කොරෝනා දෙවැනි රැල්ලයි - පාර්ලිමේන්තු මැතිවරණයයි




- වික්ටර් අයිවන් - 



කොරෝනා වසංගතය - පාර්ලිමේන්තු මැතිවරණය

කොරෝනා වසංගතය ඇති කර තිබෙන ව්‍යාකූලතාව තවමත් පහවී නැත. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට සිදුවී තිබෙන්නේ දෙවැනි රැල්ලක් පිළිබඳ බියක් වර්ධනය වෙමින් තිබෙනා අවස්ථාවකය. එම තත්වය ද මැතිවරණ උද්‍යෝගය හීන කරන සාධකයක් ලෙස ක්‍රියා කරනු ඇත. එසේ තිබියදීත් මැතිවරණය ආණ්ඩු පක්ෂයේ හා විරුද්ද පක්ෂයේ ශක්තිය උරගා බැලෙන මාපකයක් ලෙස ක්‍රියා කිරීමට නියමිතය.

ආණ්ඩු පක්ෂය මැතිවරණය ජය ගනු ඇතත් ආස්වාද ජනක ප්‍රතිපලයක් පෙන්නුම් කිරීමට අසමත් වෙතොත් එය ආණ්ඩුවේ ශක්තිය හීන කිරීමට බල පානු ඇත. ජනාධිපතිවරණයේදී ආණ්ඩුව ජන්ද 69 ලක්ෂයක් ලබා ගැනීමට සමත් විය. මේ මැතිවරණයේදි ලබා ගතහැකි ඡන්ද ප්‍රමාණය කොතරම් විය හැකිද?

ජනාධිපතිවරණයෙන් පසු ආණ්ඩු පක්ෂය තුළ බල මධ්‍යස්ථාන දෙකක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එක බල මධ්‍යස්ථානයක් ගොඩ නැගී තිබුනේ ජනාධිපති ගෝඨාභය කේන්ද්‍ර කරගෙනය. අනෙක් බල මධ්‍යස්ථානය  ජනාධිපතිගේ සහෝදර අගමැති මහින්ද කේන්ද්‍ර කරගෙනය. මධ්‍යස්ථාන දෙකටම ආධාර කරුවන් සිටි අතර ජනාදිපති ගේ ආධාර කරුවන් ගෝථාභය සලකන ලද්දේ පිරිසිදු ප්‍රගතිශීලි නායකයකු ලෙසය. ඔවුන් අගමැති මහින්ද සලකන ලද්දේ අපිරිසිදු ප්‍රතිගාමි නායකයකු ලෙසය. මේ දෙදෙනා අතර ගැටුමක් නොවේ නම් දරන අදහස් වල පරස්පරයක් තිබෙන බවද පෙනෙන්නට තිබුණි.

මැතිවරණයෙන් පසුව මේ අයිය මලෝ දෙදෙනා අතර තිබෙන බල තුලනයේද වෙනස්කම් ඇති විය හැකිය. මෙතෙක් පාලන බලයේ ප්‍රධානියා ලෙස ක්‍රියා කලේ ජනාධිපතිය. අපේක්ෂා කල ආකාරයට අගමැති මහින්දගේ ආධාරකරුවන් අභිබවා බලය ලබා ගැනීමේ හැකියාවක් වියත් මගට නැත. 19 වැනි සංශෝධනය අනුව රාජ්‍යය බලයේ කේන්ද්‍රීය පුද්ගලයා බවට පත්වන්නේ ජනාධිපති නොව අගමැතිය. ජනාධිපති අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දෙන උපදෙස් අනුව ක්‍රියා කල යුතුය. කැබිනට් මණ්ඩලය තීන්දු කිරීමේ බලය තිබෙන්නේ ජනාධිපතිට නොව අගමැතිටය. එම තත්වය සමහර විට අවුල් ඇති කිරීමට හේතු විය හැකිය.

