘජු උත්තරයක් නොදී ගිවිසුම වටේ කැරකි කැරකී ඉන්නවා. අපි නියත වශයෙන්ම කියනවා, මේ කල් මරන්නේ මැතිවරණය ඉවර වෙනකං පමණයි කියලා. ඡන්දෙන් පස්සේ අනිවාර්යයෙන්ම ඔය ගිවිසුම ගහනවා.

තව පැත්තකින් 2001/5 චක්‍රලේඛය අහෝසි කරලා ලංකාවේ අවශේෂ වනාන්තර විදෙස් ජාවාරමුන්ට බිළි දෙන්න යනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැවත පටන් අරන් නිදහස් අධ්‍යාපනය වළදමන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. මේ වනවිට උසස් පෙළ ළමුන්ට විභාගය තියන දිනයක් නැහැ. මේ සියලු විනාශයන් වළක්වාගෙන රට ගොඩනැගිය හැකි බලවේගයක් මෙවර පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒ සඳහා තියෙන එකම බලවේගය ජාතික ජන බලවේගය බව අප නොපැකිළව ප්‍රකාශ කර සිටිනවා.‘‘ යන්නයි. 


‘‘රටේ අධ්‍යාපනය ගොඩනගන දියුණු සැලැස්මක් ජාතික ජන බලවේගය සතුයි‘‘ - විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාර්ය, ආචාර්ය හරිනි අමරසූරිය

‘‘රටේ අධ්‍යාපනයට අදාල නිවැරදි තීන්දු-තීරණ ගැනීමට නම් ඒ සඳහා සුදුසු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. මේ වනවිට රාජ්‍ය අධ්‍යාපනයත් පෞද්ගලීකරණය කරමින් පවතිනවා. නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට නම් ඒ සඳහා අවංකව අරගල කරන පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අපි රටට එළි දක්වලයි තියෙන්නේ. අප විශ්වාස කරනවා ඒ ප්‍රතිපත්තියෙන් තමයි රටේ අධ්‍යාපනය ගොඩනංවන්න පුළුවන් කියලා. කොරෝනා වසංගතය සමග අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ගැටලු මතුවෙලා. ඔන්ලයින් අධ්‍යාපනය මේකට එකම විසඳුම නොවෙයි. සමහර විශ්වවිද්‍යාලවලට සහ ශිෂ්‍යයන්ට ඒ සඳහා පහසුකම් නැහැ. ඔන්ලයින් අධ්‍යාපනය අධ්‍යාපනයේ එක ක්‍රමවේදයක් පමණයි. අධ්‍යාපනය ලැබීමේ සම අවස්ථා රටේ දරුවන්ට අහිමි වෙලා.

දැන් නැවත අලුත් විශ්වවිද්‍යාල පනතක් ගේන්න යනවා. එය නවීන තත්වයන්ට ගැලපෙනවා නම් අපි ඒකට විරුද්ධ නැහැ. නමුත් ඒක මොන වගේ පනතක්ද ඒකෙන් නිදහස් අධ්‍යාපනය ගැන මොනවද කියන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි ඔබට යෝජනා කරනවා ජාතික ජන බලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හොඳින් කියවා බලන්න. ඔබ ඡන්දපොළට යන විට එය මතක තබාගෙන ගොස් ඔබේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔබේ වගකීම ඉටු කරන්න.‘‘ 

‘‘පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ජනතාවාදීන් පමණයි‘‘ - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විජය කුමාර්

‘‘පසුගිය යහපාලන ආණ්ඩුවේ කොහෙත්ම යහ පාලනයක් තිබුණේ නැහැ. මේ ආණ්ඩුවත් මිලිටරි මාවතක ගමන් කරන බවක් අපිට පෙන්වා. පැත්තකින් ආර්ථිකය කඩා වැටිලා. අනෙක් පැත්තෙන් රටට ඔරොත්තු නොදෙන ව්‍යාපෘති පටන් අරන් ඒවායින් කොමිස් ගහනවා. ඒවායේ බර ජනතාව පිට පටවනවා.

පාර්ලිමේන්තුව තුළ ජනමතය නිවැරදිව හා අවංකව නියෝජනය කළ හැකි පිරිසක් තමයි පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. ඒ වගකීම තියෙන්නේ ඡන්දදායකයා අතේ. අද කාර්යක්‍ෂමම මන්ත්‍රීවරු ඉන්නේ ජවිපෙ විතරයි. ඔවුන් සමග එකතු වෙලා අපි ජාතික ජන බලවේගය ගොඩනැගුවේ මේ රට මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීමේ අවංකව වුවමනාව නිසා.‘‘

‘‘හැත්තෑ දෙවසරක් අසාර්ථක වූ ආණ්ඩු හැදුවා දැන් ඇති‘‘ - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු

‘‘මගේ අත්දැකීම්වලින් මම දුටු දේ තමයි පසුගිය අවුරුදු 72ක තුළම මේ රටේ බිහි වුණු සියලුම ආණ්ඩු අසමත් කියන එක. අපිට තියෙන්නේ ඉතා වටිනා රටක්. මේක හොඳට ගොඩනගන්න පුළුවන්. එහෙත් සාධාරණ සමාජයක් නිර්මාණය නොකොට ඒක නිර්මාණය කරන්න බැහැ. මම මුලින් හිටියේ කොමියුනිස්ට් පක්‍ෂයේ. ඔවුන් 18වැනි සංශෝධනයට මහින්දට සහයෝගය දුන්නා. මම ඒ නිසාම කොමියුනිස්ට් පක්‍ෂයෙන් ඉවත් වුණා.