විරුද්ධ පක්ෂය

ප්‍රධාන විරුද්ධ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය තිබෙන්නේ දෙකට කැඩුනු තත්වයකය. ජනාධිපතිවරණයෙන් ලැබූ අති විශාල පරාජයෙන් පසුවවුවත් එම පක්ෂයේ ඒකාග්‍රතාව ආරක්ෂා කරගැනීමට සමත් වී නම් බලවත් පක්ෂයක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට මුහුන දීමට හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් එම තත්වය එම පක්ෂයට හිමිකර දීමට පරන නායකයා සේම අලුත් නායකයාද අසමත් විය.ඒ වෙනුවෙන් එම නායකයින් දෙදෙනාට සේම එම පක්ෂයටද ලොකු වන්දියක් ගෙවන්නට සිදුවනු නොවැලැක්විය හැකිය.

මෙම මැතිවරණය ජේවීපියටද තීරණාත්මකය. පිලිගත හැකි ප්‍රතිපලයක් පෙන්නුම් කිරීමට අසමත් වෙතොත් සාම්ප්‍රදායි වමේ පක්ෂවලට හිමිවූ කේදජනක ඉරනම එයටද හිමිවිය හැකිය. අනෙක් පක්ෂවලට සාපේක්ෂව ගත් විට අන්ත දූෂිත තත්වයකට තල්ලුවීමෙන් වැලකී සිටීමට සමත් වී ඇතත් පාර්ලිමේන්තු දේශපාලනය තුල ඉදිරිගාමි හා නිර්මානශීලි කාර්යභාරයක් ඉටුකිරීමට සමත්වුයේ නැත. අඩුම වශයෙන් පාර්ලිමේන්තුව ඇද වැටී තිබෙන දූෂිත තත්වයට එරෙහිව පලදායි කාර්‍ය භාරයක් ඉටු කිරීමට සමත් වී නැත.

මැතිවරණයේදී ලබාගන්නා ආසන සංඛ්‍යාව කුමක් වුවත් මුස්ලිම්,දෙමල හා උඩරට දෙමල යන සුලු ජාතික පක්ෂ වලටද තමන් තෝරාගත යුත්තේ කුමන මාර්ගයක්ද යන උගතෝකෝටික ප්‍රශ්නයට මුහුන දෙන්නට සිදුවනු ඇත.

ව්‍යවස්ථාව සමග සෙල්ලම් කිරීම

මෙම තරගයෙන් ආණ්ඩු පක්ෂය ලබන ප්‍රතිඵලය කුමක් වුවත් විරුද්ධ පක්ෂයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එකතු කරගනිමින් හෝ තුනෙන් දෙකක බලයක් ඇති කර ගැනීම ආණ්ඩුවේ අභිලාෂය වී තිබේ. එහෙත් එම අභිලාෂය ව්‍යවස්ථාවට පටහැනිය.

මන්ත්‍රීදූර අහිමි කරගැනීමෙන් තොරව පක්ෂමාරු කිරීමට පුලුවන් කමක් නැතිකම දෙවන ජන රජ ව්‍යවස්ථාවෙන් ඇති කර තිබෙන ජනාධිපති ආණ්ඩු ක්‍රමයට ආවෙනික විශේෂ ලක්ෂනයක් ලෙස සැලකිය හැකිය. මැතිවරණයක් ඇති කරන දේශපාලන බල තුලනය ඊලග මැතිවරණය තෙක් පක්ෂ මාරු කිරීම් නිසා වෙනස් නොවන තත්වයක් සහතික කිරීම එම ආණ්ඩු ක්‍රමයේ දර්ශනයට ආවෙනික විශේෂ ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිට එරෙහිව දෝෂාබියෝගයක් ඉදිරිපත්වූ අවස්තාවේදී ඊට සම්බන්ද මන්ත්‍රීවරුන් අටදෙනෙකු එජාපය සිය පක්ෂයෙන් නෙරපා හරින ලදී. එම අටදෙනා මන්ත්‍රීකම් ආරක්ෂාකර ගැනීම සදහා අධිකරණය ඉදිරියට ගියත් නඩුව විමසූ මාර්ක් ප්‍රනාන්දු ප්‍රමුක ත්‍රී පුද්ගල විනිශ්‍ය මණ්ඩලය ඒ සියලු දෙනාගේ මන්ත්‍රීකම් අහිමිකලේය.

ජනාධිපති චන්ද්‍රිකා ගේ දෙවැනි පාලන කාලයේ ආරම්භයේ සිටම අධිකරණයේද සහාය ඇතිව විරුද්ද පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට මන්ත්‍රීවරුන් එකතු කරගන්නා හා ඔවුන් ගේ මන්ත්‍රීකම් ආරක්ෂා කරදෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය. එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමයේ එක් අවස්තාවකදී මුස්ලිම් කොන්ග්‍රසයට සම්බන්ද නුවා පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතුවූ මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් (අමීර්අලි)අග විනිසුරු සරත් සිල්වා ප්‍රමුක පස් පුද්ගල විනිසුරු මඩුල්ලක් අපූරු නඩු තීන්දුවක් ලබා දුන්නේය. එම නඩු තීන්දුවෙන් කියා තිබෙන්නේ පක්ෂ මාරු කිරීම් වලට අදාල නඩුවකදී ඉන් සිදුවන මහජන යහපතද සැලකිල්ලට ගත යුතු බවය. විරුද්ද පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට ලොකු අල්ලසක්ද ගෙන එකතු වන මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ මන්ත්‍රීකම් ආරක්ෂා දෙන ක්‍රමයක් අධිකරණය විසින්ම ඇති කරදීම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම බාරව සිටින අධිකරණය විසින් කරන ලද බරපතල ව්‍යවස්ථා උල්ලංඝනයක් ලෙස සැලකිය හැකිය. එය ආණ්ඩු ක්‍රමයේ ලොකු විකෘතියක් ඇති කිරීමට හේතුවිය.

මන්ත්‍රීවරුන් විශාල මුදලකට විකිනෙන ක්‍රමයක් ඇති වීම ඒ නිසා ඇතිවූ තවත් අවලස්සන ප්‍රතිපලයක් විය. සමහර ආණ්ඩු පෙරලිවලදී එක මන්ත්‍රීවරයෙකු මිලියන සිය ගණනකට විකුණුනු අවස්තා තිබුණි.

ආණ්ඩුවේ අපේක්ෂා

ජනාධිපති සිරිසේන 2018 ඔක්තෝබර් වලදී රනිල් අගමැති ධුරයෙන් නෙරපා හැර මහින්ද අගමැති ධුරයට පත්කල අවස්තාවේදී පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූයේ ආණ්ඩු පක්ෂයට එකතුවීමට කැමැත්තක් දැක්වූ මන්ත්‍රීවරුන් ඉල්ලා සිටි විශාල මිලගණන් ගෙවීමට නොහැකිවූ නිසා බව එම ජනාධිපති වරයා ප්‍රසිද්දියේම කීවේය. ලංකාවේ රාජ්‍යය පාලනය පමණක්නොව රාජ්‍යය නායකයින්ද කුනුවී තිබෙන තරම ඉන් පෙන්නුම් කරයි.

මැතිවරණයෙන් පසුව තුනෙන් දෙකේ බලයක් සදහා ආණ්ඩුවට එකතු වීමට දැනටමත් කැමැත්ත පලකර තිබෙන විරුද්ද පක්ෂ මන්ත්‍රීවරුන් සිටින බව ජනාධිපතිවරයා අවස්තා කිහිපයකදී ප්‍රකාශ කර තිබුණි. එවැනි ක්‍රමයක් ව්‍යවස්ථාවට පටහැනි බව ජනාධිපතිවරයා දන්නේ නැද්ද? රටේ විටින් විට බලයට පත් වන රාජ්‍යය නායකයින් පටු දේශපාලන අවශ්‍යතාවන් සදහා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම රටේ ආන්ඩු ක්‍රමය අවුල් කිරීමට හා ජරාජීර්න කිරීමට බලපා තිබෙන වැදගත් හේතුවකි. රාජ්‍යය නායකයින් හා ව්‍යවස්ථාව ආරක්ෂාව බාරව ක්‍රියා කරන අධිකරණය රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරයි නම් ඒ රට කාලකන්නි වීම අරුමයක් නොවේ.