මේ රටේ දැන් ඉන්න ශක්තිමත් මෙන්ම කාර්යක්‍ෂම සහ අවංක වාමාංශික බලවේගය තමයි ජවිපෙ. මේ රටේ ප්‍රශ්න විසඳිය හැකි එකම බලවේගය තමයි ජාතික ජන බලවේගය. එහි අපේක්‍ෂකයෝ කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවට යවලා නවතින්න එපා. ඔවුන්ට රටේ පාලන බලයත් ලබාදෙන්න. පනස් වසරක මගේ දේශපාලන දිවියේ අත්දැකීම්වලින් මම මේක කියනවා. ජාතික ජන බලවේගය දිනවන්න. එහෙම වුණොත් රටත් ඔබත් දිනුම්.‘‘

‘‘සියලු ජාතීන්ට සමානාත්මතාවයෙන් ජීවත්විය හැකි රටක්  ගොඩනැගීම ජාතික ජන බලවේගයේ ඇරඹුමයි‘‘ - මහාචාර්ය කුමාර් ඬේවිඞ්

‘‘මම බය නැතිව කියනවා, මම මාක්ස්වාදියෙක්. ජාතික ජන බලවේගය එක්ක මේ ගමන යන්න මම තීරණය කළේ මූලික කාරණා තුනක් උඩ. පළමුවැන්න, අප හමුවේ බරපතල දේශපාලන අනතුරක් තියෙනවා. මේකට මුහුණ දෙන්න පුළුවන් එක සාධකයක් තමයි ඊට මුහුණ දිය හැකි ශක්තිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යැවීම. පාර්ලිමේන්තුව නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී තැනක් විය යුතුයි. මේ ආණ්ඩුව යන ගමන තුළ එහෙම දෙයක් පේන්නට නැහැ. යූ.ඇන්.පී. එකටත් මේ ගමන නවත්වන්න බැහැ. ඔවුන්ට උවමනාවකුත් නැහැ. මෙය කළ හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය බව මම තදින්ම විශ්වාස කරනවා. දෙවැනි කාරණය නම් ආර්ථිකය ගොඩනැගීම. අද අපේ රට වගේම මුළු ධනේශ්වර ලෝකයම දැවැන්ත අර්බුදයක ගිළිලා. මේ ගැන අපේ රටේ පාලකයන්ට තේරුමක් නැහැ. අවබෝධයක් නැහැ. මේ ගරා වැටුණු ආර්ථිකයෙන් රට ගොඩගන්න දර්ශනයක් සහිත වැඩ පිළිවෙළක් රටට ඉදිරිපත් කරලා තියෙන්නේ ජාතික ජන බලවේගය පමණයි. තුන්වැනි කාරණය මේ රටේ ජාතික ගැටළුව. මේ රටේ හැම ආණ්ඩුවක්ම බලයට ආවේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදය එක එක ප්‍රමාණවලින් අවුස්සලා. ඒ නිසා මේ කිසිදු පාලකයෙකුට රටේ ජාතික ගැටලුව විසඳන්න උවමනාවක් නැහැ. ඒක විසඳිය හැකි නිවැරදිම වැඩපිළිවෙළ ඉදිරිපත් කරලා තියෙන්නෙ ජාතික ජන බලවේගයයි. ඒ නිසා රට ගැන හිතන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු සහෝදර සහෝදරියන්ට මම කියන්නේ දෙගිඩියාවකින් තොරව ජාතික ජන බලවේගය දිනවන ලෙසයි.‘‘

‘‘සංස්කෘතික මිනිසෙකු ගොඩනගන වැඩ පිළිවෙළ ජාතික ජන බලවේගය සතුයි‘‘ - සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

‘‘අපේ ජාතික ලැයිස්තුවේ ඉන්නේ මේ රටේ වටිනා විද්වතුන් පිරිසක්. ඒ වගේම ගෞරවනීය පිරිසක්. අද අපේ රට හැම අතින්ම බිඳ වැටිලා. පුද්ගල ගෞරවය බින්දුවටම බැහැලා. ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය බිඳවැටිලා. මෑත සිදුවීම් පමණක් ප්‍රමාණවත් අපේ රටේ තත්වය බලාගන්න.

සන්නද්ධ නිලධාරීන් දහස් ගණනින් මැරුව කියන අය මේ ආණ්ඩුව හොඳින් රැක බලා ගන්නවා. යුක්තිය පතා කටයුතු කරන සමාජ ව්‍යාපාර පොළොවට සමතලා කරනවා කියලා ප්‍රසිද්ධ වේදිකාවල මේ දේශපාලුවෝ කියාගෙන යනවා. අනෙක් පැත්තෙන් බැඳුම්කර වංචනිකයින් අත්අඩංගුවට ගැනීම ඉහළ නියෝගයකින්ම අත්හිටුවලා තියෙනවා.

මේකද ඔබ පැතූ රට? මේ ආණ්ඩුවට ඕනෑ වෙලා තියෙනවා ස්වාධීන කොමිෂන් සභා ටිකත් අහෝසි කරන්න. යම් තරමකට හෝ රැකිලා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩත් වහලා දාන්න තමයි මොවුන්ට උවමනා කරලා තියෙන්නේ. අවුරුදු 72ක් ජනතාව රවට්ටපු සමහර දේශපාලුවෝ කියනවා, අපේ පැත්තෙන් පොල් ලෙල්ලක් දම්මත් දිනනවා කියලා. ඡන්ද දායකයාගේ ගෞරවය ඒ තරමටම හෑල්ලු කරලා.

මේ ඡන්දෙන් පස්සේ එජාප, පොහොට්ටු පිල් දෙක අත්වැල් බැඳ ගන්නවා සිකුරුයි. මේ පාලකයෝ නියෝජනය කරන්නේ රටේ ජනතාව නොවෙයි. දෙස් විදෙස් කූට ජාවාරම්කාරයෝ. රටේ මහජන ප්‍රශ්න කතා කරන උදවියද මේ පිල් දෙකේ ඉන්නේ? පුරවැසියන්ගේ සංස්කෘතික ජීවිතය කඩා වැටුණු රටක් කියන්නේ භයානක එකක්. මේ සියලු විනාශයන්ගෙන් රට ගලවා ගැනීමට තමයි ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණින් අපි මේ මැතිවරණයට ආවේ.‘‘

‘‘දුෂ්කරතා මධ්‍යයේ හෝ හිරිකිතක් නැතිව හිට ගන්න පුළුවන් එකම තැන ජාතික ජන බලවේගයයි‘‘ - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

‘‘මිනිසෙකුට මූල්‍ය නිදහස අහිමි කළ රටක ජීවත්විය නොහැකියි. එහෙම රටක මිනිස්සු තමන්ගේ මූලික දේවල් සපුරා ගන්න ඕනෑම නරක දේකට පොළඹවා ගත හැකියි. මේක මිනිස්සුන්ගේ වරදක් නොවෙයි. අවුරුදු 72ක අසාර්ථක පාලනයක ප්‍රතිඵල තමයි මේවා. සමහරු අහනවා මෙච්චර විනාශයක් රටට කරලා තියෙද්දීත් මේ පාලකයෝම බලයට පත් කරන්නෙ ඇයි කියලා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි මේ දේශපාලනයේ තිත්ත ඇත්ත ජනතාවට පහදලා දෙන්න තරම් බොහෝ විද්වතුන් බියවීම, නිහඬවීමයි. මේ ප්‍රශ්නවල මුල දේශපාලනය බව ඔවුන් රටට පැහැදිළි කළ යුතුයි. නැතිනම් විවිධ මිත්‍යාවන්වල ජනතාව ගිලෙනවා. විද්වතුන්ගෙන් සුළුතරයක් තමයි ජනතාවට සත්‍යය පැහැදිළි කරන්නේ. මේක රටේ හරිම අභාග්‍යයක්.

දේශපාලකයන්ට හොරකම් කරලා බේරෙන්න උපක්‍රම හදලා දෙන්නෙත් ඒ ඒ ක්‍ෂේත්‍රවල ඉන්න සමහර විද්වතුන්. බොරු කොමිෂන් දාලා ප්‍රශ්නය ඇද ඇද ඉඳලා වෙන පැත්තකට යවලා දූෂිතයන් බේරනවා. දුෂ්කරතා මධ්‍යයේ හෝ අපිට හිරිකිතකින් තොරව හිටගන්න පුළුවන් තැන තමයි ජාතික ජන බලවේගය. අපේ කණ්ඩායමට මේ රට බේරගන්න අවංක වුවමනාවක් තියෙන නිසා තමයි අපි මේකට එකතු වුණේ. දැන් මේ ආණ්ඩුව එම්.සී.සී, ගිවිසුම ගැන රටට බොරු කියනවා. මේ හැම උප්පරවැට්ටියක්ම දාන්නේ ජනතාව නොමග යවලා ඡන්දය කොල්ල කන්න.

අපේ උත්සාහය තමයි කාටත් හොඳින් ජීවත් විය හැකි රටක් ගොඩනැගීම. මිනිස්කම පිරි රටක් ගොඩනැගීම. එවැනි රටක් ගොඩනැගීමට නම් නිර්භයව ජාතික ජන බලවේගයේ මාලිමාව ලකුණට ඔබේ වටිනා ඡන්දය ලබා දෙන්න. ඒ වගේම අපිත් සමඟ එකතු වෙලා රට ගොඩනැගීමට ඉදිරියට එන්න කියලා අපි ඉල්ලා සිටිනවා.‘‘