තුනෙන් දෙකේ සිහිනය සපල කර ගතහැකි පහසු සිහිනයක් නොවන අතර ඒ සිහිනය සැබෑ කර ගත්තද රටේ තිබෙන විශේෂ සමාජ-ආර්ථික හා දේශපාලන වටපිටාව තිබෙන්නෙ එවැනි බලයක් ඇතිව වුවද සාර්ථක පාලනයකට ඉඩක් නැති තත්වයකය.

අවසානය

රටේ ආර්ථික ශේෂ පත්‍රය තිබෙන්නේ අල්ලාගෙන සිටීම පවා ආමාරු කඩා බිද වැටීමක් නොවැලැක්විය හැකි තත්වයකය. ලෝක බැංකුවේ ප්‍රක්ෂේපනයන්ට අනුව ලංකාවෙ ආර්ථික වර්ධනය ඍණ 3 දක්වා පහත වැටීමට නියමිතය. විදේශ විනිමය ආදායම් වල අසාමාන්‍ය තරමේ පහත වැටීමක් පෙනෙන්නට තිබෙන අතර රජයේ දෛනික කටයුතු සදහා අවශ්‍ය වියදම් පියවා ගැනිම සේම වාණිජ පදනමක් මත ලබාගෙන ඇති ණය වාරික පියවීම හා පොලී ගෙවීම ඉතාමත් දුෂ්කර දෙයක් බවට පත්වී තිබේ.එම තත්වය කිසියම් මොහොතක රට මුලුමනින් බංකොලොත් තත්වයකට පත් කිරීමට හේතු විය හැකිය.

රටේ ඇතිවී තිබෙන මෙම විශේෂ ‍ඵෙතිහාසික තත්වය මෙසේ පිඩුකල හැකිය. ලංකාවෙ දේශපාලන ක්‍රමය බ්‍රිතාන්‍යයන් ගෙන් ලැබුන දෙයක් වන අතර නිදහස ලැබීමේදී එය නිදහසේ අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස විධිමත් කර ගැනීමක් සිදුනොවීය. නිදහසින් පසුව ජාතික රාජ්‍ය‍යේ පැවැත්ම සදහා නැතිවම බැරි කොන්දේසියක් ලෙස සැලකිය හැකි ජාතික ඒකාග්‍රතාව ඇති කරගැනීමට හේතුවන ලෙස ජාතිය ගොඩනගා ගැනීමක් සිදු නොවීය. නිදහසින් පසු බලයට පැමිණි පාලක පක්ෂ වර්ග, කුල, ආගම් බේද මත පදනම් වී මිනිසුන් පීඩාවට පත් කිරීම නිසා කැරලි කෝලාහල හා ව්‍යවස්ථාව නොසලකා ක්‍රියාකිරීමේ ප්‍රතිපත්තිය සමස්ත දේශපාලන ක්‍රමය අවුල් ජාලාවක් කිරීමට හේතු විය. 1978 සිට පොදු වස්තුව කොල්ල කෑම රාජ්‍යය පාලනයේ නිත්‍ය ලක්ෂණයක් බවට පත් වී රාජ්‍යය හා සමස්ත ආයතන ක්‍රමය උපරිම මට්ටමකට දූෂිත කිරීමට හේතු විය. දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබුන එම ගරා හැලීම නිවැරදි කිරීම සදහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඇති කිරීම දිගින් දිගට නොසලකා හැරීම නිසා සමස්ත ක්‍රමයම ක්‍රියාවිරහිත කරන තත්වයක් ඇති කිරීමට හේතුවී තිබෙන්නේ යයි කිව හැකිය. පරන පක්ෂවලට හා නායකයින්ට තිබෙන පිලිගැනීම සේම පරන ආයතනගත ක්‍රමවලට තිබෙන පිලිගැනීමද අහිමි වෙමින් තිබෙන්නේ එම ඵෙතිහාසික ක්‍රියාදාමයේ ඵලයක් වශයෙනි.

මෙම තත්වයේ වෙනසක් ඇතිකල හැකි වනු ඇත්තේ ව්‍යූහමය ප්‍රතිසංස්කරණ ඔස්සේ සමස්ත ක්‍රමය ප්‍රතිනිර්මානය කිරීමට හේතුවන මහජන ව්‍යවස්ථා සම්පාදන වැඩසටහනකට රට යොමු කිරීමය.